අද්භූත_මිනිසා

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මහ වන මැද සතුටින් දිවි ගෙවන අද්භූත මිනිසා – ‘දානිගල හන්තානෙ’


    danigala.jpg


    දානිගල හන්තානෙ, ඔහු ගැන ගොඩක් තොරතුරු නොදන්නා නමුත් දන්නා තොරතුරු සියල්ල මෙහි සටහන් කරමි.

    අවුරුදු 5 කට පමණ පෙර වෙනත් වැඩකට ගොස් සිටියදී අහඹු ලෙස ලැබුණ තොරතුරක් ඔස්සේ බිබිලේ ප්‍රදේශයේ මහ වනය මැද පිහිටි මොහුගේ කුඩා නිවෙස වෙත ගොස් හෝරා කිහිපයක් ඔහු හා පිළිසඳරේ යෙදීමට අවස්ථාව කොට ගතිමි.

    ඔහුගේ නම දානිගල හන්තානෙ. දානිගල වැදි පරපුරෙන් පැවත එන්නෙක් වුණත් ඔහු වැදි සමාජයෙන් මිඳිලා සිංහල සමාජයට අනුගත වුන කෙනෙක්. ඔහුට අංශ ගණනාවක් පිළිබඳ ඉතා ගැඹුරු දැනුමක් තිබුනා:

    1. වනය – ගහකොල සතා සීපාවා පිළිබඳව
    2. සිංහල භාෂාව පිළිබඳව
    3. සෙල්ලිපි සහ ලෙන්චිත්‍ර පිළිබඳව
    4. පැරණි සිංහල වෙදකම පිළිබඳව

    නමුත් මේ දැනුම ඔහු ලබා ගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳ මට සාධක හමුවුණේ නැහැ. උදාහරණයකට ඔහුට සිංහල වෙදකම ගැන තිබ්බෙ පුදුම දැනුමක්. නමුත් එය පාරම්පරිකව ලබා ගත්ත එකක් නොවෙයි. ඔහුගෙ පරම්පරාවෙ කවුරුත් සිංහල වෙද්දු නෙවෙයි.

    දානිගල හන්තානෙ දැනුම ලබා ගත්තෙ දෙවියෙන් දැයි මා දන්නෙ නැහැ. එහෙම කියන්න මම හදිසී වෙන්නෙත් නැහැ. නමුත් දෙවියන් මඟින් දැනුම ලබා ගැනීම ඉතා ඈත අතීතයේ පටන් සිංහලයො කරපු එකක් කියල නම් මා විශ්වාස කරනවා. අවාසනාවකට බටහිර විද්‍යාවේ ආගමනය නිසා මේ ක්‍රම අපේ අතරින් ඈත් වෙලා. “උගතුන්” ගොඩ දෙනෙක් ඒවට විහිළු කරන එක තමයි කරන්නෙ. අනෙක් අතට දැන් කාලෙ ඉන්න ගොඩක්ම බොරු ජාවාරම් කාර සාස්තර කාරයො නිසත් මේවා නැති වෙල යනවා.

    ඔහු හමුවීමට මහාචාර්ය ගණනාථ ඔබේසේකර ඇතුළු උගතුන් කිහිප පොළක් නිතර එනවා. බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල කථිකාචාරයවරුන්. විශේෂයෙන් ලංකාවට නිතර යන එන නෙදර්ලන්තයේ මහාචාර්යවරයෙක් ලංකාවට ආවොත් නොවැරදීම මහ කැළේ මැද තියෙන ඔහුගේ නිවසට එන බව මට දැනගන්න ලැබුණා.

    දානිගල හන්තානෙ ව නිසි අගැයීමකට ළක් වී ඇතැයි මා සිතන්නේ නැහැ. පුවත් පතකවත් ඔහු ගැන වාර්තාවක් පල වී ඇත්දැයි මා දන්නෙ නැහැ. ඔහු හමුවීමට එන උගතුන් පවා ඔහුගේ දැනුම පාවිච්චි කරනවා මිස ඔහුව ඇගැයීමකට ළක් කිරීමට කටයුතු කරනවා යැයි මා සිතන්නේ හැහැ. නමුත් වරක් ඔහුට සූරිය සිංහ පදනමින් ජනාධිපති සම්මානයක් ලැබී තිබුණා. ඔහුගේ කුඩා නිවසේ ඉටි කවරයක ඔතා තිබූ ඒ සම්මානය ඔහු සිනා සෙමින් මට පෙන්වූවා.

    අද වියපත් වී සිටින ඔහු ජීවත් වෙන්නේ යම් ආර්ථික දුෂ්කරතා මැද. කෙසේ නමුත් ඔහු ගැන සටහනක් කිරීමට මට මතක් වූයේ මා හොඳින් නිරීක්ෂණය කළ එක් කරුනක් නිසා: එනම් ඔහු නිතරම සිටියේ පුදුම සතුටකින්. ඔහුගේ සතුට ඇතුළෙන් ගලා එන්නා සේ මට දැනුනා. මට ඊට වඩා එය විස්තර කරන්න අපහසුයි.

    අවසානයේ මා නික්ම එන විට සිදි වූ දෙයක් මට හොඳට මතකයි. මා පයට පෑගුණ වල් පැලයක් පෙන්වා ඔහු කීවේ එය හෘද රෝග වලට ඉතා හොඳ ඖෂධයක් බවයි.


    Source sinhalabuddhist.com