ගුරුවරු තම සිසු දරු දැරියන්ට හරි මඟ පෙන්වා දුන්නෝය. වැරදි මඟක යාමට නොදී ඔවුන්ව රැක බලා ගත්තෝය. රචකයා පවසන අන්දමට එසේ රැක බලා ගත් දරු දැරියන් අද සමාජයේ ඉහළ ස්ථර වලය. රචකයා එහිදී ඔහුගේ තරහව මේ නිර්මාණය සමඟ මුසු කරන්නේ එසේ ඉහළ ස්ථර වල වැජඹෙන ගෝලයින් ඔවුන්ට සිප් සතර ඉගැන්වූ ගුරුවරුන්ට නිසියාකාරව සැළකුම් නොකරන බව පවසමිණි. නමුත් ගුරුවරයාගේ සිතේ මේ හැසිරීම් පිළිබඳ කිසිඳු තරහවක් හෝ දුකක් නොමැත. ඔහු තවත් පරම්පරාවකට අකුරු උගන්වනු වස් පාසල් යයි. සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ… අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ලෙස දක්වමින් රචකයා පැවසීමට වෑයම් කරන්නේ එයයි.
කෙසේ නමුත් මේ අද පවතින සමාජ ක්‍රමයට වඩා පෙර දවස බොහෝ සෙයින් වෙනස්ය. ගුරුවරයා යනු එකල සමාජයේ වැඩි ගෞරවයට පාත්රවූ චරිතයකි. ගමේ හොඳම නිවහන ගැමියන් වෙන්කළේ ගුරු ගෙදරටය. තමන්ගේ දරුවන්ගේ දෑස් පාදන විශ්ම දෙවියන් ඉස්කොලේ මහත්වරු බව ඔවුහු සිතූහ. නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් බැව් නොරහසකි. දරුවෙකුගේ වරදකට පොඩි පහේ දඬුවමක් දී ඔහුව යහමඟට ගැන්මට උත්සාහ කළොත් අද බොහෝවිට ගුරුවරයාට නැවතීමට සිදුවන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේය.
දෙවෙනි පද පෙළින් රචකයා කීමට උත්සාහ දරා ඇත්තේ අද අධ්‍යාපනයට සිදුව ඇති ඉරණමයි. ඉගෙනීමේ වටිනාකමක් නොදත් ඇතැම් පෙදෙස් වල සමහර සිසුහු පොත පතට ආයුබෝවන් කියා තම තමන්ගේ කර්තව්‍ය වල නියැළෙති. ඉගෙනීමෙන් ඵලක් නැතැයි සිතා ඔවුහු ඉක්මනින් මුදල් ඉපැයීමේ මං සොයති. එසේ සොයා ගිය, රචකයා මෙහි හඳුන්වාදෙන දරුවා යොමු වන්නේ බස් පොළේ රටකජු විකිණීමටය. දැන් පෙළ පොතේ සිටි සාමලා අමරලා එහි නැත. ඔවුහු බස් පොළේ කජු විකුණති. ඒ දරුවන්ට දැන් කුමාරෝද පොත් වලින් ඵලක් නැත. කජු ගොටු සාදන්නේ ඒ පොත් වල කොළ ඉරාය. එදා වේල සරි කරගෙන මේ සමාජයේ ජීවත් වීමට වෙර දරන බොහෝ පවුල් වල තත්වය එයයි. ඔවුන් එයට අකමැති වුවත් ඇතැම් විට කිරීමට දෙයක් නොමැත. මේ ක්‍රමය ඔවුන්ව එම තත්වයට පත් කොට ඇත. </span></p>
#8220;උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ… වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ…”: වර්තමානයදී ශිල්පය පිලට වැටී ඇත.
බොහෝ පිරිසකගේ ශිල්පය පිළිබඳ තැකීමක් නැත. රචකයා පවසන අන්දමට අවසානයේ ශිල්පය ගුරුවරයා වෙතට පැමිණ ඉල්ලීමක් කරයි. තමන්ව දැන් කිසිවෙකු ගණන් නොගන්නා නිසා තමාට වේවැලෙන් තරවටු කරන්න යැයි ශිල්පය ගුරුවරයාගෙන් ඉල්ලයි. ශිල්පයට මේ සිදුවන සිදුවීම් ගැන දුකය. තවත් අතකින් දැන් වේවැලෙන් තරවටු කිරීමට සිසුන් පන්ති කාමරයේ නොමැත. වරදක් කළත් තරවටු කිරීමට යාමටද දැන් නොහැකිය.
අවසානයේ දක්වන්නේ මේ ගුරුවරයාට මේ සමාජ ක්‍රමයට අනුගත වීමට නොහැකි වූ බවයි. සමහර ගුරුවරුන්ට අනුගත වීමට හැකි වුවත් මේ ගීතයේ එන ගුරුවරයා එයට අපොහොසත් විය. ගුරුවරයා සන්තකයේ මිල මුදලක් නැත. ඔහු ඉගැන්වීමට මුදලක් අය කළේ නැත. දැන් ඔහු අසරණය. දීග දෙන වයසක සිටින තම දියණියට හොඳ දෑවැද්දක් ලබා දීමට ඔහු අපොහොසත්ය. මේ සමාජ ක්‍රමය තුළ හරිහමන් වත්කමක් නොමැතිව කාන්තාවක් කැන්දාගෙන යාමට කැමති වන පිරිමින් නොමළ ගේකින් අබ මිටක් සොයනවා වැනිය.
එදා මුලු ගෙදරම සුවඳවත් කෙරූ සමන්පිච්ච කැකුළිය මිලින වී ඇත. මේ සියලුම ප්‍රශ්න ස්වාමියාගේ කරපිට පටවා දයාබර බිරිඳ ජීවිතයට ආයුබෝවන් කියා යන්නට ගොස් ය. නමුත් තාමත් බිතු සිතුවමක් මෙන් ඇය තම ස්වාමියගේ සියලු දුක් කම්කටොලු දෙස නිහඬව බලා සිටී. මේ ලංකාව තුළ සිදුවූ සමාජ හා ආර්ථික වෙනස් වීම තුළ සැබෑ මානව හිතවාදි ගුරුවරයා මුහුණ දුන් ප්‍රශ්න ය.
එමෙන්ම අධ්‍යාපන ක්‍රමය මුහුණ දුන් ප්රශ්නය. සමහර ගුරුවරුන් මේ තත්ත්වයන් හමුවේ වෙනස් වී තම ජීව්ත ඒ ආකාරයෙන් හැඩගස්වා ගත් නමුදු මේ ගීයේ එන පරිදි ඊට හැඩ නොගැසුණු සොඳුරු අව්‍යාජ ගුරුවරුන්ට උදාහරණද අද සමාජයේ බොහෝ ඇත.
මහින්ද චන්ද්‍රසේකර මහතාගේ පද රචනයෙන් හැඩවූ රෝහණ වීරසිංහ මහතාගේ තනු නිර්මාණයෙන් සංගීතවත් වූ සුනිල් එදිරිසිංහ මහතාගේ හඬින් ගැයුණු මේ ගීතය එදා මෙදා තුර බිහිවූ සියලුම “ගුරු උතුමන්ලාට” උපහාරයක්ම වන්නේ එබැවිනි.
view-source:
https://blog.colombobeacon.com/පැන-මඩ-කඩිති-වැව්-තාවුලු-ව/