අන්තිම දවස කෙමිස්ට්‍රි පන්තියේ. අන්තිම දවස කිව්වට එදා උදේ පේපර් එකක් කරල හවස බෝධි පූජාවක් තියන්න තිබුනේ. අංජලී මුණගැහෙන්න ඉඩක් තියෙන එකම සහ අවසාන වතාව. ඒ වෙද්දිත් හිතේ කොනක පුංචි බලාපොරොත්තුවක් තිබුණ අංජලී එයි කියල, අඩුගානෙ සර්ට කතා කරන්න වත්. මම 7 වෙද්දි පන්තියට ගියා. කෝ අංජලී. අංජලී තියා කවුරුත් නෑ එ් වෙද්දි. ඔන්න යන්තම් 7.45 වෙද්දි ශානක ආව. ශානක කියන්නෙ මහ කුප්ප කුපාඩි කටක් තියෙන එකෙක්. මේං මූ අහපි “අඩෝ උඹේ බඩු කෑල්ල එනකන්ද ඉන්නෙ” කියල. මටත් ලාවට මල පැනල උට එකට එක කියාගෙන ගිය එක ඉවර උනේ අපි ඩෙස් බංකු පෙරලගෙන ගහගැනීමකන්. එකපාරම කන රත්වෙනවත් එක්කම මාව ඉසසෙනව වගේ දැනුනා. බලදදී සර් අප දෙන්නගෙම කන් දෙකෙන් උස්සන් ඉන්නව. “ඈ බූරුවො. විභාගෙ කට උඩ තියන් තොපි මොනවද කරන්නෙ”. සර් ඇහුවම ගොත ගගහ උත්තර දීල වැඩේ ගොඩන් බේරගත්ත. 8 විතර වෙද්දි අංජලී ඇරුනම හැමෝම ආව. මම පියුමි දිහා බැලුව. පියුමි කිව්වෙ අසනිප උන නිසා ගෙදරින් එක්ක ගියා කියල. මගෙ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි. එදා පේපර් එක ඉවර වෙලා බෝධි පුජාවට ඉන්නෙත් නැතුව මම ගෙදර ආව ඔළුව කැක්කුමයි කියල.
අන්තිම දවස් වල ඉස්කෝලෙ යෑමක් නෑ කොහොමත්. පාඩම් කරන්න ඕන බව දැනන් හිටියත් තාත්තා මහන්සි වෙලා සල්ලි හොයන බව දැනන් හිටියත් මට පාඩමකට හිත එකඟ කරගන්න බැරි උනා. අංජලීගෙ හිනාව, ඒ ඇස් දෙක අමතක උන මොහොතක්.නැති තරම්. රෑ වෙද්දි මම කාමරේ දොර වහගන්නවා. අම්මයි තාත්තයි හිතුවෙ මම පාඩම් කරනව කියල. ඒත් දොර වහගත්තට පසසෙ හැමදාම උනේ මම අංජලී ගැන හීන දැකපු එක. මගෙ යාළුවෙකුට වත් හරියට නොකියපු දෙයක් නිසා මට හිතට එන හැම දෙයක්ම තනියම විඳගනන උනා. මගේ හැඟම් පිට උනේ විදි දෙකකට. එකක් හිතට එන හැමදේම ඩයරියක ලියපු එක. අනික සින්දු ලියපු එක. මමඑක සතියට CR පොතක බගයක් පිරෙන්න සින්දු ලිව්ව. විභාග දවස එනකම්ම. පලවෙනි දවසේ සංයුක්ත ගණිතය I. පේපර් එක දීල පැය බාගයක් යද්දි තේරුණා ඒක නම් ෆේල් කියල. Physics ටිකක් ලේසී. කෙමස්ට්‍රි නම් ශේප්. ඕවත් ඉවර උනා කියමුකෝ. ඊළඟට විභාගෙ අන්තිම සබ්ජෙක්ට් එක සහ අපි නිළ ඇඳුමින් පාසල් යන අවසන් දවස. මව් බස හෙවත් ජෙනරල් ඉංගිලිස්. ඒක කොහොමත් ගණන් නොගන්න සබජෙක්ට් එකනෙ. ඒකත් ලියල ඉස්කෝල යාළුවන්ටත් සමුදීල මම බස් ස්ටෑන්ඩ් එකට ආව.
එකපාරම දැකපු දෙයින් මගෙ හිත නැවතුවා. පපුව ගැහෙනන ගත්තා. ඈතින් ඉන්නෙ අංජලී. තිස්තුන් කෝටියටම පින් දිදී එතනට දිව්වා. “ශිට්”, අංජලී නෙවෙයි ඒ. එත් අද අංජලීව හම්බෙන්න ඉඩකුත් තියෙන බව මට හිතුනා. මම ඔහේ බස් ස්ටෑන්ඩ් එකේ එහෙ මෙහෙ ගියා. ඒත් අංජලී නම් ආවෙ නෑ. පැය ගාණක් තිස්සෙ දවල්ට කාලත් නැතුව මම ස්ටෑන්ඩ් එකේ ඔහේ හිටිය. එහෙම ඉඳල බැරිම තැන මම ඔහේ ඇවිදන් ගියා. අහම්බෙන් වගේ කොටුව ස්ටේෂන් එක ගාවින් යන්න උනා. අංජලී වගේ කෙල්ලෙක්???? මම ටිකක් ලං වෙලා බැලුවා. අඩේ අංජලී තමයි. ඒත් කවුද අංජලී ගාව ඉන්න කොල්ලා. අංජලී යුනෆෝම් එක මාරු කරල. මම දැකල තිබුනෙ අංජලී සායවල් අඳිනව විතරයි. ඒත් මෙතන ඩෙනිමක් ඇඳන් ඉන්නෙ ඇයි. මම ආපහු ඇස් පිහදලෙත් බැලුව අංජලීමද කියල. ඔව් ඒ අංජලීම තමයි. මම විනාඩි 5ක් විතර බලන් ඉද්දි අංජලියි අර කොල්ලයි දෙන්න ස්ටේෂන එක ඇතුළට ගියා. මම හිතින් තර්ක කරා ඒ අංජලීගෙ කොල්ලද කියල. ඒත මගෙම හිත කිව්ව අංජලීට කොල්ලෙක් ඉන්න බෑ කියල. සමහරවිට එයාගෙ අයිය ගමේ එක්ක යන්න ආව වෙන්න පුළුවන්.අන්තිමට මමත් ඒක වෙන්න පුළුවන් කියලා පිළිගත්තා. ඕව හිත හිත ගෙදර යද්දි රෑ උනා. විභාග ඉවර නිසා අවුලක් නෑ.