සන්ඬේ ලීඩර් ලිපිය වැරදි අර්ථකථනයක් - ජනරාල් සරත් ෆොන්සේකා
යුද්ධයේ අවසන් අදියරේදී ආරක්ෂක හමුදාවන්ට බාර වීමට පැමිණි එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීමට ආරක්ෂක ලේකම්වරයා අණදුන් බව තමා පැවසුවේ නැති බවත් ඉරිදා ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ පළවී තිබූ ප්‍රවෘත්තිය තමා පැවසූ දෙය වැරදි ලෙස අර්ථකථනය කිරීමක් බවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ සවස මාධ්‍යයට දැන්වූවා.
මගෙන් ඇසූ ප්රශ්නය වූයේ එල්ටීටීඊ නායකයින් කිහිප දෙනෙකු මැයි 17 වන දින සුදු කොඩි ඔසවාගෙන විත් බාර වීමට සූදානම් වූ බවත්, එ් සඳහා ආරක්ෂක ලේකම්වරයාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට නෝර්වීජියානුවන් හරහා පණිවුඩ දී තිබු බවත්, එහිදී ආරක්ෂක ලේකම්වරයා හෝ බැසිල් රාජපක්ෂ මහතා ඒ පිළිබඳ ගත් පියවර කුමක්ද? යන්නයි.
ඊට මා දුන් පිළිතුර වූයේ, ‘ත්‍රස්තවාදී නායකයින් සුදු කොඩි ඔසවාගෙන පැමිණ බාරවීමට ගිය කථාව මා දැන සිටියේ නැහැ. නමුත් මා පසුව මාධ්‍යවේදීන්ගෙන් දැනගත්තා. නෝර්වීජියානුවන් හරහා ඔවුන් ආරක්ෂක ලේකම්ගෙන් හා බැසිල් රාජපක්ෂ මහතාගෙන් මේ ගැන විමසා ඇති බව. එය දැනගෙන සිටියේ ඒ දෙදෙනා පමණක් බව එවකට මාධ්‍ය හරහා පැතිරී තිබුණා.
මාධ්‍යවේදීන් මේ ගැන මා හට පැවසූවේ ආරක්ෂක ලේකම්වරයා විසින් යුද පෙරමුණේ සිටි උසස් නිලධාරියෙකුට කතා කොට කිසිවකු සුදු කොඩි සහිතව හෝ නොමැතිව පැමිණෙන්නේනම් ඔවුන් හට බේරී යාමට ඉඩ නොදිය යුතු යැයි ප්‍රකාශ කර ඇති බවයි. එය මා මෙන්ම ඔබත් වෙන අයගෙන් ඇසූ කතාවයි.
මා එය පැවසූ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තකා, මට ඔවුන් කවුදැයි හෙලි කළ නොහැකියි. මා හට මේ තොරතුරු පැවසූවේ එදා යුද බිමේ සිටි මාධ්‍යවේදීනුයි. ඔවුන් මට ප්‍රකාශ කෙළේ ආරක්ෂක ලේකම්වරයා එක් හමුදා ප්‍රධානියෙකු අමතා එසේ ප්‍රකාශ කර තිබූ බවයි.’