අත්හැරීමේ බය v. නිවන
බෞද්ධයන් තරම් අත්හැරීම ගැන දැනුමක් ඇති වෙනත් දර්ශනයක් දරන්නෝ මෙලොව තවත් ඇත් ද? මා නම් සිතන්නේ නොමැති බවයි. අත්හැරීම ගැන කෙතරම් නම් අපි කථා කරන්නේ ද? නිවන... නිවන ගැන ද බෞද්ධයන් තරම් කථා කරන්නෝ ලොවේ නැත. ධම්මචක්කපවත්තන සූත්‍රයට අනුව බලන විට නිවන යනු දුක නැති ස්ථානයයි. බුදුරජාණන්වහන්සේ ලොව පහලවන්නේ දුක නැති කිරීමේ ක්‍රමවේදය මහජනතාවට උගන්වනු සඳහා වේ. බ්‍රහ්මජාල සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා ඔබට මතක ඇතැයි සිතමි.
මහණෙනි, පූර්වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පුර්වාන්තාපරාන්තකල්පික වූ හෝ යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පූර්වාන්ත අපරාන්ත අරමුණු කොට පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ, අතීතානාගත ස්කන්ධ පරම්පරා කොටස් අරමුණු කොට, අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාන්නෝ ද, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම (මගේ මේ) දේසනාදැල තුලට හසු කරන ලදුවෝ, මේ දේසනාදැලෙහි බැඳුණෝ ම, මෙහි තුළ ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙයට ඇතුළත් වූහු ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මහණෙනි, යම් සේ දක්ෂ වූ කෙවුළෙක් හෝ කෙවුළකුගේ අතැවැසියෙක් හෝ සියුම් ඇස් ඇති දැලින් මඳ දිය ඇති දියවළක් කිබිසිනි කොටැ අතුරන්නේ ද, “මේ දියවළෙහි යම් කිසි මහත් ප්‍රාණි කෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ම මේ දැලට හසු කැරැ ගන්නා ලද්දෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙහි ඇතුලත් වූවෝ දැල තුලට හසු වූවෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නෝ ගැලෙත් යැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම පූර්වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පූර්වාන්තාපරාන්තකල්පික වූ හෝ පූර්වාන්ත අපරාන්ත දෙක අනුවැ පහළ කරැගත් දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දෙසැටක් කරුණින් පූර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඒ සියල්ලෝ මේ දෙසැට කරුණින් ම (මගේ) දේසනාදැලට හසු වූවෝ ම, මේ දේසනාදැලෙහි බැඳුණෝ, මෙහි ම මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති. මෙහි ම ඇතුළත් වූවෝ මේ දේසනා දැල තුළට හසු වූවෝ ම, මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති.
මේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව ය.
මා දැන් ඔබෙන් පැනයක් අසමි. සරල පැනයක්. අත්හැරීමට ඔබ බිය ද? සමහරක් විට ඔබ මේ පැනය ඔබගෙන් මේ වන විටත් අසා තිබෙන්නටත් ඇත. නැත්නම් අසා බලන්න. පිළිතුර නොඅසමි.
මා මේ පැනය ඔබෙන් ඇසුවේ අවට ලෝකය දෙස බැලූ විට බහුතරයක් දෙනා අත්හැරීමේ බියෙන් පෙලෙන බව පෙනෙන නිසාවෙනි. අත්හැරීමේ බිය නිවනට එදිරිව ක්‍රියාත්මක වේ. ඒ ඇයි? අත්හැරීමේ බිය ඇති තැන අල්ලා ගැනීම පවතී. අල්ලා ගැනීම පණ ඇති දේ සමඟ මෙන්ම පණ නැති දේ සමඟ ද වේ. දෙමව්පියන් දරුවන් සැමියා බිරිඳ තමුන්ගේ ආගමික ගුරුවරුන් සුරතල් සතුන් ආදීන් පණ ඇති දේ වේ. මුදල් ගේ දොර යාන වාහන පණ නැති දේ වේ. සමහරුන්ට ධර්මය ම අත්හැරීමට බියක් වේ. මෙනිසා ද හානියට පත්වෙයි. මන්දයත් ගුරුවරුන් සොයා යෑමත්, ධර්මය කියැවීමටත් ඇසීමටත් තර්ක කිරීමටත් කාලය යොදවනවා මිස එය පුහුණ කිරීමට තරම් කාලයක් නොමැති වීම නිසාවෙනි. මේ ගැනත් බුදුරජාණන්වහන්සේ ධම්මපදයේදී දේශනා කර ඇත. අත්හැරීමේ බිය නිසා අල්ලා ගැනීම සිදු වෙන බව පෙරදී සඳහන් කළෙමි. මේ බිය ඔබටත් ඇත්නම් ආර්යෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම බාධාකාරී වන්නේ ය.
අත්හැරීමේ බිය ඇත්තේ දුක නිසාවෙනි. අත්හැරීමේ බිය ඇත්තාට දුක නැති කිරීමට නොහැක. එය සෘජුවම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, යම් දෙයක් නොලැබීමේ දුක සමඟ බැඳී ඇත. දුක, චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍යයි. දුකට හේතුව තණ්හාව වේ. තණ්හාව යනු සරලව ගත්විට අත්කර ගැනීමයි. පෙර කී දුක් ඇති වන්නේ තණ්හාව නිසාවෙනි. දුක නැති කිරීමට නම් තණ්හාව නැති කළ යුතු වේ. ඒ සඳහා වන මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගයයි. ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරද්දී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග සහ ඵල විඳීමේ හැකියාව ලැබේ. මේ මග - ඵල අංගයන් සම්පූර්ණ කරන්නා, සසරට අප බැඳ තබන දස සංයෝජනයන් බිඳ ලන්නේ ය. සංයෝජනයන් බිඳලීම තුළ නිවන පියවරෙන් පියවර අපට ලන් වේ. මේ බිඳලීම සඳහා අනිවාර්යයෙන්ම අත්හැරීමේ බිය පහ කර ගත යුතු ය. ඔබ අත්හැරීමේ බිය පහ කරනා තරමට ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පහසු වේ.
අත්හැරීමට ඔබ බියද යන පැනයට ඔබගේ පිළිතුර වැදගත් වන්නේ මෙනිසාවෙනි. ඔබ අවංක විය යුත්තේ ඔබටම ය. ඒ බව කරණීයමෙත්ත සූත්‍රයේ දැක් වේ. එක්වරම ඔබට අනේ විකාරද, මන් කොහෙද අත්හරින්න බය කියා සිතෙනු ඇත. ඔබ එය හොඳින් පිරිසිඳ දැන ගත යුතු වේ. වඤ්ඤක ධර්මයන්ගේ බලපෑම කෙතරම් ද යත් එක්වරම අත්හැරීමට බිය නැතැයි පෙන්වීමට තරම් ඒවා සමත් බව සිත් තබා ගන්නේ නම් මැනවි. මෙනිසා නිවන් දැකීමට කැමැති නම් අත්හැරීමේ බිය පහ කිරීමට කටයුතු කිරීම සුදුසු ය.