අ(තී)තරණය

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේ කතාව අවුරුද්දකට විතර කලින් මම ලියපු එකක්. කැමති අය කියවලා බලත්වා!!


    අ(තී)තරණය

    උදෑසන හයට නාද වූ ඔරලෝසුවේ නාදය නිසා සුබෝධ අවධි වූයේ තරමක තිගැස්මක් සහිතවය. සාමාන්‍යයෙන් ඔරලෝසුවේ එලාර්ම් එකට පෙර අවධි වන ඔහු අද තරමක් ප්‍රමාද වී අවධි වූයේ පෙරදින නින්දට යන විට මධ්‍යම රාත්‍රියද පසුවී තිබුන නිසාය.


    නොයන්නට සිතා සිටි සාදයට සහභාගී වන්නට සිදු වූයේ අසන්යාගේ පෙරැත්ත කිරිමටය. මිට සති තුනකට ප්‍රථමව ඇය විසින් තම පියාගේ මැතිවරණ ජය තහවරු කරනු පිණිස කොළඹ සිටිනා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් උදෙසා සංවිධානය වන්නා වූ මෙම විශේෂ ප්‍රභූ සාදය ගැන පවසන අවස්ථාවේ හෙතෙම තම වෙත ආරාධනයක් ලැබේයැයි සිතුවේ නැත. කොහොමත් මෙවැනි උත්සව වලට සහභාගී වීමට මැලි කමක් දැක් වූ සුබෝධ, විවිධ හේතු කාරණා නිදහසට පවසමින් ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට උත්සහ කලත්, අසන්යා ගේ පෙරැත්ත කිරීම හමුවේ ඊයේ පැවති සාදයට සහභාගී වන්නට සිදුවිය.


    රටේ විවිධ ආයතන වල හිමිකරුවන් මෙන්ම නොයෙකුත් මාධ්‍ය ආයතන රැසකම නියෝජිතයින් රැසක් සහභාගී වූ සාදය පැවැත්වුනේ තරු පන්තියේ හෝටලයකය. අනේක විධි කෑම පමණක් නොව, විදේශයන්ගෙන් ගෙන්වන ලද නොයෙක් මත්පැන් වලින්ද පොහොසත් වූ එම සාදය රටේ අති විශේෂම පුද්ගලයන්ට පමණක් සීමා වූවක් විය.


    එවැනි සාදයකට සුබෝධ වැන්නෙකුගේ පැමිණීම කාගේත් කුතුහලයට භාජනය වූයේ බොහෝ දෙනෙක් ඔහුව නොහැඳීම නිසා පමණක් නොවීය. ඔහු අසන්යා එදිරිසූරිය ගේ අමුත්තෙක් ලෙස සාදයට සහභාගී වීම නිසාය. කොටින්ම කිවහොත් මීළඟ අගමැති ලෙස පත්වේයැ යි කැට තබා දිවුරිය හැකි සුනන්ද එදිරිසූරිය ගේ එකම දියණියගේ අමුත්තෙකු වූ නිසාය.


    ව්‍යාපාරික පුතුන් මෙන්ම තරැණ වියේ සිටි ධනවත් ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ උකුසු ඇස් වරින් වර තමා වෙත යොමු වෙනු සුබෝධ ට නොතේරුණා නොවේ. ඒ සියල්ලටම වඩා ඔහුව නොසන්සුන් වූයේ රටේ සිටිනා ප්‍රමුඛතම මාධ්‍යවේදීන් තමා කෙරෙහි අවධානයෙන් සිටින‍ා බව තේරුණු විටය. අසන්යා‍‍ ගේ ආරාධනය පිළිගන්නා විට මෙතරම් තත්වය බරපතල එකක් වේ යැයි ඔහු සිතුවේ නැත.


    ඔහු පුලුවන් තරම් අන් අයගේ අවධානයට ලක් නොවී සිටීමට උත්සාහ කලත් සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් වූයේ අසන්ය‍ා තම පියා වෙත ඔහුව හඳුන්වාදුන් විටය. සුනන්ද තම දියණිය විසින් හඳුන්වා දුන් මෙම තරුණය‍ා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේ කෘතහස්ත දේශපාලකයෙකු ලෙස තිස් වසරක් ඔහු ලබා තිබූ දේශපාලන පරිච‍ය තුළ ලැබූ ඉව නිසාය. අසන්යා අතරත් මේ තරුණයා අතරත් මිත්‍රකමකට එහා ගිය යම්කිසි සම්බන්ධයක් ඇති බව ඔහුගේ සියුම් ඉවට ක්ෂණිකව දැනී ගියේ ය. අඩුම වශයෙන් අසන්යාගේ පැත්තෙන් වත් එවැන්නක් තිබිය යුතුම යැයි ඔහු තීරණය කළේ සුබෝධ මුණ ගැසී විනාඩි පහක් යන්නට මත්තෙන්ය. ඉතා සුලු කතාබහකින් අනතුරුව සුබෝධ අසන්යා සමගින් වෙනතක් බලා යද්දී සුන්නද තම පෞද්ගලික ආරක්ෂක අංශ ප්‍රධානී විමලවීර වෙත නිහඬව නියෝග කිහිපයක් නිකුත් කලේ කාටවත් නොපෙනෙන ලෙස විමලවීර ගේ අවධානය සුබෝධ වෙත යොමු කරවමින්ය.


    සුනන්ද ‍කෙතරම් සියුම්ව මෙම නියෝග නිකුත් කළත්, අවුරුදු ගණනාවක් ති‍ස්සේ පුරුදු පුහුණු කළ සුබෝධ ගේ සියුම් ඉඳුරන්ට ඒ පිළිබඳව සඟවන්නට නොහැකි විය. තමා ජීවිතයේ කරගත් ල‍‍ොකුම මෝඩකම් වලින් එකක් අද දින සිදුකරගත් බව ඔහුට පසක් වන විට හෙතෙම ප්‍රමාද වැඩිය.


    අසන්යා කෙරෙහි සුබෝධට ඇතිවූයේ නොපහන් හැඟීමකි. ඇයගේ බල කිරීම නොවන්නට ඔහු මෙදින සාදයට සහභාගී වන්නේ නැත. එසේ නොවූවානම් මේ සියල්ල අවුල් වන්නේද නැත. දැන් ඉතින් ඇමති ආරක්ෂක අංශයේ දඩ බල්ලන් රැයක් දවාලක් නොතකා තමා පසුපස ඉව අල්ලනු ඇත. මෙතෙක් කල් නිස්කලංකයේ ගෙවී ගිය ජීවිතය අදින් පසු නොපිට පෙරලෙනු ඇත.


    කරන්නට දෙයක් නැත. අසන්යා සමග හෝ සුනන්ද සමග තරහ ඇති කරගෙන පලක් නොමැත. අසන්යා තරුණියක් හැසිරෙන සාමාන්‍ය අයුරින් තමාව ඇයගේ පියා වෙත හඳුන්වා දීමට මේ සාදය අවස්ථාවක් කරගත්තා ය. සුනන්ද නියම පියෙකු තම දියණිය ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇයගේ සිත බැඳි තරුණයා පිළිබඳව සොයා බැලීම‍ට අවශ්‍ය විධි විධාන සකස් කලේය. එකම ප්‍රශ්නය වූයේ අසන්යා අනාගත අගමැතිවරයා ගේ දියණිය වීමත්, සුබෝධ තුළ ඈ කෙරෙහි එවැනි අල්ප මාත්‍රයකදු හැඟීමක් නොතිබීමත් ය.


    සුබෝධ ට තමා කෙරෙහිම කෝපයක් ඇතිවිය. අසන්යා තමා කෙරෙහි වැඩිපුර උනන්දු වන බව දැනට මාස කිහිපයක සිට ඔහුට හැඟී තිබුණි. මේ සිදුවීම, තම අත්දැකීම් මත පදනම්ව මීට පෙර හඳුනාගන්න ට ඔහුට හැකිවිය යුතුව තිබුණි. සියල්ල සුලුවෙන් තැකුවා වැඩිය. දැන් ඉතින් අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් ය.


    අසන්යා හා සුබෝධ ගේ හමුවීම අහඹුවක් ම වීය. කුඩා අවශේෂ සිද්ධියක් හමුවේ දැන ඇඳින ගැනීමට ලැබුණු ඔවුන් දෙදෙනා පසුව මිතුරන් ලෙස ආශ්‍රය කළෝ ය. එහෙත් නැතිනම් අසන්යා එලෙසින් සිතා සිටියා ය. අසන්යා සමග බොහෝ කුළුපගව කාලය ගත කලත් සුබෝධ ඇත්තටම මිතුරුකමක් ‍‍ගොඩනංවා ගත්තේ හෝ කිසිම ආකාරයක බැඳීමක් ඇය සමග ඇති කරගත්තේ නැත. ඔහුට ජීවි‍තයේ මිතුරන් සිටියේ ද නැත. ජීවිතයේ ‍බොහෝ කාලයක් හෙතෙම තනිව ජීවත් විය. මිතුරන් ඇති වී නැති වී යනු ඔහු බොහෝ වරක් දැක තිබුණි. එනිසා අලුතින් සබඳකම් හෝ මිතුරුකම් ඇතිකර ගැනීමට හෙතෙම මැළි විය.


    සුබෝධ ට ජීවිතයේ සඟවන්නට බොහෝ දේවල් විය. ඔහුගේ උපතේ සිට මේ දක්වා සියල්ලම කිසිම කෙනෙකුට විස්තර කල නොහැකි සංකීර්ණ සිද්ධි දාමයකි. ඔහු ඉපදුනේ කොහිද, මව පියා කවුරුන්ද, මෙපමණ කල් කලේ කුමක්ද යන්න සමාජයට කෙසේ කියා දෙන්නද යන්න පිළිබඳ ඔහුට වැටහීමක් ‍නොවීය. මීටත් වඩා, බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වනුයේ කිසිම විදිහකින් උපයාගත් ආකාරය හෝ ලබාගත් ආකාරය පෙන්විය නොහැකි අති විශාල ධනස්කන්දය යි. එසේම ඒ සියල්ල පාලනය වන්නා වූ එකිනෙකට සම්බන්ධයක් නොමැති, විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන්නා වූ තිහක‍ට වැඩිවූ ආයතන සමූහය යි. කොටින්ම ඒ ඒ ආයතනවල ප්‍රධාන විධායක නිළධාරීන් පවා අයිතිකරු පිළිබඳ දැන සිටියේ නැත. ඒ සියල්ලම වසන් කොට අවශ්‍ය පරිදි තම පාලන කටයුතු ගෙනයාමට සුබෝධ දක්ෂයෙක් විය. ආයතන ඉදිරියේ සිට විධායක නිළධාරීන් ඇත්ත වශයෙන්ම සුබෝධ ගේ ඉත්තන් විය. එහෙත් ඇත්ත වශයෙන්ම තමන්ව පාලනය වන්නේ යන්තම් වයසින් අවුරුදු තිහක් පමණ වන තරුණයෙක් බව ඔවුන් කිසිවෙකුත් හීනෙන් වත් සිතන්නට නැත.


    සුබෝධ තම නිදියහනින් නැගිට එළිය පෙනෙනා විසල් වීදුරු කවුලුව වෙත ගියේ ය. බේරේ වැවටත්, කොළඹ කොටුවටත් මායිම්ව අලුතින්ම ඉදිවූ අති නවීන මහල් සංකීර්ණයක තිස් පස්වන මහලේ විශාල නිවාස ඒකකයක් වූ ඔහුගේ නිවසේ කාමර සියල්ලටම වාගේ පිටත අංශක එකසිය විස්සකට ආසන්න පරාසයක් නැරඹිය හැකි පුළුල් ජනේල වලින් සමන්විත විය. මුලු නිවසම වායු සමීකරණය කර තිබුනේ පිටතින් පැමිණෙන හිරු රශ්මියේ සැර ඇතුළට කිසිදු ලෙසකින් නොදැනෙන්නට ය.


    ඔහුට මින් අවුරුදු ගණනකට පෙර තමන් ජීවත් වූ අනුරාධපුරයේ නිවස මතක් වීය. එය ඇත්තටම නිවසක් නොවීය. වේලී ගිය පිදුරු වලින් සෙවිල්ලුනු වහලක් සහ මැටියෙන් සහ ගොම වලින් පදම් වූ රළු ප‍ොළවකින් සමන්විත කුඩා පැළක් වූ එය, ‍දොළකට මායිම් ව පිහිටි අති විශාල කුඹුක් ගසක් යට පිහිටියේ ය. ඉන්පසු ඔහු‍ට මතක්වූයේ මහනුවරට මදක් ඔබ්බින් කුණ්ඩසාලේ දිවිගෙවූ කුඩා නිවසයි. එසේම ඔහුට කොළඹ කොටුව අසබඩ, මුහුද පෙනෙන මානයේ දිවි ගෙවූ, රළු බදාමයෙන් හැඩවූ කුඩා නිවස ද මතක් වීය. මේ නිවස්නයන් තුන ඔහු දිවි ගෙවූ අනෙක් සියලු ස්ථාන වලට වඩා සුවිශේෂී තැනක් හිමිකර ගත්තේ ය. ඒ ජීවිතය කෙතරම් නිරවුල් වීද? කෙතරම් සරල වීද?


    සුබෝධ ට තට්ටු තිස් පහක් පහලින් පණ ගැන් වී එන කොළඹ නගරය පෙනුණි. ක්‍රම ක්‍රමයෙන් නව දවසක‍ට හැඩවෙන කොළඹ නගරයේ, තම ඉරණම තීරණය වන අවසාන දින කීපය අදින් ආරම්භ වනු ඇතැයි ඔහුට සිතුණි. ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ ඊයේ රාත්‍රියේ ය. මේ වන විටත් දඩ බල්ලන් තමන් ගේ අතීතය, කළ කී දේ සොයමින් ඉව ඇල්ලීම ආරම්භ කර ඇත. තව දිනක් හෝ දෙකක් යාමට මත්තෙන් මේ සියල්ල අත හැර ඔහුට පලා යාමට සිදුවනු ඇත.


    ඔහුට මෙලෙස පළා යාම නුපුරුදු දෙයක් නොවීය. මී‍ට පෙර කිහිප වතාක්ම ඔහු මෙලෙසින් පළා ගොස් ඇත. එහෙත්, නවීන තාක්ෂණය නිසා එය පෙර මෙන් පහසු ක්‍රියාවක් නොවනු ඇත. කරන්නට ර‍ාජකාරී බොහෝමයකි. ගන්නට තීරණ රැසකි. සුබෝධ අවිඥාණිකවම වම් ඇලපතේ වූ පැරණි තුවාල කැළල අතගාන්නට වූයේ බොහෝ කළකට පෙර සිදුවූ ඒ තුවාළයේ වේදනාව තවම දැනෙන්නාක් මෙනි.



     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    ඒ අසේල රාජෝත්තමයන් අනුරපුර තම රාජධානිය කරගනිමින් ලංකා භූමිය පාලනය කරන සමයයි. ක්‍රම ක්‍රමයෙන් දැඩි වන්නා වූ චෝල ආක්‍රමණික බලපෑම් හමුවේ අනුරපුරයේ මෙන්ම රට පුරාම රැකවල් දැඩි කර තිබුණි. ප්‍රධාන වශයෙන් මා තොටින් සහ දඹකොළපටුනින් අනවසරයෙන් ගොඩබෑ ආක්‍රමණිකයින් රටේ තැන් තැන් වල සංවිධානාත්මක අපරාධ ක්‍රියාත්මක කරමින්, මනුෂ්‍ය ඝාතන සිදු කරමින්, ජනතා ධනය කොල්ල කමින් ජනයා බිය වද්දමින් සිටියෝය.


    තවමත් හිරු එළිය බිම පෙනෙන්න ට වැටී නැත. උස් වූ තරු අතරින් ළා හිරු රැස් පෙරී ආවත් තාමත් හිමිදිරි යේ සීතල මැකීගොස් නැත. අනුරපුරයත් මා තොටත් යා කරමින් දිවෙන්නා වූ මගෙහි කඩවත් සීමාවේ රැකවල් යෙදී සිටි සුභගේ සෙබළ කණ්ඩය තමන්ගේ රාත්‍රී මුර සේවය නිමාව දකින්නට අනෙකුත් සෙබලුන් පැමිනෙන්නේ දැයි විමසිලිමත් ව තම උදෑසන ආහාරය පිළියෙල කරමින් සිටියෝ ය.


    “සුභ සෙන්පති තුමා ඉස්පාසුවක් නැතුව ඇත්තේ ආපහු අනුරපුරේ ට ගොහින් මාතු නගාව බලන්න යන්න” ළිප ළඟ ඇන තබාගෙන එයට දර එකතු කරමින් සිටි අසිත සුභ වෙත ඇසකින් ඉඟි කරමින් කීවේ ය.


    “උඹ මගෙන් මැරුම් කන්නද අසිත හදන්නේ බොරු කයි කතන්දර හදලා?” සුභ අසිත වෙත තම අසිපත දිගු කරමින් තර්ජනාත්මක ව පැවසුවත් ඔහුගේ මුවෙහි වූයේ මන්දස්මිතයකි. මාතු පිළිබඳ හදිසියේ අවදි වූ සිතුවිලි නිසා සුභ ගේ සිතට මහත් ආශ්වාදජනක හැඟීමක් දැණුනි.


    “සෙන්පතිතුමා කොපමණ නෑ කියලා පරසක්වල ගැහුවත් අපි දන්නවා නොවැ මාතු නගා කොච්චර ඔබතුමා‍ට කොච්චර ඇඟෑලුම් පානවද කියලා… දැන් ඉතින් ඔන්න ඔය කටයුත්ත මාතු නගාගේ අප්පොච්චටත් කතා කරලා අහවරක් කලොත් නරකද?” පසෙකින් වූ භරණ ද කතාවට හවුල් විය.


    “මොන කටයුත්තක් අහවර කරන්නද භරණ? ඔන්න ඔය පල් හෑලි කියෝ කිය‍ෝ ඉන්නේ නැතුං පොඩ්ඩක් වට පිට විපරම් කරලා බලහං අනිත් කාණ්ඩේ මග එනවද කියලා. අපි දැන් දවස් දෙකක් තිස්සේ මෙතැන ලැග් ගැහිලා යන එන උංගෙන් කරුණු කාරණා විමස විමසා ඉන්නවා. ගෙදර ගෙහුං ඇළ වෙලා නිදාගන්න උවමනාවක් නැද්ද උඹලට?”


    සුභ ගේ අණින් උන් තැනින් නැගී සිටි භරණ මදක් ඉදිරියට පියමැන්නේ මග එන්නන් විපරම් කරන්නටය. නමුත් ඔහුට අඩි දෙක තුනකට වඩා යාමට නොහැකි වූයේ අවට වූ ගස් මණ්ඩියකින් මතුවූ අදිසි රූප දෙකක් ඔහු වෙත පිණීමත් සමගම ශරීරයේ බර වාරු නොවූයෙන් බිම ඇද වැටීම නිසාය. සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් ප්‍රථමව මුහුණ වසාගත් එක් පුද්ගලයෙකු ගේ අතේ වූ කිරිච්චිය දෙවතාවක් භරණගේ පපු කුහරය සොයා ගිය අතර, කිසිදු ශබ්දයක් නොහඟවා හෙතෙම සදහටම නිශ්ශබ්ද වීය.


    ඒ සමගම සුභ සහ අසිත වෙතද මුහුණ වසා ගත් මිනිසුන් හය දෙනෙකු කඩා පැන්නේ ඔවුන්වද භරණ ගිය මාර්ගයේ යවන්නට ය. නමුත් ඔවුන් දෙදෙනා හට සූදානම් වීමට මදක් ඉඩ ලැබුණු හෙයින් තමා වෙත පිනූ ආක්‍රමණිකයන්ට මුහුණ දීම‍ට ඔවුන්ට හැකි විය.


    ඉන්පසු එහි ඇතිවූයේ මාරාන්තික සටනකි. අට දෙනෙකුට එරෙහිව දෙදෙනෙකු විසින් සිදු කළ ලොමු දැහැගැන්වෙන සටනකි. සුභ ඉතා ඉක්මණින් තමා වෙත ආධාර ලැබේයැ යි බලාපොරොත්තු වීය. මන්ද යත් අටදෙනෙකුට එරෙහිව තමුන් දෙදෙනා මේ මුහුණට මුහුණ සිදුකරනා සටනේ අවසානය කුමක් වේදැයි යන්න දැනටම ඔහුට අවබෝධ වී තිබුණු බැවිනි.


    මෙම ආක්‍රමණිකයන් සාමාන්‍ය පල් හොරුන් නොවන බව ඔවුන් ආයුධ හැසිරවූ ආකාරයෙන් සුභට සහ අසිතට තේරී ගියෝය. සාමාන්‍ය පල් හොරුන් හෝ මං පහරන්නන් අසංවිධිතය. ඔවුන්ට නියමිත ප්‍රහාරක ක්‍රමවේදයක් නොවීය. නමුත් මොවුන් අටදෙනා ඉතාමත් සංවිධානාත්මකය. තම ආයුධයන් හැසිරවූයේ ඉතාමත් ප්‍රවීනයන් ලෙසය. එකෙක් පසුබානා විට තවෙකෙක් ඉදිරියට පැමිණියේය. ඒ අතරතුර ‍අනෙක් අයවලුන් වට ‍කොට පහර දීමට උත්සාහ කළෝය.


    ක්‍රමයෙන් තම ශක්තියද ක්ෂය වී යනු සුභ සෙන්පතිට දැනුණි. ආක්‍රමණිකයන්ගෙන් එල්ල වූ පහර මැඩ පවත්වමින් හෙතෙම ඉදිරි මග බැලුවේ ඔහු‍ට උපකාර සඳහා ‍අනෙක් සෙබල කණ්ඩය පැමිණෙන්නේදැ යි කියාය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වූ භරණ ගේ සිරුර හැරෙන්නට වෙනත් කිසිම අයෙකු ගේ හා හෝවක් ඉදිරි මගෙහි නොවීය.


    පිටුපසින් ගෙල හරහා එල්ල වූ මා‍රාන්තික පහරක් හමුවේ තම සටන් සගයා අප්‍රාණිකව ඇද වැටෙනු සුභ ගේ ඇසි කොණට පෙනුණි. දැන් ඉතිරි තමන් පමණි. මොවුන් අට දෙනා සමග සටන් කර ජය ගැනීම කළ නොහැක්කකි. එහෙත් මිය යන්නේ නම් අඩුම තරමේ කිහිප දෙනෙකුවත් තමන් සමග පරළොව ගෙන යාමට හෙතෙම ඉටා ගත්තේ ය.


    මාරාවේශයෙන් ආක්‍රමණිකයන් වෙත පිනූ සුභ සෙන්පති තම කුඩා කිරිච්චිය එක් අයෙකුගේ ඇලපත හරහා බැස්වූයේය. එසැණින් නිදහස් වූ අත් දෙකෙන්ම ඔසවා ගත් අසිපත එසවූ හෙතෙම තවත් අයෙකුගේ හිසට එය පාත් කලේ ඔහුගේ හිස දෙපලු කරමිනි. අසිපත ආක්‍රමණිකයාගේ හිසෙන් වෙන් කරවාගෙන ආපසු හැරෙන විටම තම වම් ඇලපත හරහා සීතල යමක් ශරීරයට ඇතුලු වෙනු ඔහුට දැණුනි. ශක්තිය ක්‍රමයෙන් තමාගෙන් ඉවත් වී යන බව සුභ ට දැණුනි. අඩපණ වූ හෙතෙම පළමුව දණින් වැටුනු අතර තවදුරටත් තම ශරීරයේ බ‍ර ද‍රාගත නොහැකි වූ හෙයින් උඩුබැලිව වැටුනේ‍ය.


    අවසන් වරට තම ඇස් වලින් ඔහුට දැකගත හැකිවූයේ හිමිදිරි උදයේ හිරු කිරණ පෙරී ආ තුරු වියනයි. කිසිවක් සිදු නොවූවාක් මෙන් අවට වනයේ සියොතුන් නගන ගී හඬද ඔහුට ඇසුණි. ක්‍රමයෙන් බොඳව ගිය ඇස් වලින් ඔහුගේ දර්ශන පථය මැකී ගිය අතර සියොතුන්ගේ හඬද නෑසී ගියේ ඔහුව ඝන අන්ධකරායක තනිකරමිනි.




    සියොතුන් හ‌ඬ නැගීය. ඒ තවත් උදෑසනකි. ඝණ වනයේ අඳුරු අභ්‍යන්තරයේ එක් කොටසක ප්‍රාණය ඉකුත්වූ මළ සිරුරු තුනක් අතු රිකිලි සහ කොළ රොඩු වලින් වසා තිබුණි. ඒ වෙත හෙමි හෙමින් ඇදී ආ බියසුලු වන සතෙක් සෙමින් ඒ මළ සිරුරු ඉව කරන්නට වූයේය. පළමු මළ සිරුරු දෙකම නරක් වී ඕජස ගලමින් තිබුණේ මරණය සිදුවී දින කිහිපයක් යැයි හඟවන්නට ය. මළ සිරුරු දෙකම හඳුනා ගත නොහැකි තරමටම නරක් වී තිබුණ අතර, ඉහඳ පණුවන්ගෙන් පිරී තිබුණි.


    මෙම මළසිරුරු දෙකට මදක් ඈතින් වන්නට තිබූ අනෙක් මළ සිරුරේ විශේෂත්වයක් වීය. එය අනෙක් මළ සිරුරු මෙන් නරක් වී තිබුණක් නොවීය. ඇතැම් විට එය ඉතා ළඟකදී මිය ගිය අයෙකුගේ වන්නට ද පුලුවන. වම් ඇලපතෙහි ලේ ගලාගිය විශාල තුවාලයක් වීය.


    වනසතා නරක් වූ මළ සිරුරු ඉව කොට පසුව තෙවැනි මළසිරුර වෙත පැමිණියේ කෙමෙන් පාදාන්තයේ සිට හිස දක්වා ඉව කරන්නට විය. කුමක් හෝ නොසන්සුන් ගතියක් ඌගේ ඉවට දැනුණේ නමුදු ඒ කුමක්දැයි හඳුනා ගැනීමට නොහැකි විය. ක්‍රමයෙන් හිස වෙත ඉව කරමින් පැමිණි ඌට දැකගත හැකි වූයේ මෙතෙක් කල් ප්‍රාණයකින් තොරව සිටියා වූ මළ සිරුර ඇස් හැර තමා දෙස බලා සිටින බවය. එසේම මළ සිරුර සාමාන්‍ය මිනිසෙකු මෙන් හුස්ම ගනිමින් සිටියේය. කොටින්ම එය තවදුරටත් මළ සිරුරක් නොවීය. විපරීතව බියෙන් සළිත වී ගිය වන සතා, පිමි දෙකකින් අසළ වූ වනයේ සැඟවී ගියේ ය.


    සුභ සෙන්පති තෙමේ මරණයෙන් නැගිට පැමිණ සිටියේ ය.




    “සුරඹා… උඹට ඇහුනද අඬබෙර කාරයා යනවා?”


    පිළේ වූ වී ටික අහුලමින් යසී ඇසුවාය.


    කුඹුරේ වැඩ කරමින් සිට දහවල් ඇඹුලෙන් පසු ආපසු පැමිණි සුරඹා සිටියේ මුවහත් කිරීම‍ට අවැසි වූ ආයුධ කීපයක් කම්මල්කරු වෙත ගෙනයාමට සූදානම් වෙමිනි.


    “මේ පරංගිත් එක්ක ගොවි තැනක් බතක් කරගෙන නිස්කාන්සුවේ ඉන්ට අපිට බැරුවා වගෙයි. ආයෙ සැරයක් මුං සෙංකඩගල නගර සීමාවෙ මායිමටම ඇවිල්ලා. මෙදා පොටේ නම් මුන්ට ඉස්පාසුවක් වෙන එකක් නෑ. රාසිං දෙය්යො හොඳටම කෝප අරන් වගේ” සුරඹා ගෙන් පිලිතුරක් නැති තැන යසී කියවාගෙන ගියාය.


    “රාසිං දෙයියෝ එක්ක සෙල්ලං කොරන්න වෙන්නේ නැතුං. මේ හැතිකරේ වටේටම බෝ වෙලා කවදහරි රටටම වින කටින්න කලින් අහවරක් කරලා දාන්නොනෙ.” පැළ පිටුපස සිට ඉදිරිපසට එමින් හිංචා ද කතාවට සම්මාදම් විය.


    “මට හයිය හත්තිය තිබුණා නම් මාත් එක පයින් සෙංකඩගල දුවනවා. මාතලේ දිසාවේ ඉඳන් මහා ලොකු සේනාවක් සෙංකඩගල පුරේට ඇදෙන ගමන් කියලා මට කනින් කොනින් ඇහුණා. මෙදා පො‍ටේ දෙකෙන් එකක් අහවරක් වෙලයි මේ කෙලිය නවතින්නේ….”


    සුරඹා තවදුරටත් කල්පනාවේ යෙදෙමින් තමන් කරමින් සිටි කාරිය කරගෙන ගියේය. ඔහු නළල රැළි කරමින් කල්පනා කරනා විට නොදැනුවත්ම වම් ඇලපතේ වූ තරමක තුවාල කැළල අත ගෑවුනේ ඔහුටද නොදැනුවත්වම ය.


    “මුං අපිට කොයිතරම් හදි කෙරුවද? ගම් බිම් කීයක් නම් කියලා මුං ගිනි ලෑවද? තවත් මු‍ංගේ ලේ පිපාසාව සංසිඳිලා නෑනේ… අච්චර රට වටේම ඉඳගෙන රටේ සාරෙ උරාගෙන බීලා තව මදි වෙලා… දැං වෙළ හෙළඳාමකටවත් පහතරට යන්න බෑ මුංගේ හදි කිරිලි… එච්චර කොරලත් තව සෙංකඩගල නුවරටත් මුං බැලුම් දානවා… අම්මපා මගේ හයිය හත්තිය තිබුණා නම් මං යුද්ධෙට යන්නේ එක පයින්”


    සුරඹා ආයුධ ටික පිළිවෙලකට ඔතා පසෙකින් තබා මෙතුවක් හිඳ සිටි ඉරියවුවෙන් නැගිට උ‍රෙහි දමා සිටි ලේන්සුව අතට ගෙන නළලේ වූ සිහින් දා බිඳු පිස දැම්මේය. හිංචා වෙත පැමිණි ඔහු නැමී දෙපා වැන්දේ ය.


    “මාමා… මම ගෙහුං එන්නම්…”


    “උඹ කොයි යනවද?” විස්මයට පත් හිංචා ඇසුවේ කිසිවක් තේරුම් ගත නොහැකිව යසී දෙසද බලමිනි.


    “මං සෙංකඩගල යනවා මාමා” සුරඹා යසීගේ ද දෙපා වැන්දේ ය.


    “ඒ අහවල් කාරියකටද?”


    “අණබෙරකාරයා කියාගෙන ගියේ… යුද්ධෙට යන්න සේනා රැස්වෙනවා… මේ අහල පහළ ගං තුළානේ හයිය හත්තිය තියෙන හැම එකාම ගොහින්. මං විතරක් මෙහේ ඉඳලා මොනා කරන්ටද? ”


    “මට කන්ට බොන්ට දීලා රෑට වැටිලා ඉන්න පැල්‍ කොටේ ඉඩදීපු නැන්දටයි මාමටයි තුරුනුවණේ සරණයි. අපි පෙළක් විට ආයේ මුණ ගැහෙන එකක් නැතිවෙයි”


    විස්මයට පත්ව සිටිනා හිංචාට වත්, යසීටවත් වචනයකදු දොඩන්නට ඉඩ නොදී සුරඹා මගට බැස්සේ ය. සෙංකඩගල නුවර බලා ඇදෙනා මාර්ගයේ ඔහු ක්‍රමයෙන් ඉදිරියට ගියේ ආපසු නොබලාය. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පිළිබඳව ඔහු හොඳින් දැන සිටියේ ය. තමන් වරක් හෝ පසුපස හැරී බැලුවේනම් මේ යන්නට යන ගමන අපහසු වන බව ඔහු හොඳාකාරවම දැන සිටියේය.


    එහෙත් මේ ගමන යා යුතුමය. ඔහු හිංචා ‍‍ගේ පැළට පැමිණි පසු සිංහල අවුරුදු පහළවක් ම ගෙවී ගියේය. තවදුරටත් මෙහි රැඳී සිටියහොත් සිදුවන්නේ අතොරක් නොමැති ප්‍රශ්න රාශියකට මුහුණ දීමටය. ඊට වඩා මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන පිටත්ව යාම වඩාත් නුවණැති ක්‍රියාව බව ඔහුට වැටහුණි.




    දුම්බර මිටියාවතේ, කුණ්ඩසාලේ නම් ග්‍රාමයට නුදුරුව කුඩා පැල්පතක් ආසන්නයේ සිදුවූ උක්ත සිදුවීමෙන් දින කීපයකට පසු මේලෝ නම් පරංගි කපිතාන් වරයා විසින් මෙහෙයවූ හාරදහසකට ආසන්න හමුදාවක් සෙංකඩගල වැටලීය. එහෙත් ඒ වන විට රජු ද, නුවර වැසියෝ ද උපක්‍රමශීලීව පසුබැස ගොස් සිටි අතර ආක්‍රමණිකයන්ට හමුවූයේ පාලුවට ගිය නගරයකි. රිසි පරිදි නගරය කොල්ල කෑ පරංගි ආපසු කොළොම් තොට බලා ගමන් ඇරඹීය.


    ආපසු ගමනේදී ගන්නෝරුව ආසන්නයේ රජුගේ හමුදාව විසින් පරංගි බල ඇණිය සිවු දෙසින් වැටලූ අතර මහා යුද්ධයක් ඇති විය. හාරදහසකට ආසන්න පිරිසක් මෙහිදී මැරුම් කෑ අතර, ගැලවී යාමට ඉඩ ලැබුණේ පරංගි සොල්දාදුවන් තිස්තුන් දෙනෙකුට සහ කුලී හේවායන් කිහිප දෙනෙකුට පමණි.



     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    කොළඹ කොටුව පේන තෙක් මානයේ වූ තම නිවසින් එළියට පැමිණි සුභිත, සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේය. එතරම් කලබලයක් නොවූ ඒ උදෑසන ගාලුපාර දිගේ ඇදෙනා බර කරත්ත වලද වූයේ අලස ස්වභාවයකි. ගාල්ල සිට පැමිණෙන අශ්ව කෝච්චියද හෙමි හෙමින් කොටුව දෙසට ඇදුනේ වෙනදා තරම් ඉක්මන් ස්වභාවයකින් තොරවය.


    ‍ගාලු පාරෙන් එපිට වූ කුඩා පොල් අතු මණ්ඩිය දිගේ ඉදිරියට ගිය සුභිත, වෙරළ ආසන්නයේ නතර වීය. මෙහි වෙරළ ගල්කිස්සේ තරම් දියනෑමට සුදුසු නොවීය. ඉතා වේගයෙන් පැමිණි රළ පහර වෙරළ හෝදාගෙන යාම වැළක්වීම‍ට යොදා තිබූ කලුගල් වල හැපුනේ සුදෝ සුදු පෙණ කැටි විසිකරමිනි.


    උදෑසනම ශරීර ව්‍යායාමය සඳහාත්, හිරු එළියේ ඇවිදීම සඳහාත් ගාලු පාර ආසන්නයේ දිවෙන බිම් තීරුවට පැමිණි බොහෝමයක් දෙනා දැන් දැන් නැවතත් තම තමන්ගේ නිවෙස් වලට යන්නට ගොසිනි. ඔවුන්ගෙන් බහුතරයක් කොටුව හෝ තදාසන්න ආයතන පරිශ්‍ර වල රැකියාව කරනා, කොල්ලුපිටියේ හෝ බම්බලපිටිය ආසන්නයේ පදිංචි සුදු ජාතිකයින් වූහ. ඇතැම් ඉරිදා දිනක කුරුඳුවත්ත, මරදාන වැනි ඈත පළාත් වලින්ද ඔවුහු තම විවේකය ගත කිරීමට හා සතුටු සාමීචියේ යෙදීමට මෙම වෙරළ තීරයට පැමිණෙති.


    ක්‍රම ක්‍රමයෙන් හිරු රශ්මිය දැඩිවන්නට වූ බැවින් සුභිත අසල වූ පොල් ගසක් යටට ගියේය. ඒ වටා වූ වඩා උස්නොවූ ගස් මණ්ඩිය සහ වැල්ල වසා පැවති තණ බිස්ස නිසා වූයේ සිසිල් ස්වභාවයකි.


    තමා ගාල්ලේ සිට කොළඹට පැමිණ දැනට අවුරුදු හයක‍ට ආසන්න කාලයක් ගතවී ඇතැයි සුභිතට සිතුනි. තව උපරිම අවුරුදු හතරක් හෝ පහක් තම‍ාට මෙහි සිටීමට හැකි වනු ඇත. ඉන්පසු පෙර පරිදිම අලුත් තැනක් සොයා යා යුතුව ඇත. මෙලෙස තැනින් තැනට මාරු වෙමින් යාම ඔහුටම දැන් එපා වෙමින් පවතී. වරෙක ඔහුට සිතුනේ වරාය ට පැමිණෙන නැවක නැගී ලෝකයේ කොහේ හෝ තැනකට යාත්‍රා කර සදහටම මනුෂ්‍ය පථයෙන් වසං වී යෑමටය.


    බොහෝ කාලයකට පෙර වරක් ගිංතොට වරායේ වූ අරාබි වෙළඳ නැවකින් හෙතම දිවයිනෙන් පිටත්ව තූර්කියේ කොන්ස්තන්තිනෝපලයටත්, ඉන්පසු මිසරයටත් යාත්‍රා කලේය. අවුරුදු ගණනාවක් එහි ජීවත් වූ සුභිත ට දරුණු උණ රෝගයක් වැළඳුනි. වසංගතයක් මෙන් මුලු මිසරය පුරාම පැතිරී ගිය ඒ උණ රෝගය නිසා අති වීශාල පිරිසකට තම ජීවිත අහිමි විය. අවසානයේ තමන්ගේ කාලය පැමිණ ඇතියි සිතූ ඔහුට නැවතත් මවුර‍ට බලා ඒමට දැඩිව සිත් විය. අධික ලෙඩින් පෙළෙමින් හෙතෙම ඉන්දියාවට යාත්‍රා කරමින් තිබූ වෙළඳ නැවක නැගී මිසරයෙන් පිටත්ව ඉන්දියාවටත්, එතනින් මවුරටටත් පැමිණියේය. නැවත මවුරටට පැමිණ ඉතා සුලු කාලයකින් ඔහු සම්පූර්ණයෙන් සුවපත් වූයේය. ඉන් පසුව කිහිප වරකම් දේශාටන චාරිකාවල නිරත වුනත් හෙතෙම ඇවසානයේ මවුරට වෙතම පැමිණියේ ය.


    “සුභී… උඹ ඇවිල්ලා ගොඩක් වෙලාද?” තමාට පසුපසින් ඇසුණ මහළු කටහඬ නිසා සුභිත හිඳ සිටි තැනින් නැගිට්ටේ ඇඳුමේ වූ වැලි ගසාලමින්ය. ඇන්ඩර්සන් මහතා පමණක් නොව එම මහත්මියද පැමිණ සිටින බව දුටු ඔහු තරමක් විශ්මයට පත් විය. ඇන්ඩර්සන් මහත්මිය ඔහු වෙත මද සිනාවක් පෑවාය.


    “නෑ මහත්තයා… දැන් ටික වෙලාවක් වෙනවා” සුභිත ද පිළිතුරු දුන්නේ පැහැදිලි ඉංග්‍රීසියෙනි.


    “අපි මෙතනින් පොඩ්ඩක් වාඩි වෙමු කොල්ලෝ. ලුසීට යි මටයි උඹට කියන්න දෙයක් තියෙනවා” ඇන්ඩර්සන් මහතා තම බිරියට හෙවන ඇති තැනක වූ කුඩා ගල්පරයක වාඩි වීමට උපකාරී වෙමින් පැවසුවේය.


    “උඹ දැන් අපිත් එකක් වැඩකරන්න පටන් ඇරන් අවුරුදු පහළවක් විතර ඇති නේද?”


    “එහෙමයි… මං ගාල්ලේ ඉස්ටෝරුවේ වැඩ බලන්නයි මුලින්ම ආවේ..”


    ඇන්ඩර්සන් මහතා බිමට නැඹුරු කරගත් හිසකින් යුතුව කල්පනා කරන්නට විය. කිසිදු කතාවක් නැති විනාඩි කිහිපයක් ගියේ වෙරළේ රළ බි‍‍ඳ‍ෙන හඬටත්, ගාලු පාරේ හෙමි හෙමින් ගෑටූ බර කරත්තයක රෝද සද්දයටත් පමණක් ඉඩ දෙමිනි.


    “උඹ දන්නවද සුභී මම ඉන්නේ අසනීපෙන්… මගේ මහළු වයසත් එක්ක දැන් එක එක ලෙඩ මතු වෙන්න පටන් අරන්…” ඇන්ඩර්සන් නිහඬතාව බිඳිමින් පැවසුවේය.


    “ඒ ඔක්කොටම වඩා මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා… මෙහේ ඉන්න හොඳම දොස්තරවරුන්ටත් පෙන්නුවා මම. ඒත් ඒ හැමදෙනාම කියන්නේ මගේ වයසත් එක්ක මේ ලෙඩේ හොඳ කරන්න බෑ කියලා”


    සුභිත කල්පනාක‍ාරීව ඇන්ඩර්සන් දෙස බලා සිටියේය.


    “දොස්තරලා දැන් කියන්නේ මේ ලෙඩේ හින්දා ම‍ට ආපහු එංගලන්තෙට යන්න කියලා. ලංකාවේ තියෙන මේ ‍කාළගුනය නිසා මගේ අසනීපේ තව වැඩි වෙන්න පුලුවන් කියලා එයාලා කියනවා… ඊටත් වඩා…”


    ඇන්ඩර්සන් දිගු හුස්මක් හෙළුවේය.


    “දැන් එන්න එන්නම‍ කෝපි ව‍ගාව සවුත්තු වේගෙන යනවා. අපේ ලැබෙන ආදායමත් සැළකිය යුතු මට්ටමකින් අඩුවේගෙන යනවා. දැන් උඩරට කෝපි වෙනුවට තේ වවන්න හුඟක් අය කල්පනා කරනවා. ඒක හුඟක් වෙලාවට සාර්ථක වේවි. නමුත්.. දැන් ඒ වෙනුවෙන් මටවත්, නෝනටවත් වෙහෙසෙන්න විදිහක් නෑ.. අපේ කිසිම දෙයක් බලාගන්න දරුවෙක් අපි දෙන්නට නෑ…” ඇන්ඩර්සන් මහත්මිය බිම බලාගත්තාය.


    “සුභී… මම ලංකාවට ආවේ ‍කොල්ලා කාලේ. තනි මතේට. දැන් අවුරුදු හතළිහකටත් කලින්.. ඇවිත් හැමදේම මුල ඉඳං පටන් ගත්තා. මම හැදුනේ මේ රටේ. ලුසීව මට හමුවුණේ මේ රටේදි. සල්ලි හොයලා ධනවතෙක් වුනේ මේ රටේදි. ඒත් දැන් මේ ‍ඔක්කොම දාලා ආපහු මවු රටට යන්න වෙලා පුතා… ලුසී විතරක් මාත් එක්ක ආපහු යාවි…” ඇන්ඩර්සන් මහතා කියවාගෙන ගියේය.


    “සුභී… අපි කැමතියි යනකොට අපි මෙතෙක් කල් හොයපු සේරම දේවල් උඹ වෙනුවෙන් දීල යන්න. අපි‍ට ගෙනියන්න දේවල් නෑ පුතා. උඹ මේ රටේ එකෙක් වෙලත් අපි දෙන්න ගේ තනි නොතනියට හැම වෙලේම හිටියා. විස්වාසවන්ත මිතුරෙක් වුනා. කොටින්ම අපේ උන්ට වඩා මං උඹව විස්වාස කරනවා…”


    “මං මේ හැමදේම ලුසී එක්ක කතා කරලා තීරණයකට ආවේ. අවශ්‍ය සියලුම නීති කටයුතු මම සිද්ද කරලා තියෙන්නේ. උඹට ඉක්මණට ඒ ‍දේවල් ගැන දැනගන්න ලැබේවි. එංගලන්තේ අපේ ජීවිතේට අවශ්‍ය වෙන සුලු මුදලක් ඇරෙන්න අනිත් සියලුම වත්කම් උඹේ නමට හරවලා මම යන්නේ… මට උඹේ ස්තූතියක් එපා පුතා. දරුවෝ නැති අපිව මේ රටේ ඉද්දි බලාගත්තේ උඹ. ඒ වගේම උඹ හොඳ එකෙක්. මේ සියල්ල උඹ උපයා ගත්ත දේවල්….”


    සුභිත සියල්ලම අසා සිටියේ වචනයකුදු නොදොඩාය. ඔහුගේ වම් ඇලපතෙහි වූ තුවාල කැළල රිදෙන්නට වූයේ හිතේ වූ ශෝකය ඉන් පි‍ට දමන්නාක් මෙනි. හෙතෙම හෙමින් සැරේ එය පිරි මැද්දේ අවිඤාණිකවම ය.


    “මට උඹටත් අපිත් එක්ක ආපහු යන්න එන්න කියන්න හිතුනා. ඒත් මං දන්නවා උඹ කවමදාකවත් ලංකාව දාලා යන්නේ නෑ කියලා. ඒ වගේම අපේ අවසාන කාලේ උඹට බරක් වෙන්න කැමතිත් නෑ මම…”


    “පරිස්සමින් මේ දේවල් බලා ගනින්. උඹට හොඳට දියුණු වෙන්න පුලුවන් එකෙක්. සල්ලි බුද්ධිමත්ව ආයෝජනය කරපන්. අවසාන වශයෙන් අපි දෙන්නා වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරපන් පුතා…” ඇන්ඩර්සන් අවසාන වශයෙන් කීවේ සුභිත ගේ දෙවුර අල්වා‍ ගෙනය.




    සුබෝධ තමන්ට අවශ්‍ය වේයැයි සිතුන සියලු දේම හවස් වන විට නිවසින් පිට කර තිබුණි. ඇත්ත වශයෙන්ම ඔහුගේ බඩු බාණ්ඩ කියා එතරම් දෙයක් තිබුණේ නැත. අවසන් වරටත් නිවසේ ගබඩා කාමරය පරීක්ෂා කොට එහි තිබූ අන්තිම බඩු කිහිපය පෙට්ටි වලට බහාලමින් සිටියේය.


    අනුරාධපුරයට යුගයට අයත් ඇත් රුවක් කැටයම් කළ මාල පළඳනාවක් සහ රිදී ආභරණ කිහිපයක්, මහනුවර යුගයට අයත් වූ වැඩ දැමූ කුඩා කිණිස්සක්, රන් මාලයක් සහ පුස්කොළපොත් කිහිපයක් සහ තවත් විවිධ යුගවලට අයත් විවිධ භාණ්ඩ කිහිපයක්‍ අවසාන පෙට්ටියට දැමූ සුබෝධ තමාට මගහැරුණු යමක් වීදැයි වටපිට බැලුවේය. ගබඩා කාමරයේ මුල්ලට වන්නට තබා තිබූ කුඩා ස්පිනික්ස් ප්‍රතිමාවේ අනුරුවද, කොන්සතන්තිනෝපලයේදී තමන් මිළට කුඩා රිදීමුවා මංජුසාවද ඔහුගේ නෙතු ගැටුණි. ස්පිිනික්ස් ප්‍රතිමාව ඔහු මිසරයේ ජීවත් වන කාලයේ දැන හඳුනාගත් මිසර රාජකීය පවුලට නෑකම් කියන්නෙකුගෙන් තෑගි ලැබුණක් වීය. ඒ භාණ්ඩ දෙකද පෙට්ටියේ පරිස්සමින් ඇසිරූ හෙතෙම එය වසා මුද්‍රා තැබුවේය. අවසානයේ පරිගණකයෙන් මුද්‍රණය කළ ලිපිනයක් එහි ඇලෙව්වේය.


    “ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය, කොළඹ 07”


    මාස කිහිපයනකට පසුව පරිගණකයෙන් මුද්‍රණය කරන ලද ඉතා කුඩා ලිපියක් අසන්යා වෙත ලැබුණි. එය එවා තිබුණේ ඇය‍ෙග් කාර්යාලයට ලැබෙන පරිදිය.


    අසන්යා…ඔබද මමද අතර ඇති පරතරය සියවස් ගණනකි. මා වෙත කුලුපගව සිටියාට බෙහෙවින් තුති. මෙලෙස කිසිවක් නොකියා සමුගෙන යාමට සිදුවීම ගැන මාගේ බලවත් කණගාටු‍ව. නොකියාම මා හැරයාම නිසා ඔබව අපහසුතාවයට පත් වන්නට ඇතැයි සිතමි. නැවත වතාවක් ම‍ා ඒ වෙනුවෙන් සමාව අයදිමි. මේ සංකීර්ණ ජීවිතයේ ඔබව කොටස් කාරියක් කර ඔබව ව්‍යාකූලත්වයට පත් කරන්නට මට නොහැකිය.කියන්නට දේවල් බොහෝමයක් තිබුණත් මෙතැනින් නවතමි. නීරෝගී නිදුක් දිවියක් වේවා!සුබෝධ

    අනුරාධපුරයෙන් කිලෝමීටර හතළිහක් පමණ වන්නට දුරින් විල්පත්තුව රක්ෂිතයට මායිම්ව පිහිටි යකටුව විද්‍යාලයේ විදුහල්පතිතුමා තම රාජකාරී මේසය මත වූ ලිපිය නැවත වරක් අතට ගෙන කියවීය.


    “… ඔබ විද්‍යාලයේ පවතින අඩුපාඩු සළකා බලා ඉංග්‍රීසි සහ ඉතිහාසය විෂය ඉගැන්වීම පිණිස නව ගුරු භවතෙකු මේ මස 17 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ විද්‍යාලයට අනුයුක්ත කර ඇති බව සතුටින් දන්වා සිටිමි. නව ගුරුභවතා වන සුභාග මහවිතාරණ මහතා ‍මේ මස 17 වන දින හෝ ඊට ප්‍රථම දිනක ඔබ වෙත වාර්තා කරනු ඇත. ඔහු වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි”
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,867
    1
    9,112
    113
    මරු කතාව.ඒත් මට එකක් අපැහැදිලී.මේ පුද්ගලයා පසුගිය භවයේ මතක සහිතව නැවත නැවත උපත ලබනවද නැත්තම් අමරණීයද?
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මරු කතාව.ඒත් මට එකක් අපැහැදිලී.මේ පුද්ගලයා පසුගිය භවයේ මතක සහිතව නැවත නැවත උපත ලබනවද නැත්තම් අමරණීයද?

    "...ඔහුට මෙලෙස පළා යාම නුපුරුදු දෙයක් නොවීය. මී‍ට පෙර කිහිප වතාක්ම ඔහු මෙලෙසින් පළා ගොස් ඇත. එහෙත්, නවීන තාක්ෂණය නිසා එය පෙර මෙන් පහසු ක්‍රියාවක් නොවනු ඇත."

    මං හිතන්නේ මෙතන ඔයාගේ ප්‍රශ්ණයට උත්තරය තියෙනවා... 😁