වසරකට පසු මෙරටින් කොරොනා මරණයක් වාර්තා වේ.
වසරකට පමණ පසු මෙරටින් නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් ඊයේ (23) වාර්තා වී තිබෙනවා.
මෙලෙස කොවිඩ් රෝගයෙන් මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි.
කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු ආසාදනයකින් මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා.
මෙම පුද්ගලයාගේ මරණය ගැන සැක සිතී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මේ අතර දින කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ඔමික්‍රොන් JN.1 ප්‍රභේදය දිවයින පුරා පැතිරෙමින් ඇතැයි තමන් අනුමාන කරන බවයි.
මේ දිනවල පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් ඔමික්‍රෝන් JN.1 ප්‍රභේදය විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
