නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank) ගල්කිස්ස ශාඛාවේ මනි මාර්කට් නම් ගිනුමක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 13ක මුදලක් කිසියම් කණ්ඩායමක් විසින් වෙනත් ගිනුම් දෙකකට මාරු කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව අදාළ ගිනුම හිමි අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
ඉකුත් මාර්තු මාසයේ 26 වැනිදා දහවල් කාලයේ පැයකටත් අඩු ඉතා කෙටි කාල පරාසයක් තුළ, කිසිදු පූර්ව දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව අදාළ පාරිභෝගිකයාගේ ගිණුමෙන් මූල්‍ය ආයතන වන Dialog Finance සහ LOLC Finance වෙත අන්තර්ජාලය හරහා (CEFTS) මාරු වී ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අප (ශ්‍රී ලංකා මිරර්) නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank) ගල්කිස්ස ශාඛාවේ කළමනාකරු ලක්සිරි ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එවැනි ගැටලුවක් ඇතිවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් බැංකු නීතී රීති අනුව තුන්වැනි පාර්ශවයකට තොරතුරු සැපයීමට හැකියාවක් නොවීම මත පිළිතුරු ලබාදීමට නොහැකි බව කියා සිටියේය.
බැංකුවේ ප්‍රතිචාරය සහ වගකීමෙන් මගහැරීම
මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයා විසින් බැංකුවට කරන ලද පැමිණිලිවලට ප්‍රතිචාර දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් යොමු කර ඇති නිල ලිපියක දැක්වෙන්නේ, මෙම සියලු ගනුදෙනු පාරිභෝගිකයාගේ නිවැරදි User ID සහ Password භාවිත කරමින් මොබයිල් බෑන්කින් (Mobile Banking) යෙදුම හරහා සිදුවී ඇති බවයි.
එමෙන්ම, එම ගනුදෙනු ලියාපදිංචි උපාංගයෙන්ම (Device ID) සිදුවී ඇති බව පද්ධති දත්ත (System logs) මගින් තහවුරු වන බව ද බැංකුව පවසයි.
තම බැංකු පද්ධතියේ කිසිදු දෝෂයක් හෝ කඩාවැටීමක් සිදුවී නොමැති බව තරයේ ප්‍රකාශ කරන බැංකුව , මෙය බාහිර පාර්ශවයක් විසින් පාරිභෝගිකයාගේ ජංගම දුරකථනයට හෝ උපාංගයට අනවසරයෙන් ප්‍රවේශ වීමක් (device takeover) හරහා සිදුවූවක් විය හැකි බවට අනුමාන කරයි.
ඒ අනුව, මෙම මූල්‍ය අලාභය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීමට තමන්ට නොහැකි බවත් (Bank is not in a position to assume liability), ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කරන ලෙසත් බැංකුව විසින් පාරිභෝගිකයාට දැනුම් දී ඇත.
සීමාව මිලියන 5යි; 13ක් ගියේ කොහොමද ?
බැංකුව එසේ කියා සිටියද, අදාළ ගිනුම මගින් තවත් ගිනුමකට බැරකළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් ලක්ෂ 50ක් නැත්නම් මිලියන 5ක් බවට සීමා තිබියදී අදාළ ගිනුමෙන් මිලියන 13ක් වෙනත් ගිනුමකට බැරවීම ගැටලු සහගත තත්ත්වයකි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගිනුම් හිමියා සමාජ මාධ්‍ය වෙත දමා තිබූ සටහන ඉවත්කර ගන්නා ලෙස එම බැංකුව තර්ජනය කර ඇති බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
-srilankamirror
source