මට අපේ pads සහ iverdinesh සහෝදරවරු පොඩි කාලේ පාවිචිචි කරපු රේඩියෝ ගැන කතා කරපු දේ දැකල මටත් හිතුනා ඒ කාලෙ ගැන මතකයට ආපු පොඩි දෙයක් මෙහි සටහන් කරන්න... මොකද මට මතක් උනා ඒ කාලේ රේඩියෝ එකේ නිතර වාදනය වු සාරවත් ගීත.. කතිකාවට භාජනය වු සාහිත්‍යය කෘති අලලා තිබුන සංවාද...
මේ විදිහේ සංවාදවලට අද දවසෙත් අපි අපේ තරුන පරම්පරාවට වේදිකාවක් කොහේ හෝ තනා දිය යුතු බවයි මගේ හැඟීම. හේතුව අපේ තරුන පරම්පරාවට අපිට වගේ මේ සාහිත්‍යය කෘති පරිශීලනය කරන්න අවස්ථාවන් කොහෙත්ම ලැබුනේ නැති නිසාත්..නැත්නම් ලැබුන ඉඩ කඩ ප්‍රමාණය මදි නිසාත්....
හග්ගල්ලේ පී.කේ.ඩී.සෙනෙවිරත්න.. රදාවානේ මහගමසේකර ..බලන්න මේ නිර්මාන කරුවන්ගේ කෘති දිහා.
70 දශකයේ බිහිවුන මෙම අව්‍යාජ ගැමි නිර්මානකරුවන් විසින් අප වෙත බෙදා දුන් සිහිල් ගඟුලක් වන් සිත නිවනා සාහිත්‍යය රසය අදටත් අපි අත් විඳින්නේ මහත්වු චිත්ත ප්රමෝදයකින්.. අදටත් අපට සුලුවෙන් හෝ පද වැලක් ගැට ගහගන්න පුලුවන්වෙලා තියෙන්නේ අපි එදා මහත් ආශාවෙන් කියවා හිත හුරු කරගත් මේ යුග පුරුෂයින්ගේ නිර්මානවලට පින්සිදු වෙන්නයි....
කුරුලු බැද්ද චිත්‍රපටයේ එන මිල්ටන් පෙරේරා ගැයු "අරුන උදයේ පිපෙන මල සේ" ගීතය... අමරදේව ගාන්ධර්වයා විසින් ගයන ලද "ඈත කඳුකර හිමව් අරණේ" වැනි ගීත..මේවා සදා කාලයෙන් සදා කාලයට අපේ සිත් වලින් ඉවත් කරන්න පුළුවන්ද?? ඇහෙන ඇහෙන ගානේ රසය අලුත් වෙන්නේ නැද්ද?
කවුරු හරි කියන්න පුළුවන් ඒක එක එක්කෙනාගේ ගීත රුචිකත්වය කියල. රුචිකත්වයට වඩා එහා ගිය නිර්මානයේ ඇති අති සොඳුරු බව හා ගීයේ අමරණීය බව ගැනයි මගේ මේ සටහන...
එම නිර්මාන අපට බෙදා දුන් ඒ මිනිස්සු හරිම අව්‍යාජ කලා කරුවෝ...ජනතාව අතරේ ජීවත්වෙමින් ඔහුන්ගේ හද ගැස්ම නිවැරදිව හඳුනා ගනිමින් තමන්ගේ නිර්මාන තුලින් තමන් ජීවත්වු ගමත් එක්ක ඒවා බද්ධ කරල කතා කරපු මිනිස්සු..
ගහ කොල, ලඳු, බඩවැටි අතරේ කුරුල්ලන් හා සමනලුන් එක්ක කතා කරපු මිනිස්සු..ඒකයි ඒ යුගයේ නිර්මානකරුවන්ගේ නිර්මාන අදටත් නොමැරි අප සිත් පතුලේ රැදී තිබෙන්නේ..
70 දශකයෙන් පසුව රටේ ඇතිවු සමාජීය හා දේශපාලන විපර්යාසයනුත් එක්කම මිනිස්සුන්ගේ මනස ඔද්දල් කරනා සාහිත්‍යයක් අපේ රටේ බිහිවෙන්න ගත්තා..
ගැමිකම නිකන්ම නාගරීකරණය වුනා..ගමේ දොල පාරෙ කකුල ඔබාගෙන වතුරට කෝටු කෑලි වලින් ගසමින්...යාලුවන් එකින් එකා ගඟට තල්ලු කරමින් තරඟෙට පීනපු, ගස් වලින් අඹ, පේර, දම් කඩාගෙන කාපු කුඩා දරුවන්ගේ අතට හා හිතට ඊට පස්සෙ සෙල්ලම් කරන්න ලැබුනේ ඇල, දොල, ලන්ද, ගහ කොල සතා සිවුපාවා විනාශ කර දමන අන්දමේ සෙල්ලම් බඩු....
සමනලයො වෙනුවට අතට ලැබුනෙ මකරො..නැත්නම් අපි කවදාවත් නොදැකපු ඩයිනසෝරස්ලා.. බොනික්කො වෙනුවට ලැබුනේ සැඩ පරුෂ පෙනුම ඇති බොහෝ අඩුවෙන් ඇඳුම් අන්දපු ගැහැනු රූප....තල්ලු කරගෙන ගිය ටයර් හා කුරුම්බැට්ටි..වෙල් එලියේ සුලඟින් උඩ අහසේ ඇරපු සරුංගල් වෙනුවට අතට ලබුනේ කෘතිම ගිනි අවි...අන් අයට හිංසා පමුනුවන අන්දමේ සෙල්ලම් බඩු
ඒ කාලය ආයේ කොහොම ගේන්නද කියල හිතා ගන්නවත් බැහැ...මහගමසේකරලා දහසක් ඉපදුනත් අප වැටී සිටිනා මෙම දුගඳ හමනා සමාජ භාවිතයන්ගෙන් අපේ තරුන පරපුර ගොඩ දමා ගන්නට හැකිවේද කියන එක අද දවසේ මට ප්‍රශ්නාර්ථයක්...
මම හිතනවා මෙම තරුන පරපුරට මග හැරුණු එම යුග නිර්මානකරුවන්ගේ සාහිත්‍යය කෘති..පොත් පත් හා විමර්ශන කියවන්නට නිරන්තරව ඔවුන් දිරි ගැන්වීම හා ඒවා කෙරෙහි ඔහුන්ගේ සිත් යොමු කිරීම අපේ වගකීම කියල...
මහගමසේකරගේ "බෝඩිම"... "ප්රබුද්ධ"...
එදිරිවීර සරච්චන්ද්‍රගේ "විලාසිනියකගේ ප්‍රේමය".."මලවුන්ගේ අවුරුදු දා".."ධර්මිෂ්ට සමාජය" වැනි පත පොත කියවා විඳින්න කැමති නංගිලා මල්ලිලා කොහෙන් හරි හොයාගෙන කියවන්න කියල මං ආදරෙන් ඉල්ලා සිටිනවා...