මං මේ කල්පනා කලේ හොල්මනකගෙ ජීවිතය මොන වගේ ඇද්ද කියල.
දැන් ගෙදරක හොල්මනක් ඉන්නවා කියල හිතහන්.. මොකක්ද මූ කරන්නෙ? ගෙදර මොකෙක්වත් වැඩිය ළං වෙන්නැති කාමරේක හරි මුල්ලක හරි... දවල් තිස්සෙම එකම තැන ගුලි වෙලා ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා.. හිතල බලහන් කොච්චර එපා වෙන වැඩක්ද කියල.. එතන මුල්ලට වෙලා රෑ දොළහා වෙනකල් පැය, විනාඩි, මිනිත්තු ගනන් කර කර හැංගි හැංගි බලන් ඉඳල ඉඳල දෙයියනේ කියල මහ රෑ දොළහා ජාමේ උදා වුන ගමන් මොකක්ද මූ කරන මහ ලොකු වැදගත් වැඩේ?
එක්කො "ඩොග්" ගාලා දොරක් වහයි.. නැත්නම් "දඩස්" ගාලා ජනේලයක් වහයි.. කට්ටියට නින්ද යනකම් බලන් ඉඳල බාත් රූම් එකකට රිංගලා හිමීට කරාමයක් ඇරලා "ඔහෙප් පලයන්" කියල හැටට හැටේ පණ කඩාගෙන දුවලා හැංගෙයි.. ගෙදර මහ එකා නිදිමරගාතේ ටැප් එක වහල නෑ කියල ගෑණිට බැණ බැණ ඇවිත් කරාමේ වහලා යන හැටි බලාගෙන "ඉහි.. ඉහි.." ගගා හිනා වෙවී මෝඩ චූන් එකක් ගනියි
හිතපන් කොච්චර බෝරින් එපා කරපු ජීවිතයක්ද කියල.. මුං කරන ගොන් වැඩ වල තේරුම මොකක්ද කියල කල්පනා කරල බලහන්
ඔය කරන ටිකත් සතියකට රැයක් දෙකක්, එක රැයකට දෙතුන් පාරක්නෙ උපරිම කලොත් කරන්නෙ... ඔය සතියකට රැයවල් දෙක තුනක එක පාරක් දෙපාරක් භාජනයක් පෙරළලා ගන්න ආතල් එක මොකක්ද මුං..?
ඒ ගෙවල් වලට අරක් ගත්තු හොල්මන්නෙ. කැලෑ හොල්මන් ඊට හපන්
මහ රෑ පාළු පාරක මඟ රැකගෙන ඉඳලා බස්සෙක් වගේ ගස් අස්සෙන් එබිල එබිල, හොල්මන් වලට බය පොරක් එනකල් (ඒත් තනියෙමම එනකල්) බල බල ඉඳල.. .. ... බලාගෙන ඉඳල ඉඳල "හූස් බූස්" ගාලා බය කරයි.
ඔය ටික කරන්න කොච්චර වෙලා බලාගෙන ඉන්නවා ඇද්ද අර පොලිස්කාරයෝ ඉර කපන වාහන අල්ලන්න හැංගිලා බලන් ඉන්නව වගේ.. මොකද පොලිසියට වගේ පඩි ගෙවනව කියලයැ..
අනික දැන් රෑට පාළු පාරවල් හොයාගන්නම කොච්චර අමාරුද කියල හිතල බලහන්.. හැම තැනම ලයිට් දාලා.. හැම තැනම ගෙවල් හැදිලා.. කඩ සාප්පු, නගර ඉදිවෙලා.. අහල පහල ගෙවල් වල උනුත් රෑ දොගොඩ හරිය වෙනකල්ම ඇහැරිලා..
හෙණම පව් නැද්ද කියහං හොල්මනකගෙ ජීවිතේ..?
ගෙවල් වල හොල්මන් කරන අනිත් වැඩේ තමා කවුරු හරි එනකල් බලන් ඉඳලා ඉඳලා... කවුරු හරි එද්දිම පඩිපෙළවල් දිගේ උඩට දුවගෙන යනවා එන එකාට ගානට අන්තිම මොහොතෙ හොල්මනගෙ කකුල් දෙක විතරක් ලාවට පෙනී නොපෙනී යන විදියට... (මාරම ටයිමින්ග් ඈ)
නැත්නම් අවුරුදු ගානක් බලන් ඉඳලා, මිනිහෙක් හොයාගෙන, ඌට තේරුම් ගන්න බැරි මොකක් හරි ඉලව්වක් කරනවා, ඌ මැරෙනකල් තුන් තේරවිල්ලක් තෝරනවා වගෙ 'අඩේ එදා මොකක්ද බොල වුනේ' කියල හිත හිත ඉන්න..
එහෙම නැත්නම් කාගෙ හරි කාර් එකක නැගලා ඌත් එක්ක කතාවක් දාගෙන ඇවිත්, ඌත් එක්ක ගෙදර දොර ගාවට ගිය ගමන් අතුරුදන් වෙනවා... ගෙදර උන් ඇවිත් "අනේ එයා මැරිලනේ" කියලා කිව්වම අර අසරණයා Surprise වෙනව බලන්න..ඔය වගේ වැඩනෙ කරන්නෙ... මොන දෙකයි පනහෙ ආතල්ද කියහන්කො?
ඇයි බන් හොල්මන් වුනත් මෙහෙම ගොන් පාර්ට් වෙන්නෙ? ආත්ම ගෞරවයක් කියල එකක් නැද්ද මුංට?
මම හොල්මනක් වුනා නම් ඔහොම හැංගි හැංගි දෙකයි පනහේ කොන්ද පණ නැති ආතල් ගන්නෑ...
මං හොල්මනක් වුනා නම් කරන්නෙ, හොඳ ජයට ගන්න වෙඩින් එකක පෝරුවෙ සෙරමනිය වගේ හැමෝම ෆුල් සීරියස් එකේ මීයට පිම්බාක් වගේ නිහඬව ඉන්න මොහොතක.. අර කපුවාද මොකාද එකා කවි කිය කිය ගිරිය පුප්පන් බෙරිහන් දෙන වෙලාව අල්ලලා... මනාලයයි මනාලයි මැද්දට "බුහාහා...ආ".............. "බුවෑඈඈ....ක්කා..."ගාලා කඩන් පනිනවා වගේ මරු ආතල් සීන් එකක්..
මං සෑහෙන කාලෙක ඉඳල කල්පනා කරනවා ඇයි හොල්මන් ඒ වගේ පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්නැත්තෙ කියල.. කෝමද මුළු මංගල සභාවම හිස් ලූ ලූ අත "බුදු අම්මෝ යකෙක්" ගගා කෑගගා දුවද්දි... කාටද කියහංකො ආඩම්බර... (ඇත්තටම කාටද බං?)
(හැබැයි කට්ටියම බය නොවී ඒ හිටියා වගේම නිහඬව හිටියොත් තමා වැඩේ.. එහෙම වුනොත් හොල්මනට වුනත් වෙන්නෙ හෙණම Awkward අපහසුතාවයට ලක් වෙලා ශේප් එකේ හිනාවක් දාලා මුකුත් වුන්නෑ වගේ මාරු වෙන්න. කට්ටිය බය නොවී ඔහේ හිටියොත් වස නෝන්ඩියනෙ.. ඇයි ඊළඟ ස්ටෙප් එකට කරන්න කියල දෙයකුත් නෑනෙ.. බුහහා කියල කෑගැහීම, බඩුවක් පෙරළීම වගේ දෙයකින් එහාට මොනව කියල කරන්නද හොල්මනක් වුනත්..)
හැබැයි නෝන්ඩි වෙලා හරි.. දැන් හොල්මන් කරනවට වඩා සිරා වැඩක් නම් කරනවාමයි..
ආදරණීය සදාරණීය පියාණන්ගේ පුත්‍රයා ස්ටේජ් එකක ගිරිය පුප්පන් කෑගහන අර උගෙ කතාව අහවර වෙලා ගිටාර් එක ගගහා වැඩ පෙන්න පෙන්න ඉද්දි එකපාර මතු වෙලා ගිටාර් එක උදුරගෙන උගෙ ඔලුවටම කෙළලා දාලා "තොට ඇත්තටම මොළයක් කියල දෙයක් නැද්ද යකෝ" කියල මහ හඬින් කෑගහලා අතුරුදන් වෙනවා.. මහා ජනකායක් මැද්දේ ඒ වගේ වැඩක් කරපුවාම කොහොමද.. ලෙජන්ඩරි හොල්මන්ස් බුවෙක් වෙනවනෙ බන් නිකන්ම !
මම මේ බොරුවට නෙමේ කියන්නෙ.. මං නම් හරි කැමතියි දැන් වැළේ වැල් නැතුව හොල්මන් වෙලා ඉන්න වත්මන් හොල්මන් පරපුර හැංගි හැංගි ගොන් පාර්ට් වෙන්නැතුව ඒ වගේ ක්‍රියේටිව් වැඩ ප්‍රසිද්ධියේම කරනවා නම්..
මම පොඩි කාලෙ ඉඳලම කල්පනා කරනවා සිරාවටම ඇයි මුන් මේ දොරවල් සද්දෙට වහනවා වගේ ගොන් වැඩ කරන්නෙ කියල
මොකද දොරවල් ජනෙල් වහන එක කලා කියල වැඩක් තියෙනවයැ... ගෙවල් වල මේස උඩ තියෙන බඩු වට්ටලා කඩන්න හොල්මන් ඕනයැ... ඔය පූසො බල්ලොත් කරන්නෙ යස අගේට ඒ වැඩේ නම්..
ඇයි බන් හොල්මන් වෙලා මෙහෙම නිකන් කුජීත වෙන්නේ?
මොන අසරණ ජීවිතද ඕයි?
.
.
.
--- ජේමිස් බණ්ඩා


