නිකවැරටිය, ගනේගොඩ යාපලාන ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් අප 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් අනාවරණ කළෙමු.
අපගේ එම අනාවරණය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් කොටවෙහෙර පොලිස් ස්ථානය වෙත දැනුම්දීමෙන් පසු පැය කිහිපයක් තුළ සිද්ධියට අදාළ තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම පුවතෙහි සංවේදී දර්ශන ඇතුළත් වුවත් අප ඒවා විකාශය කළේ මෙම සිද්ධිය බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු නිසාවෙන්.
මෙම සිද්ධිය වාර්තා වුණේ නිකවැරටිය, ගනේගොඩ යාපලාන අංක 40 ග්‍රාම සේවා වසමෙනි.
එම වීඩියෝවේ සඳහන් ආකාරයට කාන්තාවක විසින් ගැහැණු දරුවෙකුට ඉතා කෘෘර අන්දමින් පහරදෙන අතර ඒ සඳහා
ඇය ක්‍රිකට් පිත්තක් ද භාවිත කරනු ලබයි.
මෙම පහරදීමේ ස්ථානයට පැමිණෙන තවත් කාන්තාවක් දරුවාගේ දෙඅත් බැඳ යළි පහරදෙන ආකාරය වීඩියෝවේ දැක්වෙයි.
සිද්ධිය පටිගත කරන ගම්වාසීන්ට ද ඔවුන් තර්ජන කරන්නේ තමන්ගේ ඥාතීන් පොලිසියේ සිටින බවට පවසමින්.
අප කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ පහරදීම සිදුකරන්නේ, දරුවාගේ පියාගේ දෙවැනි බිරිඳ බවයි.
පහරදීමට සම්බන්ධවන අනෙක් කාන්තාව ඇයගේ සහෝදරියක් වන අතර ඇය ග්‍රාම නිලධාරිනියක් බව අද දෙරණට අනාවරණ කරගැනීමට හැකිවුණි.
මෙම පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් හෙළිකිරීමත් සමග නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදීම සිදුකළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වුණි.
එමෙන්ම දැරියගේ පියාද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර අත්අඩංගුවට කාන්තාවන් දෙදෙනා සහ දැරියගේ පියා සහ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරියද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
Last edited:



