දයාබර සචිත්!
ඔබ අත වීණා දණ්ඩ වැනි ය
ඔබගේ කටහඬමය සංගීතය.
මා හදවත
තත් පිරිමැද
නංවයි ඔබ
මෙතෙක් කල් මා නෑසූ සංගීතය
අසනා තුරා ඔබ හඬ
දකිනා තුරා ඔබ වත
බිහිරි වී සිටියෙමි මම
අන්ධ වී සිටියෙමි මම
ඒකාලෝක කර සුවහසක් සක්වළ
සිනා සෙත මෙතෙකැයි ගණන් නැති තරුකැට
වලාකුළු ලුහුල් සළු හැඳ පැළඳ
ලැසි ගමනින් තුරු සිරසින් සඳ නැග එත
උණ පඳුරේ නිල් සෙවනැලි
මඳ අඳුරේ රැව් දෙත ගං දිය මත
ඔබ මට ළං වී රහසින්
කොඳුරයි සංගීතය