අතීතයේ සිනමාවේ එක් පෙරලියක් ‘වැලිකතර’

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අතීතයේ සිනමාවේ එක් පෙරලියක් ‘වැලිකතර’

    ලාංකේය සිනමා වංශයේ 237 වැනි චිත්‍රපටය වූ ‘වැලිකතර’ මුලින්ම තිරගත වූයේ හරියටම මෙයින් හතළිස් වසකට පෙරාතුව අද වැනි දිනකය. ඒ 1971 වසරේදීය. එය මෙරට ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය වීම තවත් විශේෂත්වයකි. විචාරකයන් විසින් විශිෂ්ටතම චිත්‍රපය දහය අතරට ‘වැලිකතර’ නම් කළේ එය සැබවින්ම දේශීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ බැවිනි.

    ‘වැලිකතර’ නම ඇසූ පමණින් අප මතකයට නැගෙන්නේ ඩී. බී. නිහාල්සිංහයන්ය. ඔහු ‘වැලිකතර’ අධ්‍යක්ෂණය කරමින් ස්වර්ණමාලි ගුණතුංග හා එක්ව එහි නිෂ්පාදනයට ද දායක විය.

    D-B-NIHALSINGHE-03.jpg



    ගාමිණී ෆොන්සේකාගේත්, ජෝ අබේවික්‍රමගේත් විශිෂ්ටතම රංග ප්‍රතිිභාව එකම සලරුවක් මත ඉතා ප්‍රබල ලෙස මතු කරමින් නිහාල්සිංහයන් පෑ පෙළහර අදටත් එකී චරිත තුළ ජීවමානව පවතී. ගාමිණී, වික්‍රම රන්දෙණිය ලෙසත්, ජෝ, ගෝරිං මුදලාලි ලෙසත් කළ රංගනයන් ඔවුනගේ රංගන දිවියේ අග්‍ර ඵලයන් සේ සැලකේ.

    ‘වැලිකතර’ පිළිබඳ අප නොදත් බොහෝ දෑ ඔහු දන්නා බව අප දනිමු. එහෙයින්ම මේ සුවිශේෂී මොහොතේ හතළිස් වසකට පෙරාතුව මතකය අවධි කරන්නට අප නිහාල්සිංහයන්ට ඇරැයුම් කළේ ඉමහත් ගෞරවයෙනි.

    වැලිකතර ඔබේ ප්‍රථම සිනමා නිර්මාණය. එහි ආරම්භක අවධිය ගැන සිහිපත් කළොත්?

    මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ 1971 වසරේ වුණාට අපි එහි වැඩ කටයුතු ආරම්භ කළේ 1968 දී. ඒ වකවානුවේ මම කැමරාකරණය, සංස්කරණය යන මාධ්‍ය දෙකේම නිරත වෙලා හිටියේ චිත්‍රපටවල. සත් සමුදුරෙන් ආරම්භ කරලා දහසක් සිතුවිලි, පාරාවළලු වැනි චිත්‍රපටවල මම වැඩ කළා. ඔය වකවානුවේ තමයි මම තිස්ස අබේසේකරත් එක්ක ඇසුරට වැටුණේ. ඒක ඉතා කිට්ටු මිතුදමක්. කොටින්ම කිව්වොත් ‘වැලිකතර’ එයාගේ පළමුවැනි තිර රචනය. මම දැන් දවස් කීපයකට කලින් ‘ගම් පෙරළිය’ නැරඹුවා. ඒකෙ තිස්සගේ නම තියෙන්නේ අමතර දෙබස් රචනය කියලා.

    ඔබට, තිස්ස අබේසේකරයන් මුණ ගැහෙන්නේ කොහොමද?

    එතකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා පදිංචි වෙලා හිටියේ දෙහිවල. ඒ මම විශ්ව විද්‍යාලයෙන් පිට වුණ අලුත. විශ්ව විද්‍යාලයේදී මම මගේ මිතුරෙක් එක්ක කෙටි චිත්‍රපටයක් තනා තිබුණා ‘නියැඳි රටා’ කියලා. ඒ චිත්‍රපටය ගැන ආරංචි වෙලා ලෙස්ටර් මහත්මයා මට කතා කරලා කිව්වා ඒක බලන්න කැමැතියි කියලා. මම ඒ චිත්‍රපටය රැගෙන එතුමාගේ නිවසට ගිය දවසේ තමයි තිස්ස අබේසේකර මුණ ගැසුණේ. එතනදි තමයි අපේ මිත්‍රත්වය ආරම්භ වුණේ. මම මේ කතා කරන්නේ 1965 විතර කාලේ. එදා අපි වැඩිපුර කතා කළේ චිත්‍රපට ගැන.

    එතකොට ඔබේ වයස?

    විශ්ව විද්‍යාලයෙන්් පිට වුණ අලුතනේ. අවුරුදු විසි හතරක්, විසි පහක් විතර ඇති. ඔය කාලේදීම මට ගාමිණී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම හඳුනා ගන්න ලැබුණා. ඒ අවස්ථාව උදා වුණේ ‘පාරා වළලු’ චිත්‍රපටයේ අපි වැඩ කරපු කාලේ. එහි කැමරාකරණය හා සංස්කරණය දෙකම කළේ මම. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඕනෑ කියලා මගෙත් අදහසක් තිබුණා. තිස්ස අබේසේකර සමඟ තිබුණ කිට්ටු ඇසුරේදී මට වැටහුණා ඔහු සහය අධ්‍යක්ෂවරයකුට වඩා ඔබ්බෙන් හිටි අයකු බව. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාට සහය අධ්‍යක්ෂවරයකු, අතිරේක දෙබස් රචකයකු හැටියට හිටියට මම දැක්කා ඔහුගේ සැඟවුණ කුසලතාවය. අපි චිත්‍රපට තිර රචනා කිහිපයක් ගැනම සාකච්ඡා කළා. එහෙම ගිහින් තමයි අවසානයේ ‘වැලි කතර’ට ආවේ.

    මෙහි තිර රචනය තිස්ස අබේසේකරයන් අතින් ලියැවුණේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි කියා මා අසා තිබෙනවා?

    ඒ කාලේ කොච්චිකඩේ හිටියා සිංඤෝ මුදලාලි කියලා හරිම කඩවසම් පුද්ගලයෙක්. හැබැයි දාමරිකයා. මිනිහා අනෙක් අය දම්මවලා තමයි ඔක්කොම වැඩ කරවන්නේ. නමුත් මිනිහා දිය යටින් ගින්දර ගෙනිච්ච කෙනෙක්. මේ චරිතය මට හරි මනහරයි. ඒ ගැන මමත්, තිස්සත් කතා කරපු අවස්ථා බොහොමයි. පස්සේ තිස්ස තමයි කිව්වේ අර සිංඤෝ මුදලාලි හරහා චරිතයක් ගොඩ නගන එක හරි වටිනවා කියලා. කොච්චිකඩේ කඩ මණ්ඩියේදීී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඔහුව වෙඩි තබා මැරුවා. ඔය සුළු සැකවිල්ල තමයි තිස්ස බොහොම ඔප මට්ටම් කරලා, ඉතාම විශිෂ්ට, අමුතුම රසයක් ගෙන දෙන දෙබස් ලියලා, තිර කතාවක් බවට පත් කළේ. අර වෙඩි තැබීමේ සිද්ධිය විතරයි සත්‍යයට තිබෙන්නේ. අනෙක් ඒවා තිස්සගේ නිර්මාණ.

    ගාමිණී සහ ජෝ යට කී චරිත සඳහා තෝරා ගැනීමම ‘වැලි කතර’ මෙතරම් සාර්ථක වන්නට හේතුවක් වූ බව නිසැකයි. මේ පසුබිම ගැන කතා කළොත්?

    මුලින්ම මේ ගැන මම කිව්වේ ගාමිණීට. ‘හරි අපි මේක කරමු මචං’ කියලා ඔහු එක පයින් කැමැති වුණා. ඒ කාලේ ගාමිණී තමයි ඉහළම මුදලක් අය කරපු නළුවා. ඒ මුදල මට මතක හැටියට රුපියල් 80,000 ක්. ඒ කාලේ 80,000 ක් ගන්නවා කියන්නේ අද මුදලින් මිලියන් විස්සක් විතර මට දැනෙන විදිහට. ඒ කාලේ බියර් බෝතලයක් සත 75 යි නේ. ගාමිණී කිව්වා සල්ලි ප්‍රශ්නයක් නෑ, වැඩේ පටන් ගනිමු කියලා. ඔහු වගේ නළුවකු එහෙම කිව්ව එකම මට ධෛර්යක් වුණා. නමුත් ඔහුගෙන් මම යළිත් මුදල ගැන ඇහුවා. ‘උඹට හම්බ වෙන මුදලින් සියයට දහයක් මට දීපන්කෝ’ කියලා තමයි ගාමිණී මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ.

    එකල තිරයේ සුපිරි වීරයා වුණේ ගාමිණී. නමුත් වික්‍රම රන්දෙණියගේ චරිතයේ එවැනි ලක්ෂණ තිබුණේ නැහැ නේද?

    මේ චරිතය ආරම්භයේ සිටම ගරා වැටෙන චරිතයක්. ඇත්තටම ගාමිණී ඒ කාලේ බහුලව රඟපෑවේ වීර චරිත. මේ නිසා ගාමිණීට ඒ ගැනත් කිව්වා. නමුත් ඔහු කිව්වේ අපි මේක කරමුයි කියන එකම තමයි. ගැටලුවකට තිබුණේ ගෝරිං මුදලාලි ගේ චරිතයට කෙනෙක් සොයා ගැනීම. මොකද එතකොට සුවිනීතා ගැනත් මම තීරණය කරලා ඉවරයි. තිස්ස එතකොට සුවිනීතා එක්ක විවාහ වෙලා. ඒකත් ලේසියිනේ. දැන් මේ චරිත තුන සමතුලිතාවක් නැති වුණොත් මුළු චිත්‍රපටයම බිඳ වැටෙනවා. ඉතිං ගෝරිං මුදලාලිගේ චරිතයට ඒ කාලේ හිටපු නළුවන් ගැන අපි කල්පනා කළා. දැන් ඒක කියන එක හරි නැහැනේ.


    D-B-NIHALSINGHE-04.jpg


    අවසන් විනිශ්චය වුණේ ජෝ අබේවික්‍රම?

    ජෝගෙයි, මගෙයි ඇසුර පටන් ගන්නේත් ‘පාරාවළලු’ චිත්‍රපටයෙන්. ජෝට මම මේ චරිතය ගැන කිව්වාම ඔහු මගෙන් ඇහුවා ‘මගේ බඩට තට්ටු කරන්නද හදන්නේ’ කියලා. මොකද විකට චරිතනේ කර කර හිටියේ. එයාගේ විශ්වාසයක් තිබුණේ නැහැ ඇත්තටම මෙහෙම චරිතයක් කරන්න පුළුවන් ද කියලා. කොහොම හරි මුලින් ජෝ එකඟ වුණේම නැහැ. ‘මම විකට නළුවෙක්. මට මේක කරන්න බැහැ’ කියලයි ඔහු දිගටම කිව්වේ. මම එතකොට ඔහුට කිව්වා ‘එහෙම දෙයක් නෑ, විකට රංගනය කියන්නෙත් රඟපෑමම තමයි. ඒ හැකියාව ඔබට තියෙනවා කියලා. කාලයක් ගියා ඔහුව මේකට නම්මවා ගන්න. පස්සේ මම ඔහුට ‘උඹ රඟපාන්න ඕනෑ නැහැ, මම කියන දේ කරපන්කෝ’ කියා කිව්වා. ඔහු බොහොම චකිතයකින් තමයි මේ චරිතයට එළඹුණේ. හැබැයි ඉතින් වැඩේ හොඳට කෙරුණා. ගාමිණී, ජෝ, සුවිනීතා මේ තුන් දෙනාම ඉතාම කැපවීමෙන් මේ කටයුත්තට දායක වුණා.

    ගාමිණී වෘත්තීය අභිමානයෙන් කටයුතු කළ නළුවෙක්. මෙය ඇතැමුන් දුටුවේ ආඩම්බරකමක් ලෙස. ඔබ ගාමිණී දැක්කේ කොහොමද?

    ප්‍රොඩියුසර්ලා දනින් වැටිලා හිටපු කාලයක් තිබුණා ගාමිණී ළඟ. ඔහු එම්. ජී. ආර්. වගේ දැවැන්ත නළුවෙක්. ගාමිණීව එක් කරගෙන එන්න වෙනම වාහන යවලා බොහොම ගරුසරුව ඇතිවනේ කෙරුණේ. නමුත් ගාමිණී ඇත්තෙන්ම ඉතාමත් මිත්‍රශීලී ඒ වගේම විනෝදකාමී කෙනෙක්. ඔහුගෙන් මට සුවිශාල සහයෝගයක් ලැබුණා මේ චිත්‍රපටයේදී. විශේෂයෙන්ම ජෝ සහ සුවිනීතාගෙනුත් ලැබුණේ ඒ වගේම සහායක්. මේ තුන් දෙනා සෙට් එකට ආවේ දෙබස් හොඳට මතක තියාගෙන. සමහරු වගේ සෙට් එකේදී මොන්ටිසෝරි ගියේ නැහැ. මේ තුන් දෙනාගේම පෙර සූදානමක් තිබුණා පුදුමාකාර විදිහට.

    රූගත කළ ස්ථාන කොහේද?

    කොළඹ තැන් කිහිපයකම රූගත කිරීම් කළා. අර නිවසේ කාමරයට අපි යොදා ගත්තේ ගල්කිස්ස මහ හෝටලයේ කාමරයක්. ඊට පස්සේ මගේ පියාගේ ගෙදර, එතකොට ගාල්ලේ ලයිට් හවුස් හොටෙල් එක තිබුණ තැන. ජෝගෙයි, ගාමිණීගෙයි තරුණ කාලේ දර්ශන ටික රූගත කළේ නුවර. මුහුදුකරේ දර්ශන පෙළ ගත්තේ බූන්දල, වැල්වැටිතුරේ, මනන්කාටු වගේ ප්‍රදේශවලත් රූගත කිරීම් සිදු කළා. මනන්කාටු කියන්නේ වැලි සහිත ප්‍රදේශය කියන එකයි. මමයි, ගාමිණියි නැවතුණේ පේදුරුතුඩුවේ. ජෝයි සුවිනීතයි හිටියේ කන්කසන්තුරේ රෙස්ට් හවුස් එකේ. ඉතිං අපි උදේට හොඳට කෑම කාලා, මුළු දවසෙම වතුර බිබී වැඩ කරනවා. මොකද කෑම කකා ඉන්න විදිහක් නැහැ. එදා ආයේ හැන්දෑවේ වැඩ ඉවර වෙලා ඇවිත් තමයි කන්නේ.

    හස්තගත කැමරාව මුල් වරට අපේ සිනමාවට හඳුන්වා දෙන්නේ ඔබ?

    අර තියෙන්නේ ඒ කැමරාව. (ඔහු ආලින්දයේ බිත්ති කැබිනට්ටුව මත තබා ඇති කැමරාවක් පෙන්වයි) අඩි දෙසීයේ මැගසින් එකක් දාලා තියෙන්නේ. හාර සීයක් දැම්මාම රාත්තල් තිස් පහක් විතර බරයි. එක වෙනමම දෙයක්. මමත් ඒ කාලේ කොලු ගැටයනේ. තරුණ ජවය තිබුණා. ඒකත් එක්ක වැඩේ තල්ලු කරගෙන ගියා. ඒ අතරතුර තාක්ෂණික ගැටලු ගණනාවක් තිබුණා. මේක සිනමාස්කෝප් චිත්‍රපටයක්නේ. ඒ කාලේ එවැනි සිනාමාහල් තිබුණේ අල්පයයි. පිටපත් තිස් අටක් අපි මුද්‍රණය කළා. සමහර තැන්වල සිනමාස්කෝප් කාච අරගෙන ගිහින් දෙපැත්තේ බෙඩ් සීට් දාගෙන චිත්‍රපට පෙන්නුවා. පුළුල් තිරයට උනන්දුව ආවේ එතනින්. එම්පයර් සිනමාහලේ ප්‍රථමයෙන් පෙන්නපු සිංහල චිත්‍රපටයත් වැලිකතර.

    ඔබේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයට ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණ සහයෝගය?

    චිත්‍රපටය ඉතා හොඳ ආදායමක් ලැබුවා. එක්දාස් නවසිය අසූ ගණන් වෙනකල්ම මම ගාමිණීට මගේ කොටසින් 10% ගානේ දුන්නා. ඒ යුතුකම් ටික කෙරුණා. හැම අතින්ම චිත්‍රපටය සාර්ථක වුණා. මම හුඟක් සතුටු වෙනවා මගේ පළමු චිත්‍රපටය එවැනි නිමාවක් සහිතව කරන්නට පුළුවන් වීම ගැන.

    මේ චිත්‍රපටයේ තිර පිටපත ගාමිණී ෆොන්සේකා විසින් වෙනස් කළ බවට රාවයක් එකල පැතිර තිබුණා?

    ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ වගේම බලු කතාවක්. කිසිම විටක ගාමිණී එවැන්නක් සිදු කළේ හෝ සිදු කරන්නට කියා මගෙන් ඉල්ලිමක් හෝ කළේ නෑ. නමුත් මම එහි එක් ජවනිකාවවක් (අර ජෝ දුවන තැන) වෙනස් කළා. ඒක අධ්‍යක්ෂවරයා හැටියට මට කළ හැකිව තිබූ දෙයක්. නමුත් අර ඔබ කිව්වා වගේ දෙයක් සිදු වුණේ නෑ. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ.

    ගාමිණීත්, ජෝත් අතර යම් විරසකයක් එකල තිබුණා නේද?

    ඔව්. ඒක දේශපාලනය නිසා ඇති වූ ප්‍රශ්නයක්. මොකද දෙන්නා හිටියේ දෙපිලක. අපි කෑම කන්න මේසෙට ගියාම ගාමිණියි, ජෝයි ඉඳගන්නේ මගේ දෙපැත්තේ. දෙන්නා කිසි කතාවක් බහක් නෑ.

    නමුත් දෙන්නම මගේ මිත්‍රයෝනේ. අදහස් හුවමාරු වෙන්නේ මගෙ හරහා. දර්ශන තලේදී විතරයි මුහුණට මුහුණ බලලා දෙබස් කිව්වේ. හැබැයි ඉතින් මේ විරසකය නිසා ඉතාමත් විශිෂ්ට රංගනයක් දෙන්නගෙන්ම ඉස්මතු වුණා කියලා මට හිතෙනවා. මොකද දෙන්නම රඟපෑවේ බොරුවට නෙවෙයිනේ.

    ඇතැම් විචාරකයන්ගේ මතය ගෝරිං මුදලාලි ගේ රංගනය වඩාත් විශිෂ්ට බවයි. වික්‍රම රන්දෙණියගේ රංගනයටත් සමහරු දක්වන්නේ එබඳුම ප්‍රතිචාරයක්. ඔබගේ ආකල්පය මේ පිළිබඳ?

    දෙකම. දෙකම විශිෂ්ටයි. හැබැයි ගාමිණී ගේ රඟපෑම තමයි දුෂ්කරම එක. මොකද ගෝරිං මුදලාලි මුණ ගැහුණ මොහොත් ඉඳලා, දර්ශනයෙන් දර්ශනයට බිඳ වැටෙන චරිතයක්. මම හිතන්නේ ගාමිණී විශිෂ්ට විදිහට ඒක කළා. ජෝට එච්චර ගැටලුවක් තිබුණේ නැහැ. ඔහුට චරිතය ප්‍රබල විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. හැබැයි ඔහුගේ විශිෂ්ටත්වය තිබෙන්නේ දීර්ඝකාලිනව විකට නළුවෙක් විදිහට රඟපාලා මෙවැනි චරිතයක් ජීවමාන කරන්න හැකිවීමයි. දැන් වෙනත් විකට නළුවකුට ඔය විදිහෙ දෙයක් කරන්න බෑ. ඒ පරිවර්තනය ඔහු විශිෂ්ට විදිහට කළා. අතීතයේ සීමා බන්ධන ඉක්මවා ඔහු ගියේ මේ චරිතයෙන්. මේ දෙක තක්සේරු කරන්න අමාරුයි. දෙන්නම විශිෂ්ට විදිහට රඟපෑවා. ඒ අතරතුර සුවිනීතා. ඇගේ කාර්යයත් ඉතා මැනවින් කළා. මොකද එතැනත් තියෙන්නේ බිඳ වැටෙන චරිතයක්. තුන් දෙනාම බිය ගුල්ලෝ. තුන් දෙනාම පරාජිත චරිත. මේ චරිත තුනම මට එක වගේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්න පියෙකුගෙන් ඇහුවොත් වඩා හොඳ දරුවා කවුද කියලා ඒක කියන්න අමාරුයිනේ.

    දකුණු ඉන්දීය ආභාෂය අපේ සිනමාවේ ප්‍රබලව මතුව තිබුණ යුගයකයි ඔබ ‘වැලිකතර’ නිර්මාණය කරන්නේ?

    අන්න ඒක අද හුඟ දෙනකුට අමතක වෙලා. ලෙස්ටර් පීරිසුයි, මයික් විල්සනුයි, මමයි තනි වෙලා හිටියේ. අපට බොහොම අවලාදයෙන් ඔවුන් කතා කළේ. මට එක්තරා උපහාසාත්මක නමකුත් පටබැඳීලා තිබුණා. එහෙම තද වෙලා, කොටු වෙලා හිටපු වකවානුවක මම ඒ වයසේදී මණ්ඩල තුනම එක්කාසු කරලා ඒකාබද්ධ ප්‍රදර්ශන මණ්ඩලයක් හදලා ඒ කරපු කාර්ය ගැන ඇත්තටම සතුටුයි. මට හිටියේ නැහැ දැවැන්ත බලවේග.

    වසර හතළිහකට පසුව ඔබේ ප්‍රථම සිනමා නිර්මාණය දෙස ආපසු හැරී බැලීමේදී එහි සාර්ථක අසාර්ථක බව ගැන අවංකව හිතෙන්නේ කොහොමද?

    නෑ, ඉතින් ඕනෑම චිත්‍රපටයක් දිහා ආපහු හැරිලා බලන කොට අඩු පාඩු පේනවා. දැන් ඔබතුමා අද ලියපු දේ තව සතියකින් බලද්දී ෂා: මේක මෙහෙම ලිව්වා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. දැන් චිත්‍රපටය බලද්දී හිතෙනවා මෙහෙම කළා නම් හොඳයි කියලා. මම හිතන්නේ සයිමන් නවගත්තේගමට හැරෙන්න අනෙක් සෑම කලාකරුවකුටම තමන්ගේ නිර්මාණ ගැන එහෙම සෑහීමක් ඇති නොවෙන්නට පුළුවන්. සයිමන් කියන්නේ එයා ලිව්වොත් ලිව්වාමයි කියලනේ.

    වැලිකතරේදී මම මුහුණ පෑ අභියෝග විශාලයි. මේ සිනමාස්කෝප් කැමරාව ගෙන්වන්න ගොඩක් අසීරු වුණා. මොකද ඒ කාළේ ඉම්පෝර්ට් පර්මිට් අරගෙන එහෙමනේ ගෙන්වන්න ඕනෑ. ඔය කාචය ගෙන්නන්න මට ආනයන – අපනයන කොමසාරිස්ගෙන් අවසර ගන්න තිබුණා. එයා මට කිව්වා රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයා වූ ජෝර්ජ් වික්‍රමසිංහගෙන් අනුමැතිය අරගෙන එන්න කියලා. මම එතුමාට කිව්වා. එතකෙට එයා අහනවා කොහෙද මේවා පෙන්වන්නේ, මේක මුද්‍රණය කරන්නේ කොහොමද, ශෝධනය කරන්නේ කොහොමද, මේ වගේ දේවල්. පස්සේ මම මේක කරන්න පුළුවන් කියලා පැහැදිලි කළා. මාස ගණනාවකට පස්සෙයි ඔහු රෙකමදාරුව දුන්නේ. මට ජවය තිබුණා එදා තරුණයෙක් හැටියට ඕනෑම අභියෝගයක් ජය ගන්න. මම හිතන්නේ ‘වැලි කතරෙන්’ මම ඔප්පු කරලා පෙන්නුවේ ඒ හැකියාව.

    සංවාද සටහන – අසංක දේවමිත්‍ර පෙරේරා
    ඡායාරූප – මාලන් කරුණාරත්න