2011-01-08 වෙනිදා වෙනකොට අපේ රටේ හිටපු දැවැන්ත මාධ්‍යවේදියෙක් වූ ලසන්ත වික්‍රමතුංගයන්ව අපෙන් වෙන්කරලා අවුරුදු දෙකක්. ලසන්ත නැති පාඩුව අද අපේ සමාජයටම තදින්ම දැනෙනවා වගේම සමහරුන්ට ඔහු නැති වාසිය දැනෙනවා ඇති. කවුරු කොහොම මොනවා කිව්වත් 2011-01-09 වෙනිදා ඉරුරැස පත්තරේ තිබුණු ලිපියක් තදින්ම මගේ හිතට වැදුනා. ඒ නිසාම ඔයාලත් එක්ක ඒක බෙදාගන්න හිතුනේ හැමෝම පත්තර කියවන්නේ නැති නිසා. මම කියන නිසාවට බැරිනම්, මෙච්චර දිගට මේකේ කතුවරයා මේක ලියපු නිසාවටවත් මේක සම්පූණයෙන්ම කියවන්න. ඒක බොහෝම කාරුණික ඉල්ලීමක් විතරයි..
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
ගෑනු කොටට අඳින එකටත්
එනවලු නීතියක්
ඒත් උඹේ ඝාතකයන් හොයන්න
මේක අසමත් නීතියක්?
අනේ සක්කර මුත්තේ
ඔන්න ඕකයි තත්තේ
"බොහෝ කලකට පෙර
එදා ඒ දුරුතු මස
සීතල විය
කටුක විය
ඇට මිදුළු කැක්කුම් දෙන
දුර් සෘතුවක් විය"
රත්න ශ්‍රී ලිව්වේ එහෙමයි
සේකරගේ මරණයෙන්
වසර ගානකට පස්සේ
සේකර මියැදුනෙත් දුරුත්තක
ලසන්තගේ මරණය ගැනත්
කියන්න තියෙන්නේ
මීට සමාන කතාවක්
ඒකත් ඇට මිදුළු කැක්කුම් දෙන
මරණයක්
වන්දිභට්ටකම් කරමින් ලියන්නෝ
චන්ඩි වෙලා යහතින් සප විඳින්නෝ
කින්ඩියටවත් වරදක් දැක කියන්නෝ
බණ්ඩිය පුරා අඩුවක් නැතුවම කන්නෝ
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
උඹ ගත්ත නිර්භීත මගත්
ලක්වුනා පැසසුමට ජගත්
තර්ජණය ගනනකට නොගත්
නුඹේ නමට එක් කරමු යුගත්
පෑනකට වෙඩි තියන රටේ
ලේ බිංදු ගලනවා වටේ
එදා විය මේක මුතු ඇටේ
මුතු නැතුව අද නිකං ඇටේ
සොක්‍රටීස් වගේ ප්‍රශ්න කරන්නට
පුරුශ ලිංගයක් වගේ මතුවෙන්නට
ඉඩ දියව් කියලා
ලිව්වේ කොඩිතුවක්කු කවියා
ප්‍රශ්න කරපු සොක්‍රටීස්ට
දුන්නා තමයිවස
ඒ එදා එහේ
ප්‍රශ්න කරපු නුඹට
වෙඩි තිබ්බා තමයි
මේ මෙදා මෙහේ
කොහොම මතුවෙන්නද පුරුෂ ලිංගයක් වගේ
පුරුෂ ලිංග විතරක් නෙවෙයි
හැම අංගයක්ම
පණ නැතිවෙන රටේ
උප්පැන්නේ භාවය පුරුෂ වුනත්
රටේ බහුතරය පොන්නයෝ නම්
දෙන දේ කාලා
වෙනදේ බලාගෙන ඉන්න
ඉතින් කවුද ප්‍රශ්න කරන්නේ
කාටද ඉල්ලං කන්න ඕන
වසන්තයක් ඕනෙමද
ගී ගයන්න කොවුලෙකුට
උඹ කොවුලෙක් ගී ගැයුව
ගිම්හානෙත්
ඒ ගීය දහසකුත් හිදී ජනයාගේ
උඹෙ ගීය සබන් පෙණ වගේ නෙවෙයි
කටුකයි, කඨෝරයි, තිත්තයි
වහා ඇවිලෙන සුළුයි
වැරදිකරුවන්ට රිදෙනසුළුයි
මුවට අගුළුලන්න උන්
වෑයම් කළේ ඒකයි
පහසු මං බෝ වෙතත්
දුෂ්කරම මාර්ගය
තෝරගන්නේ ඉතින්
එහෙමත් කෙනෙක් තමයි
කවුද ඉල්ලං කන්න කැමති
ඉන්න පුළුවන් සොමියෙන්
දන් දුන්නොත් නම්
අංග ප්‍රත්යංග හැම එකක්ම
අහවලාගේ පඩෙත් සුවඳයි
කිව්වොත් ඉතිං සත්තයි
තමනුත් රැකේ
පවුලත් රැකේ
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
තිහක් අවුරුදු පුරාම
හැංගි මුත්තං කෙළිය
ප්‍රභාකරණ්ටත් ගේම දුන්නු රටේ
උඹේ ඝාතකයන් තාමත් නිදැල්ලේ
වෙසෙනවාද සැනසිල්ලේ
දෙයියෝ දනී
දෙයියනේ අපිනම් නොදනී
යකුගේ හැටියටයි හැදුනේ විමානේ
රටේ ලොක්කෝ රටට ඉතිං අභිමානේ
කන්න නැතත් සොමියෙන් ඉමු සුමානේ
වලට වැටෙනතුරු බොඩි එක සුසානේ
අතට ගත් පෑනට
ශක්තිය කොහෙන් ලැබුනද
හිතට එක වේගෙට
අකුරු එක එක ලිව්වද
ඒ අකුරු ටික ටික
වෙඩි උණඩ වගේ වුණාවද
හොරු සමග හෙළුවෙන් සිටි
හොරුන්ගේ හෙළුවටම වැදුනද
ලියන කියන නිදහස ගැන පම්පෝරී
ලොක්කෝ කියනවා තියමින් ජම්බෝරී
හරහට ලිව්වොතින් ලැබෙනවමයි ගෝරී
පම්පෝරිය යනව රෙදි පල්ලෙන් බේරී
පොල් බෑයක් ගන්න නැතත්
ඉන්න එක කට පියාගෙන
මුළු ඇඟටම හොඳ සනීපයි
කට ඇරියොත් ඉතින්, ඒත් සනීපයි
පහුගිය දෑවුරුද්දේ
වෙච්චි එක එක සංගෙදි වලදි
තැන තැන මිමිණුනා
හිටියානම් ලසන්ත කියලා
උඹේ හිස් තැන එහෙමමයි
සදා කාලෙට එහෙමමයි
උඹ කරපු වැඩ එහෙමමයි
සදා සිත්වල එහෙමමයි
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
මේක පට්ට ගන්දස්කාර රටක්
සුවඳ මල්වලට නෑ ඉඩක්
ටෙලිවිෂන් සාදුලාට නම්
මේකලු එකම සුරපුරේ
ඒ ජොලියටමද කොහෙදෝ
මන්ත්‍රී සාදු කෙනෙක්
පිරිත් ගහන්න හැදුවේ බයිලා කරලා
හැබැයි ඉතින් එහෙමනම්
කියන්න තිබුන අපටත්
"පිරිත් ගමුද රීමික්ස් කරලා"
අනේ ! තු: නොදකිං
මුඛය සහ අධෝ මුඛය
දෙකම වහගෙන ඉඳිමුද
ඔන්න ඔහේ ගහන හෙණයක්
ගහපුදෙන් කියලා රටටම
එහෙම නොහිටිය උඹ
අද කොහේ කොතැන
එහෙම හිටිය අයට
කල්ල මරේ සුර සැප
අනේ සක්කර මුත්තේ
ඔන්න ඕකයි තත්තේ
ජීවිතෙන් අඩක්වත්
නොගෙවාම සමුගත්තත්
ලොං හැලෙන තුරුම
ඔහේ ඉන්න පතෝලයන්ට වඩා
අම්මපා
උඹ පට්ට වීරයෙක්
කෙස් පැලෙන තර්ක දැන්
කොච්චර ඒ මේ අත පාවුනත්
උඹ ඉතිං මැරුණා
එච්චරයි
පාඩුව උඹට නෙවෙයි
රටටයි...
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
"අළුත් ලොවක් ගැන සිතීම
දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය
නීතිය සහ විනිසුරන්"
අපි මේක ටිකක්
වෙනස් කරමුද ලසන්ත
"පට්ට හොරුන් ගැන ලිවීම
වෙඩිතියනා වරද නම්
කුමට එරට අධිකරණය
නීතිය සහ විනිසුරන්"
රැඩිකල් වුනොත්
වැඩිකල් බෑ
කොල්ලුපිටියේ ඉඳන් ඇඹිලිපිටියටම
ඒකයි නීතිය
අනේ ඉතිං නිකං ටිංකිරි ගා නොගෙන
දෙමුද පශ්චාත්භාගය
ඔන්න ඔහේ ඕන දයක්
කරගන්න මහත්තුරුනේ කියලා...
රැඩිකල් වෙලා
පොඩිකල් නොයිඳ
මොංගල් වෙලා
වැඩිකල් ඉමුද
පත්තරත් ගහමු
ආටිකල් ලියමු
චිත්‍රපටි හදමු
ප්‍රශස්තිම ගයමු
උන් හොඳයි කියමු
හොඳම උන් කියමු
එහෙමත් මදිනම්
අඹුව වුණත් දෙමු
තැබෑරුමකින් ඉතිං
මල් සුවඳ හමාවිද
මේ රටේ කවදාක
සුවඳ මල් පිපේවිද
පිපෙන මල් පරවෙලා
සුවද වියැකී යාම
රටේ උන්ගේ ඉතින්
කරුමයක්මයි නේද
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
බැලුවෙ නෑ උඹෙ සිරුර දෙස
නිසල වූ පැයේ සිට මම
හීනයක්මයි කියා එය
හීනයේම ඉන්න හැකි මට
මහ දවල් මහපාර මැද
වෙඩි වැදුනු සමනළයා නුඹ
නුඹේ ලේ බිඳුවක රත
ශක්තියයි අපේ පෑනට
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
ඇත්තමයි
උඹ මාර මිනිහෙක්...!
මේ ඔක්කෝම කියවලා,
මේ ටික ඔයාගේ හිතටත් වැදුනානම්,
ඒක තමයි මේකේ කතුවරයාගේ සාර්ථකත්වය..
ඔයා මෙතනින් යමක් තේරුම් ගත්තානම්..
ඒ තමයි මගේ සතුට..
මෙහි එන සමහර වචන මෙතන පලකරන්නට කළින් මම දෙපාරක් සිතූයෙමි..
ජාතික පුවත් පතකත් පළවූ නිසා සංස්කරණය නොකරම දැම්මෙමි..
මුල සිටම කියෙව්වාට බොහෝමත්ම ස්තූතියි..
මේ ටික ඔයාගේ හිතටත් වැදුනානම්,
ඒක තමයි මේකේ කතුවරයාගේ සාර්ථකත්වය..
ඔයා මෙතනින් යමක් තේරුම් ගත්තානම්..
ඒ තමයි මගේ සතුට..
මෙහි එන සමහර වචන මෙතන පලකරන්නට කළින් මම දෙපාරක් සිතූයෙමි..
ජාතික පුවත් පතකත් පළවූ නිසා සංස්කරණය නොකරම දැම්මෙමි..
මුල සිටම කියෙව්වාට බොහෝමත්ම ස්තූතියි..
Last edited:






