කොරෝනා මරණ 2700 ඉක්මවයි - සයිබර් ප්‍රහාරයක් ගැනත් අවදානමක්
ලොව පුරා රටවල් 42 ක පැතිර යන කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 2771 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ලොව පුරා පුද්ගලයින් 81,402කට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි.
වෛරසය වැළඳීමෙන් ඉරානයෙන් මරණ 19 ක් වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 139 ක්.
දකුණු කොරියාවෙන් මරණ 12 ක් සහ ආසාදිත 1261 ක් වාර්තාවන බවයි විදෙස් වාර්තා කියා සිටියේ.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ 12 දෙනෙකු මියගොස් ඇති අතර, 453 කට එය ආසාදනයවී තිබෙනවා.
මේ අතර, කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය ආරක්ෂිත බව සෝල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.
දකුණු කොරියාවේ මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන අතර, ඔවුන්ගෙන් බොහෝ පිරිසක් කර්මාන්තශාලා ආශ්‍රිතව රැකියාවල නිරත වනවා.
මේ එරට පවතින තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ උපදේශක සුසන්ත ප්‍රියදර්ශන කියා සිටියේ බොහෝ ශ්‍රමිකයින් යළි සිය නිවෙස් බලා යාම සඳහා අවස්ථාව ඉල්ලා සිටින බවයි.
එමෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද මේ වනවිට ආරක්ෂිතව පසුවන බව රෝම අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.
ඉතාලියේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න සදහන් කළේ එරට නගර රැසක්ම නිරෝධායනයට ලක් කර ඇති අතර, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් තානාපති කාර්යාලය හරහා සෞඛ්‍යමය උපදෙස් ලබාදෙමින් සිටින බවයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ කොරෝනා වෛරසය පිලිබදව ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව පසුගියදා රැස්වී එය පැතිරීම පාලනයට තීරණ රැසක් ගත් බවයි.
ඒ අනුව, විශාල මගී නැව් රටතුලට ඇතුළුවීම පාලනය කිරීම, ගුවන් යානා මගින් පැමිණෙන විදේශිකයන් පිළිබදව මෙරටට පැමිණීමට පෙර තොරතුරු එක්රැස් කිරීම ඊට ඇතුළත්.
මීට අමතරව, දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව, බස්නාහිර පළාතේ කොළඹ ආසන්නයේ සහ දකුණ, මධ්‍යම හා වයඹ පළාත් මූලාශ්‍ර කරගෙන නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීමට මෙම කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එමෙන්ම, වෛරසය පැතිරීම අවම කිරීමට මුඛ ආවරණ අවශ්‍ය වුවහොත් ඒවා ආනයනය කිරීමට හෝ මෙරට නිෂ්පාදනය කර තොග වශයෙන් ගබඩා කර තැබීමටත් කමිටුව තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයේ භීතිය ප්‍රයෝජනයට ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
එහි සභාපති රජිව් කුරුවිටගේ කියා සිටියේ කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු විද්යුත් තැපෑල හරහා දන්වන මුවාවෙන් ලොව පුරා මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ අවදානම පවතින බවයි.