බේකර් වීදියේ සුපුරුදු නවාතැනට පැමිණි මා දුටුවේ දුම් පයිප්පය, දුම සහ පුටුවක බර දී උදාසීනව සිටින මගේ මිත්‍රයාය. ඔහු වටා වූයේ දිනමිණ පුවත්පත් කීපයකි.
"හෝම්ස්, දැන් ඔබ උපන් රටටත් වඩා ලංකාවට ලං වෙලා වගේ" මා පැවසූයේ පුවත්පත දෙසට ඉඟි කරමිනි.
"ලංකාව කොහොම නම් අමතක කරන්නද වොට්සන්, තණමල්විල පුෂ්පේ මුදලාලිගේ බඩු වලින්නෙ මේ කම්මැලි දවස් ටික ඇදගන්නේ.. ඒක නෙමෙයි වොට්සන්, බලන්න මේකෙ හෙඩ්ලයින් එක මොන තරම් නිර්මාණාත්මකද, කලාත්මකද .
'සිරිසේනගේ දත් කහ පාටයි - විශේෂඥ දන්ත වෛද්‍යවරු එක හඬින් කියති ' "
මා පුවත්පත උඩින් පල්ලෙන් පෙරලා බැලීමි. මාගේ නිරීක්ෂණ හැකියාවද හෝම්ස්ට පෙන්විය යුතුය.
"ඒ විතරක්ද හෝම්ස් බලන්න. එයාලා රාජ්‍ය ලාංඡනේ හැම පිටුවකම දාලා"හෝම්ස් මා වෙත තියුණු බැල්මක් හෙලීය.
"රාජ්‍ය ලාංඡනේ ??? කෝ බලන්න"
"ඇයි හෝම්ස් මේ තියෙන්නේ උඩු රැවුල වවපු හාදයෙක් අත් දෙක උස්සන් ඉන්න ලාංඡනේ"හෝම්ස් අතිශය කින්ඩි බැල්මක් මා වෙත හෙලීය.
"අනේ අනේ වොට්සන් තමුසෙගෙ සාමාන්‍ය දැනීම නම් බින්දුවයි. මේ එහේ ජනාධිපතිතුමාගේ රූපේ "