2017 දෙසැම්බර් 07 දිනැති අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අංක 63 දරන විධානය මඟින්, එහි නිශ්චිතව දක්වා ඇති වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන අදාළ SLS නිෂ්පාදන සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත. මෙම විධානය 2019 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වේ.
මෙම නීතිමය අවශ්‍යතාව උල්ලංඝනය කරමින් අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතා සපුරා නොමැති විදුලි උපාංග විකිණීමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ආයතන දෙකකට එරෙහිව නඩු පවරන ලදී. අදාළ ආයතන අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) විසින් එක් ආයතනයකට රු.100,000/- බැගින්, සමස්ත රු.200,000/-ක දඩ මුදලක් නියම කරන ලදී.
රේන්බෝ ලංකා ග්ලෝබල් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, අංක 63, මලිබන් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති AC/DC Adapter 12V ඇඩැප්ටර් 98ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රු.100,000/-ක දඩයක් නියම කර ඇත.
එමෙන්ම ඒෂියා ඉලෙක්ට්‍රොනික් සෙලියුලර් පුද්ගලික සමාගම, අංක 60, 62, 64, 1 වන හරස් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතාව සපුරා නොමැති Multi Function LED Light ඇසුරුම් 200ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනයට ද රු.100,000/-ක දඩයක් නියම කර ඇත.
එබැවින් අදාළ විදුලි උපාංග මිලදී ගැනීමේදී නියමිත SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබේදැයි පරීක්ෂා කර නිසි බිල්පතක් ලබාගන්න. අදාළ අනිවාර්ය ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.