බටහිර ලෝකයෙහි අවකාශය පිළිබඳ ඇති දෙවැනි සංකල්පය අයින්ස්‌ටයිනීය අවකාශය ලෙස හැඳින්විය හැකි ය. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් කරගෙන ඇත. අයින්ස්‌ටයිනීය සංකල්පයට අනුව අවකාශය නිර්ණය වන්නේ අංශු, ද්‍රව්‍ය, විකිරණ ආදිය හේතු කොටගෙන ය. අංශු ද්‍රව්‍ය විකිරණ ආදියෙන් තොර ව අයින්ස්‌ටයිනීය අවකාශය නො පවතියි. අංශුවක් නිර්මාණය වූ වහා ම එයට අදාළ ව අවකාශය ද (සාපේක්‍ෂතාවාදී අදහස් අනුව අවාකාශ-කාලය ද) නිර්ණය වෙයි. අංශුවකින්, වස්‌තුවකින්, විකිරණයෙන් තොර ව අවකාශය නො පවතියි. ඒ අතර ම කිව යුත්තේ අවකාශයක් නොමැති ව අංශුවක් ද නො පවතින බව ය. අංශුවක් නිර්මාණය වන්නේ ම අවකාශය (අවකාශ-කාලය) නිර්මාණය කරමිනි. ඉන්පසු වෙනත් අංශු නිර්මාණය වුව හොත් අවකාශ-කාලය ද වෙනස් වෙයි.
එපමණක් නො වේ. අයින්ස්‌ටයිනීය සංකල්පයට අනුව අංශුවක් හෝ වස්‌තුවක් හෝ චලනය වීමේ දී ද අවකාශ-කාලය වෙනස් වෙයි. මෙය නිව්ටෝනීය අවකාශ සමග සසඳා බැලිය යුතු ය. අංශු චලනය වූ පමණින් නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු නිර්මාණය වූ පමණින් ද නිව්ටෝනීය අවකාශ වෙනස් නො වෙයි. අංශු හා වස්‌තු දෙන ලද නිව්ටෝනීය අවකාශයක, අවකාශය වෙනස් නො කරමින් චලනය වෙයි. එහෙත් අයින්ස්‌ටයිනීය අවකාශයෙහි අංශූ හා වස්‌තු චලනය වනවා පමණත් නො වේ. අංශු හා වස්‌තු හේතුවෙන් ද එහි චලනය හේතුවෙන් ද අවකාශය (අවකාශ-කාලය) වෙනස් වෙයි.