අපි ධර්මයේ ගැඹුරුම තැන් අල්ලාගන්න ගියොත් අපි හැමදාම හොය හොය ඉන්නවා මිසක් ඵලයක් ලබන්නේ නැහැ.
~~රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ සමග කරපු කාලේන ධම්ම සාකච්චා පොතෙන්~~
ප්රශ්නය කුසල මූල පටිච්ච සමුප්පාදය තුළ තිපරිවට්ටයක් මම යෝගී අවස්ථාවක දැක්කා. ඒ තිපරිවට්ටය විග්රහ කරලා තියෙනවා සංවට්ට, පරිවට්ට, විවට්ට කියලා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය ගැන අපිට අහන්න ලැබිලා තියෙන්නේ එහෙමයි. අනිත් එක මොකක්ද කියලා දැනගන්නයි, මේ ප්රශ්නය යොමු කරන්නේ ස්වාමීන් වහන්ස?
පිළිතුර මෙහෙමයි මහත්තයෝ, ඔය දෙක කියන්න මම නම් දන්නේ නැහැ. අපි හැම වෙලාවෙම මහත්තයෝ සරල තැනින් අල්ලාගන්න ඕනෑ. අපි ධර්මයේ ගැඹුරුම තැන් අල්ලාගන්න ගියොත් අපි හැමදාම හොය හොය ඉන්නවා මිසක් ඵලයක් ලබන්නේ නැහැ. එතකොට මගේ ජීවිතයේ මං කැමැතිම ධර්මයක් දේශනා කරනවා නම් මම දැක්කා වූ දේ මම ඇල්ලුවා වූ තැනින් තමයි මම එක දේශනා කරන්නේ. මොකද අපේ ජීවිතයේ අපි පැවිදි වෙච්ච දවසේ පටන්, පැවිදි වෙච්ච මොහොතේ පටන් මම කළේ මගේ ළඟ තිබ්බා වූ දැනුම හිස් කළා මහත්තයෝ. ගිහි ජීවිතයක් පුරාවට අපි අප්‍රමාණ දේවල් කියෙව්වා. අප්‍රමාණ දේවල් පරිශීලනය කළා. අප්‍රමාණ බණ ඇහුවා. ඒ සෑම දෙයක්ම ගිහි ජීවිතය තුළ සිද්ධ කළා. නමුත් අවසානයේ දී අපි පැවිදිවෙලා දැනගත්තා මේ දැනුම කියන්නේ පළිබෝධයක්ය කියන කාරණය. ඒ නිසා දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අපි අයින් කර ගත්තා.
ඒ නිසා කොතැනකවත් මහත්තයෝ ඔය සූත්‍රයක් කියවන වෙලාවේ මහත්තයා කියන කාරණය මම නම් දැකලා නැහැ. පටිච්ච සමුප්පාදය විස්තර කරද්දී මට විස්තර කරන්න පුළුවන් මේ අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං මේ ආදී වශයෙන් අවසානෙට ගිහිල්ලා ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන කාරණය තමයි මම නම් දැක්ක තැන. ඉතින් ඒ තැන මට ගොඩක් පහසු වුණා. ඒ නිසා හැම වෙලාවෙම මහත්තයෝ සමහර විට ඔය වැනි විග්‍රහයක් කොහේ හරි තියෙන්න පුළුවන්. නමුත් මහත්තයෝ, අපට ඕන ලේසි තැනින් මේක අල්ලගන්නයි නේද?
ප්‍රශ්නකරු මම ඒක දැක්ක හින්දයි ඇහුවේ. කොහේවත් ඊට උත්තර ලැබුණේ නැහැ. ඒකයි ඇහුවේ, ස්වාමීන් වහන්ස.
පිළිතුර එහෙමයි, ඉතින් හම්බවුණේ නැත්නම් මහත්තයෝ හොයන්න යන්න එපා. දැන් මම සරල ආකාරයෙන් පෙන්නුවනේ. ඒ නිසා අපි හැම වෙලාවෙම සරල තැනින් අල්ල ගන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. එයා අවුරුදු 50 ක් දැඩි ආකාරයෙන් වෙහෙස වෙලා තමයි සෝවාන් ඵලයට පත් වුණේ. අවුරුදු 50 ක් විතර ඒ වෙනුවෙන් කැප වුණා. ඒ මාර්ගය තුළ ගමන් කරලා අවුරුදු 50 ක් ගත වෙලයි එයා සෝවාන් ඵලයට පත් වෙන්නේ. නමුත්, අංගුලිමාල කියන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ධර්ම කාරණයක් අහලයි චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත්තේ. කිසාගෝතමී, පටාචාරා, සුනීත වගේ අය එක ක්ෂණයකින් ධර්මය අවබෝධ කර ගන්නවා. එතකොට මහත්තයෝ අපි හැම වෙලාවෙම මාර්ගය තුළ යද්දී අර අවුරුදු 50 ක් ගිහිල්ල මාර්ග ඵල අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේ අනුගමනය කරගෙන යනවා නම් ඒක අපේ දුර්වලතාවක්. අපි දක්ෂ වෙන්න ඕනෑ දකින්න අංගුලිමාල කොහොමද ක්ෂණයකින් මේ ධර්මය අවබෝධ කරගත්තේ කියලා. එහෙම නම් සුනීතල, සෝපාකල, පටාචාරල ගිහි ජීවිතය තුළ ධර්මය ගැන කිසිම දැනීමක් තිබ්බේ නැහැ. අර කිසාගෝතමිය මැරිච්ච දරුවෙක් කරගහගෙන නුවරක් පුරා ඇවිද්දා තමාගේ දරුවා මැරිලා කියලා අවබෝධ කරගන්නවත් දැනීමක්, ශක්තියක් ඇය තුළ තිබුණේ නැහැ. එහෙම දෙයක් වත් එයා දන්නේ නෑ. ඉතින් එවැනි කෙනෙකුත් අර සා පුංචි තැනකින්, පුංචි කමටහනකින් ධර්මය අවබෝධ කරගත්තා මහත්තයෝ.
ඒ නිසා අපි සෑම විටම ධර්මයේ ගැඹුරු තැන් සොයාගෙන යා යුතු නැහැ. ධර්මය කියන්නේ අතිශයින් සරලම දෙයක්. ධර්මය සරලම දෙයක් කියන්නේ මොකද ධර්මයට තියෙන්නේ එකම එක අර්ථයයි මහත්තයෝ. කුමක්ද ඒ අර්ථය? අනිත්‍යයි කියන අර්ථය විතරයි. කුමක්ද අනිත්‍යයි කියන්නේ. පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි ඔච්චරයි තියෙන්නේ.
කවදාහරි දවසක මහත්තයා සෝවාන් ඵලයට පත්වෙනවා නම් මහත්තයා දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. කවදාහරි මහත්තයා රහත් ඵලයට පත් වෙනවා නම් මහත්තයා දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා ලබන අවබෝධය. අතන අනිත්‍යයි කියලා දකිනවා. මෙතැන දී අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. එහෙමනම් ඔය තුළ තමයි මේ ධර්මාවබෝධය සැඟවිලා තියෙන්නේ මහත්තයෝ. තේරුණාද? ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනෑ සරල තැනින් මේක මතු කරලා ගන්න.
මගේ ජීවිතයේ මම හැම වෙලාවෙම දැක්කේ අංගුලිමාල කොහොමද ධර්මය අවබෝධ කරගත්තේ කියලා. මේ සුනීතල, පටාචාරාල, සෝපාකල කොහොමද ධර්මය අවබෝධ කර ගත්තේ කියලා. අර නිග්‍රෝධ වගේ පුංචි සාමණේරයන් වහන්සේලා, සංකිච්ච වගේ පුංචි සාමණේරයන් වහන්සේලා කොහොමද පුංචි වයසෙදි මේ ධර්මය මතු කරගත්තේ? එතැනින් තමයි මහත්තයෝ අපි මේකට අවතීර්ණ වෙලා ඉන්න ඕනෑ. එහෙනම් නැත්නම් ධර්මය කියන්නේ අනිත්‍යයි කියන වචනයේ අර්ථය විතරයි. ඒ ධර්මය ඒ සා සරල තැනක්. නමුත්, අපේ කෙලෙස් ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න අපට ධර්මය ගැඹුරු භාවයට පත්වෙනවා. ඒ නිසා ධර්ම මාර්ගය පිළිබඳව මට තියෙන අත්දැකීම නම් මහත්තයෝ මම සරලම තැනින් මතුකර ගත්තා කියන කාරණයයි. මහත්තයා කියන කාරණය කොතැන හරි සඳහන් වෙනවා ඇති. ඇත්තටම මම ඒ කතාව දන්නේ නෑ. (සාකච්ඡාවට වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලා අමතමින් දන්නවා නම් කියලා දෙන්න යැයි ඉල්ලා සිටියහ. එහෙත්, එම ස්වාමීන් වහන්සේලා ද මුනිවත රැක්කහ)
අර කියපු විදිහට පටන්ගන්න මහත්තයෝ ගොඩක් ගැඹුරු තැන් හොයාගෙන යන්න එපා. දැනුම අවබෝධය අත්‍යවශ්‍යයි. දැනුමෙන් තොරව නිවන් දකින්න බැහැ. දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවත් අතහැරුණු තැනයි අවබෝධය ලබන්නේ. තේරුණාද? දැනුමට ඇති තෘෂ්ණාව අත හැරුණා කියලා දැනුම අපෙන් ගිලිහෙන්නේ නැහැ. අපි දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරියා. තෘෂ්ණාව අතහැරියා කියලා අපි ලැබූ දැනුම මොට වුණාද? නැහැ. දැනුම අප ළඟ තියෙනවා. නමුත්, දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි, අපි අයින් කරගන්න ඕනෑ. එතකොට දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැර ගන්න නම් හුඟක් වෙලාවට අපි සරලම තැනට ගිහිල්ල ඒ සරලම දේ අපි අල්ලා ගන්න දක්ෂ වෙන්න ඕනෑ.
ඔය සමාධිය තුළ අපට ගොඩක් දේවල් ඇහෙනවා මහත්තයෝ. ඉතින් ඒ ඇහෙන හැම දෙයක්ම අපි ගන්න ගියානම් අපට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පමණක් ගන්න අපි දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් තුළින් දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය විතරක් අවශ්‍යතා සඳහා පරිහරණය කරන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද ඉන් එහා අපට ලෝකයේ යම් කෙනෙක්, යම් දෙයක් ප්‍රකාශ කරන්නේ එයාගේ ඉන්ද්රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. එතකොට එයාගේ ඉන්ද්රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත යමක් දේශනා කළහම අපට ඒ හැම ධර්මයක්ම සියයට සියයක් නිවැරදි හැටියට දකින්න බැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ සරල ආකාරයෙන් දේශනා කරල තියෙන ධර්මය තුළින් අපේ ධර්ම මාර්ගය මතුකරල ගන්න.