අංජලී

May 31, 2016
2
12
0
p435608410-3.jpg


"මම ලස්සනයිද ?"
එහෙම අහගෙන එයා ගෝල්ෆේස් හොටලයේ ලොබිය ඉස්සරහා කාර් එකෙන් එලියට බහිනකොට ඇත්තටම මගේ ඇස් මටම අදහාගන්න බැරි උනා. තප්පර කීපයක් මොකුත් නොකියා මම එයා දිහා බලාගෙන හිටියා.

"කියන්නකෝ..." ඉස්කෝලේ යන කාලේ කෑ ගහන ටෝන් එකෙන්ම ගෝල්ෆේස් හොටලේ ලොබියේ සෙනඟ ඉස්සරහා ටිකක් විතර හයියෙන් මඟුල් ඇඳුමත් ඇඳගෙන එයා කෑ ගහලා මගෙන් ගැහුවා. වටේ පිටේ මිනිස්සු එයා දිහා බල බල ගියේ උඩරට මනාලියක් විදියට සාම්ප්‍රදායික ඔසරියෙන් සැරසිලා මාල හත දාලා ඉන්නකොට එයාගේ තිබුනේ පුදුමාකරයේ චාම් ලස්සනක් නිසයි.

"ඔයා අද ගොඩාක් ලස්සනයි" ඇසි පිල්ලන් නොගහා මම උත්තර දුන්නා.

"ඔයා තමා මාව ඉස්සෙල්ලම දැක්කේ දේශාන්. සැලොන් එකේ ඉඳන් මම කෙලින්ම හොටෙල් එකට ආවේ. ඔයා ලස්සනයි කීවා නම් මම දන්නවා ඩ්‍රෙසිං එක හොඳටම ඇති කියලා. තිලිණලා තවම මග. විනාඩි 20ක් විතර යාවි මෙතනට එන්න. අම්මා වත් තාම මාව දැක්කේ නෑ" අංජු එහෙම කීවට එයා කියන කිසිම දෙයක් මගේ ඔලුවට ගියේ නෑ. මම කලේ එයා දිහා බලාගෙන හිටිය එක විතරයි. තව විනාඩි 20ක් මට එයා එක්ක තනි වෙලා කතා කර කර ඉතෑකි. සන්තෝස හිතුනා..

"අපි යමු ඇතුලට. මෙතනට අව්ව එනවා." මම කීවා. එයා මට හා කීවේ ඇස් වලින්. අපි දෙන්නා ඇතුලට ඇවිදගෙන ගියා. අංජුගේ අතේ මල් බොකේ එක. මගේ අතේ කැමරාව.

අද අංජුගේ වෙඩින් එක. මම ඔක්කොටම කලින් හෝටලේට දුවගෙන ආවට මම අංජුගේ අත ගන්නා මනාලයා නම් නෙමෙයි. මම ආවේ අංජලීගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ශිල්පියාගේ සහයකයෙන් හැටියටයි.


මීට ටික කාලෙකට කලින් අන්තර්ජාලයේ බොහෝ ජනප්‍රිය වෙච්චි කතාවක් තමයි "මතක පොතක ලියැවී තිබුණා......" කතාව. මමත් බොහෝම ආසාවෙන් කියවපු කතාන්දරයක්. ඒ කතාව ආරම්භ වෙන්නේ මෙහෙමයි.

"ලංකාවෙ තියෙන ලස්සනම ස්ටේෂන් එක මොකක්ද? මට නම් ඉදල්ගස්හින්න...
ලංකාවෙ තියෙන ආදරණියම ස්ටේෂන් එක මොකක්ද??
මටනම් ඔහිය..."

මට නම් ලංකාවේ තියෙන ලස්සනම ඉස්ටේසම හපුතලේ. එතකොට ආදරණියම ඉස්ටේසම? ඒකත් හපුතලේම තමයි..

මම ඇයි මෙච්චර හපුතලේ ඉස්ටේසමට ආදරේ? අදටත් හපුතලේ ඉස්ටේසමෙන් කෝච්චිය යනකොට වාඩිවෙලා ඉන්න තැනින් නැගිටලා දොරකොඩට මාව යැවෙන්නේ ඉබේමයි. මේ ඉස්ටේසමේ යකඩ කණු වලට, බංකු වලට කතා කරන්න පුළුවන් නම් කියාවි මම මේ ඉස්ටේසමේ කොච්චර නම් රස්තියාදු ගහලා තියෙනවද කියලා.

අංජලීව මම ඉස්සෙල්ලම දකින්නේ සාමාන්‍ය පෙල අවසන් වෙලා උසස් පෙලට උපකාරක පන්ති යන්න පටන් ගත්ත අලුතම මම ගියපු කෙමිස්ට්‍රි පන්තියේ. පටන්ගත්ත දවසේ ඉඳන් ඉවර වෙනකන්ම එක දිගටම ගියපු එකම පන්තියත් මගේ ආදරණිය කෙමිස්ට්‍රි පන්තිය විතරමයි. අංජලීව කෙමිස්ට්‍රි පන්තියට එක්කගෙන එන්නේ මගේ මොන්ටිසෝරියේ ඉඳන්ම යාලුවෙක් වෙච්චි පියුමි. කෙමිස්ට්‍රි පන්තිය පැවැත්වුනේ අපේ කෙමිස්ට්‍රි සර්ගේ ගෙදර. පන්තියටම හිටියේ ළමයි 12යි. ගෑණු ළමයි07යි. පිරිමි ළමයි 05යි. සර්ගේ ගෙදර වාඩිවෙන්න ඉඩ තිබුනේ 12 දෙනාටයි. ඒ නිසා සර් පන්තියට ගත්තේ ලමයි 12යි. විශ්‍රාමික ගුරුවරයෙක් වෙච්චි එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ ගුරුවරයෙක්. උසස්පෙල පලමු වාරයේ මට "C" සාමර්ථයක් තිබුනේ කෙමිස්ට්‍රි වලට විතරයි සහ මට කුමන හෝ සාමාර්ථයක් ලැබුන එකම විශය උනෙත් කෙමිස්ට්‍රි විතරමයි.


අංජලී කියන්නේ "මට බඳින්න ඕනේ" කියලා හිතුන පළවෙනි කෙල්ල. මගේ ජීවිතේට එහෙම හිතුන අය දෙන්නයි ඉන්නේ. දෙවෙනියා ගැන ටිකකින් කියන්නම්. කෙමිස්ට්‍රි පන්තියට අංජලී ආපු පළවෙනි දවස චිත්‍රයක් වගේ මගේ හිතේ ඇඳිලා තියෙනවා. කොල පාට මල් දාපු ගවුමක් ඇඳලා දිග කොන්ඩය කරල් දෙකට ගොතලා පොත් දෙකකුයි පෑන් දාපු පර්ස් එකයි ගුලි කරගෙන පියුමි එක්ක බයෙන් බයෙන් පන්තිය ඇතුලට ආව විදිය මට මැරෙනකන් අමතක වෙන්නේ නෑ. බැලු බැල්මට තේරුනා කොළඹ එකියක් නෙමෙයි කියලා.
පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා පියුමිට පෑනෙන් ඇන්නා මම..
"උඹ අහන්න හදන්නේ අංජලී ගැන නේ දේශාන්?" පියුමි මහ සද්දෙන් පිටි පස්ස හැරිලා මගෙන් ඇහුවා. මම කලේ ඒකිට පෑනෙන් ඇන්න එක විතරයි. ඔන්න බලාපල්ලා මොන්ටිසෝරි යන කාලේ ඉඳන් තිබුන යාලුකමේ අන්‍යෝන්‍ය අවබෝධයේ මහිමය. ඒ මහිමයට පිං සිද්ධ වෙන්න පන්තියටම මාව නෝන්ඩියි..

"ශික් උඹේ කට. උඹලෑ මරදානටම හොඳා බන් උඹේ කට" එහෙම කීවේ පියුමිගේ ගෙවල් මරදානේ නිසා.

"හරි උඹ මගෙන් වචනයක් අහපන්කෝ. දෙන්නම් උඹට මම" පියුමිට මල පැන්නා.

"හරි හරි බන්.. අංජලී ගැන තමා. කියපන්කෝ. නම අංජලී කියලා මට ඇහුනා උඹ කතා කල විදියෙන්. පොඩ්ඩක් වෙසක් පහන් කුඩුවේ විස්ථරේ කියපංකෝ"

"පහන් කුඩු? කිව්වා කියලා හිතා ගනින් මම. කියන්නෑ උඹට වචනයක්වත්" පියුමි ආයේ මගේ ඇඟට ගොඩ උනා.

"හරි හරි. උඹ වරෙන්කෝ එහෙනම් මගෙන් අරූ අරකිගේ පස්සෙන් එනවා කොහොමද ඩයල් එක?. මූ මේකිගේ පස්සෙන් එනවා බන්. කොහොමද පොර? කියලා විස්ථර අහගෙන. මමත් දෙන්නම් උඹට පියුමියෝ.."

"අංජලී.. ගම හපුතලේ. මෙහේ නෑකෙනෙක්ගේ ගෙදර ඉඳන් ඉස්කෝලේ එන්නෙ. 11 වසරෙන් ඉස්කෝලෙට ආවේ. සෙක්ෂන් එකේ ඉන්න අහිංසකම කෙල්ල. උඹ එයා ගැන ඇහුව කීවත් ඇති අංජුට දාඩිය දාල බය වෙන්න. ඒ කෙල්ලට පාඩුවේ ඉගෙන ගන්න දීපන්. ඔන්න මම නොකීවා කියන්න එපා දේශාන්" පියුමි තව තගක් දැම්මා.

එදා පන්තිය ඉවර වෙනකන්ම මම කලේ අංජලීගේ හැසිරීම් රටාව නිරීක්ෂනය කල එකයි. පන්තිය ඉවර වෙනකොට මම අංජලීට ආදරය කරන්න පටන් අරගෙන ඉවරයි. එයින් පස්සේ මම පියුමිගෙන් මාස ගානක් යනකන් අංජලී ගැන වචනයක් වත් ඇහුවේ නෑ. අංජලී බය වෙලා කෙමිස්ට්‍රි පන්තියෙන් නතර වේවි කියන බය මගේ හිතේ තිබුනා. අඩුම ගානේ පන්තියේ හිටිය මගේ ඉස්කෝලේ මගේ හොඳම යලුවෝ දෙන්නා වත් දැනගෙන හිටියේ නෑ මම අංජුට කැමැත්තෙන් උන්නේ කියලා. අවුරුද්දකුත් මාස

ගානක් ගෙවිලා ගියා. සාමානය පෙල/උසස් පෙල පන්ති කාලේ කෙල්ලෝ කොල්ලෝ යාලු වෙනවා අපි අනන්ත්වත් දැකලා ඇති. අනිවා බඳිනකන්ම මේක කරගෙන යනවා කියලා යාලු වෙන කි දෙනෙක්ද අද වෙනකොට විවාහ වෙලා ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න. මතක් වෙනකොට හිනහත් යනවා. මගේ ඒකපාර්ශවික ආදරය බොහෝම ජයට මම කරගෙන ගියා. කාටත් හොරෙන්. මුල් කාලයේ පන්තියේ කෑ කෝ ගහන කුලකයට අයිති වෙලා උන්නු මම පස්සේ පස්සේ සද්ධ වහලා ඉන්න කුලකයේ එකෙක් උනා. කොච්චර හංගගෙන උන්නත් මගේ ඒකපාර්ශවික ආදරය පන්තියේ හැත්ත බුරුත්තට ලාවට වගේ නොන්ඩි වෙලා තිබුනා. දවසක් සර් ට හදීසී අවමගුලකට සහභාගි වෙන්න සිද්ධ වෙලා අපේ පන්තිය කලින් ඉවර කලා. වෙනදට හැමදාම හවස තාත්තා එක්ක යන පියුමි එදා මාත් එක්ක බස් එකේ යන්න සෙට් උනා.

"අඩෝ දේශාන්.. උඹ අරකිට ලයින් නේ?" පියුමි මෙගෙන් එක පාරටම ඇහුවේ මම තඩි මනෝ පාරක් ගහලා අංජු ඒ පාරේ මැද හරියේ ඇවිදගෙන එනකොටයි.
පියුමිට මම හැරෙනකොට කියතෑකි මම හැරෙන්නේ පැලේ කන්නද නැත්තම් බලන්නද කියලා. අද වෙනකොට පියුමි ඉන්නේ එංගලන්තයේ. අදටත් අපි දෙන්නා හොඳම හොඳ යාලුවෝ. මට ඕනම ප්‍රශ්නයකදී කතා කරන්නේ මම ඉස්සෙල්ලම පියුමිට. එයත් එහෙමයි. අපි දෙන්නට අවුරුදු පහක් වෙන කාලයේ ඉඳන් තියෙන යාලුකම පුදුමාකාරයේ එකක්. අදට මේ යාලුකමට අවුරුදු 25යි.

"ඔව්" මම එක වචනෙන් උත්තර දුන්නා.

"හ්ම්.. ඒකි පට්ට අහිංසක කැරැක්ටර් එකක් බන්. උඹ දැකලා තියෙනවා නේහ් ඒකි ඉඳින පලඳින විදිය පවා. පට්ට චාම් ගමේ කෙල්ලක් බන්" පියුමි කියවනවා.

"හරි බන් රෙද්ද.. උඹ බණ කියවන්න එපා. මට ඒක කොහොම හරි සෙට් කරලා දීපන්කෝ" මම කීවා.

"මචං.. ඒකි දන්නෙවත් නෑ උඹ ඒකිට ලයින් කියලා. දැන ගත්තත් ඒකි උඹට කැමති වෙන්නේ නෑ. ඒකි ක්ලාස් එන එකත් නවත්තයි උඹ ඒකිට ලියින් කියලා දැනගත්තොත්" පියුමි ආයේ කියවනවා.

"උඹේත් දොස්තර හොඳ හිත එකේ ච්ව් චව් වගේ බන්. කතාව පටන් ගන්නෙම ඕක හරියන්නේ නෑ කියාගෙන" මම ජනේලෙන් එහා පැත්ත බලා ගත්තා.

"හරි දේශාන්.. මම එක දෙයක් කරන්නම්. මම අංජලීට අඟවන්නම් උඹ ඒකිට ලයින් කියලා. හැබැයි මට බෑ කියන්න උඹත් එක්ක ඒකිට යාලු වෙන්නයි කියලා. එක නම් කොහොමටවත් බෑ. මට පුළුවන් ඒකිට අඟවන්න විතරයි. ඒකි ක්ලාස් ආවේ නැත්තම් මම දන්නේ නෑ දේශාන්. උඹ මට බනින්න එපා ඕන්න"

ඇත්තම කීවොත් මම හිතුවේ නෑ අංජු ක්ලාස් එන එක නවත්වයි කියලා. ඒත් උනේ ඒක තමයි. පියුමි ඉස්කෝලේ ගිහින් ශේප් එකේ අංජලීට අඟවලා තිබුනා මම එයා ගැන පියුමිගෙන් අහපු විත්තිය.

ඊගාව සතියේ ඉඳන් අංජලී කෙමිස්ට්‍රි පන්තියට ආවේ නෑ.

මතු සම්බන්ධයි..... :sorry:

දෙවෙනි කොටසත් ලීවා. දෙවෙනි පිටුවේ ඇති. කතාව අදින්නේ නෑ. පුලුවන් තරම් කෙටියෙන් ඉවර කරලා දානවා. කොහොමත් උපරිම තව කොටස් 03ක් හෝ 04ක් තියෙයි. ඉදිරි පිටු කියවන්න...
 
Last edited:
May 31, 2016
2
12
0
මට නොසෑහෙන්න දුක හිතුනා. අඩුම තරමින් එයාව දකින්නවත් තිබුන අවස්ථාව නේද මම නැති කරගත්තේ කියලා මට හිතුනා. කෑ ගහලා අඬන්න හිතුනා. ඒත් වේදනාව හිර කරගෙන තද කරගෙන හිටියා. පියුමි නම් මට කීවේ එයා පොඩ්ඩක් වත් මට කැමති නෑ කියලයි. කවදාවත් කොළඹ ඉපදුන කොල්ලෙක් විවාහ කරගන්නේ නෑ කියලා තමයි අංජු කියලා තිබුනේ. එයාකේ එකම කන්සර්න් එක උසස් පෙල විභාගයලු.

"උඹ වෙන අතක් බලාගනිං දේශාන්" පියුමි කියනකොට මගේ ඇස් දෙක කඳුලු වලින් පිරිලා ගියා. ආයේ අංජලීව එකම එක පාරක් හරි දකින්න ඕනේ කියන සිතිවිල්ල මගේ හිත ඇතුලේ රිදුම් දිදි රිදුම් දිදී තිබුනා.

දින, සති, මාස ගනන් ගෙවිලා ටිකෙන් ටික අපේ උසස් පෙල විභාගයත් කිට්ටුවටම ආවා.

"අඩෝ දේශාන්.. අපේ මැත්ස් ඩේ එක තියෙනවා අනිද්දා. ඉන්විටේශන් එක මම අපේ තාත්තා අතේ එවනවා. උඹට ගිය සතියේ ක්ලාස් එකේදි දෙන්න හිටියේ මම. මට පන්ති එන්න බැරි උනානේ බන්. තෝ අනිවා වරෙන් ඈ. ඉස්කෝලෙට යැවුවේ නැත්තේ වෙන ගොබිලෙක් කාර්ඩ් එක ඩැහැගෙන ඒවි කියලා. උඹලෑ ඉස්කෝලේ ඉන්නෙ පැණියෝ නෙ බන් "

පියුමි දවසක් හවස කෝල් කරලා මට කීවා. මගේ පාසල අගනුවර ප්‍රසිද්ධ පාසලක්. පියුමිලෑ ඉස්කෝලෙන් එහෙමයි. උසස් පෙල අවසාන කාලයේ හැම පාසලකම "ඩේ" උන්මාදය පැතිරිලා යනවා. විවිධාකාරයේ "ඩේ" ස් සංවිධානය කරනවා. මේ පියුමිලෑ ඉස්කෝලේ ගණිත දිනය. සිංහලෙන් කිවොත් මැත්ස් ඩේ එක. පිරිමි පාසලකට ගැහැණු පාසලකින් ඉන්විටේශන් එකක් ආවාම කොල්ලෝ පොරකනවා "ඩේ" වලට යන්න. සමහරු බෙදා වෙන් කරගෙන තිබුනා තමන් ලයින් කරන කෑල්ල ඉන්න ඉස්කෝලේ සහ ලයින් කරන කෑලි එන ඉස්කෝල වල "ඩේ". උසස්පෙල කාලයේ මම ඔය කිසිම "ඩේ" එකකට ගිහිල්ල තිබුනෙත් නෑ. යන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. මට යන්න අත්‍යාවශයම පාසලේ අත්‍යාවශ්‍යම "ඩේ" එකේ ආරාධනාපත්‍රය එදා හවස මට අපේ තාත්තා වැඩ ඇරිලා එන ගමන් ගෙනත් දුන්නා. දැන් මේකට ඉස්කෝලේ සැට් එක මරාගන්නවා කියලා මම දන්නවා.


පහුවදා මම ඉස්කෝලේ ගියා. සංයුක්ත ගණිතය භාර ගුරුතුමාව ආරාධනාපත්‍රය පිළිබඳව දැනුවත් කලා. මම කිසිම "ඩේ" එකකට යන්න අවස්ථාව ඉල්ලුවේ නැති නිසා පියුමිලෑ ගණිත දිනයට යන්න මට නිතරඟයෙන් අවස්ථාව ලැබුනා. මාත් එක්ක යන්න තව හතර දෙනෙකුත් ලයින් උනා. සංයුක්ත ගණිත ගුරුතුමාත් කන්ඩායමට ඇතුලත්. දිනය අනිද්දා..


ඊලඟ දවස් දෙක මම ගෙවලා දැම්මේ පුදුමාකාරයේ අමාරුවකින්. ඒ දවස් දෙක සෑහෙන්න දිගයි කියලා මට තේරුනා. අංජුව තව එකම එක පාරක් මට බලාගන්න පුළුවන් කියලා මතක් වෙනකොට මුලු හිතම අමුතුම සන්තෝසයකින් පිරිලා ඉතිරිලා ගියා.

මම කොන්ඩේ කැපුවා. සුදු ඇඳුම් වලින් හදීසියට අඳින්න තියා ගත්තු අලුත්ම ඇඳුම් සෙට් එකක් අරගෙන මැදලා තියා ගත්තා. "ඩේ" එක දවසේ උදේ පාන්දර නැගිට්ටා. උදේ 6.30 වෙනකොට ඉස්කෝලේ ගියේ කලිසමයි ශර්ට් එකයි සෙනඟ පිරිච්ච බස් එකක් සැට් උනොත් ලොවෙත් පොඩි වෙලා චොර වෙන නිසා. ඊලඟ අමාරුම රාජකාරිය තමා දූවිලි පොදක් නොගෑවෙන්න ඇඳුම පරිස්සම් කරගන්න එක. ඒකට පන්තියේ ඉඳලා හරියන්නේ නෑ. වෙන කොහේ හරි රිංගලා ඉන්න වෙනවා.


පළවෙනි හා දෙවෙනි කාල පරිච්ඡේද දෙකේ පන්තියේ හිටිය මම ඉතුරු හයේම සංගිත කාමරේට වෙලා හිටියේ අපේ පන්තියේ කිසි එකෙක් සංගීත කාමරේ පලාතේ නොඑනා බව සුවර් එකටම දන්න නිසා. පොඩි කාලේ ඉඳන් සංගිත මිස්ගේ කීකරු ගෝලයා වෙච්චි මම සංගීත කාමරේ ගැවසීම සංගිත මිස්ට අලුත් දෙයක් නෙමෙයි. පොඩි පන්ති වලට අවශය පාඩම් කියා දෙමින්, කී බොර්ඩ් එක වාදනයෙන් සංගිත මිස්ට ඉතුරු පිරියඩ් 06ම උදවු කරපු මම බෙල් එක ගහනකොටම බෑග් එකත් අරගෙන පන්තියට දිවේ

පුළුවන් ඉක්මනින් පියුමිලෑ ඩේ එකට යන්න ඕනි නිසා. අංජුව මට පේන තප්පරයත් මට ගොඩක් වටිනවා.

අගනුවර සියලු පහසුකම් සහිත පාසලක් වෙච්චි අපේ ඉස්කෝලේ අලුත්ම ඩුවෙල් ඒසී වෑන් එකේ මමත් අපේ පන්තියේ ඉතුරු එවුවෝ හතර දෙනත් සංයුක්ත ගණිත ගුරුතුමත් පියුමිලෑ ඉස්කෝලෙට යන්න පිටත් උනා. ඒ ගමනට ගත වෙච්චි විනාඩි 40ක විතර කාලය ගෙවා දැමුවේ බොහෝම අමාරුවෙන්. පියුමිලෑ ඉස්කෝලෙන් වෑන් එකෙන් බැස්ස ගමන් මගේ ඇසට අහුවෙන වට පිටාව ඔක්කොම රේඩාර් එකට දාලා බැලුවා අංජලීව අහුවෙයිද කියලා. එයා පේන්න හිටියේ නෑ.

අපිව පිලිගන්න ඉස්සරහට ආවේ පියුමි සහ තවත් කීප දෙනෙක්. අපිව පිලිඅරගෙන ශාලාව ඇතුලට අසුන් ගැනීමට එක්කගෙන ගියෙත් පියුමි මයි. මට ඉදිරියෙන් ගිය ගණිත ගුරුතුමා නිසා මට පියුමිගෙන් අහන්න පුළුවන් කමක් තිබුනේ නෑ කෝ අංජු කියලා.
දැන් මට පෙනෙයි.... දැන් මට පෙනෙයි..... දැන් මට පෙනෙයි...... කියලා හිත හිත වට පිට බල බල හිටිය එක තමා මම කලේ. ඒත් අංජලී හිටියේ නෑ. උත්සවය පටන් ගත්තා. විශේෂාංග එකින් එක දිග හැරුනා. කන්ඩායම් තරඟ, යුගල තරඟ සහ තනි තනිවම පැවැත්වෙන තරඟ ආරම්භ උනා. මාත් කීප වතාවක් වේදිකාවට ගොඩ උනා. අංජු නෑ. බලන බලන පැත්ත මම බැලුවේ තිගැස්මෙන් වගේ. කෝ එයා? මගේ අංජු හිටියේ නෑ. බැක් ස්ටේජ් එකේ මොනන් හරි වැඩකට පැටලිලා ඇතියි කියලා මට හිතුනා. ඒත්...

උත්සවය ඉවර වෙනකන්ම එයා ආවේ නෑ එලියට. බොහෝම දුක්බර විදියට පියුමිලෑ ඉස්කෝලේ ගණිත දිනය ඒ විදියට නිමා උනා. අන්තිම වෙලාවෙ මොකද්ද උනේ කියලාවත් මතක නෑ. සහතිකයක් ලබාගන්නට මගේ නම කීප වතාවක් කතා කලාට පස්සේ අපේ ගණිත ගුරුතුමා අතින් මගේ ඔලුවටත් ගැහුවට පස්සේ තමා මට ක්ලික් උනේ මගේ නමයි කතා කලේ කියලා.

සමුඅරගෙන එන්න මොහොතකට කලින් මට පියුමිත් එක්ක වචනයක් කතා කරන්න ලැබුනා. මම අහන්නත් කලින්ම මගේ ප්‍රශ්නෙට පියුමි උත්තර දුන්නා. "අංජලී ආවේ නෑ බන්. ඊයේ රෑ වෙනකන් මෙහේ වැඩ කරලා ගියේ අපිත් එක්ක. හරිම ආසාවෙන් හිටියේ ඩේ එකට එන්න. ඒත් එයා ආවේ නෑ. ඇයි දන්නේ නෑ. කෝල් කරලා බලන්න අංකයක් වත් නෑ ගෙදර" පියුමි කීවා. ඒ කාලේ අදකාලේ වගේ පොඩි උන්ට හෑන්ඩ් ෆෝන්ස් දෙක දෙක නෑ. ටෙලිකොම් ලෑන්ඩ් ෆෝන් එක විතරයි ගෙවල් වල තිබුනේ.

ඔන්න ඔය විදියට බලාපොරොත්තු කෝටියක් හිතේ කම්ප්‍රෙස්ඩ් කරගෙන ගියපු පියුමිලෑ මැත්ස් ඩේ එක බලාපොරොත්තු ටික එක්ස්ට්‍රැක්ට් කරගන්න බැරුව ඒ විදියටම හිතේ ගුලි කරගෙන ඉවර උනා. අංජලීව මට බලාගන්න තිබුන අවසාන සහ එකම අවස්ථාවත් බොහෝම කාලකන්නි විදියට ඉවර උනා. පස්සේ දැනගත්තා එයාට හොඳටම උණ අරගෙන තිබුනා කියලා. එදා එයා මැත්ස් ඩේ එකේ හිටිය නම් මම මේ කියන කතාව කියන්න වෙන්නේ මීට වඩා ගොඩාක් වෙනස් විදියට. කොටින්ම කියනවා නම් මෙහෙම කතාවක් කියන්න නැති වෙනවා.


මතු සම්බන්ධයි...
 
  • Like
Reactions: tha123