

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
බුදුරජාණන් වහන්සේගේ දේශන විමසනකොට එකක් තේරෙනවා. සෝවාන් වෙච්ච ශ්‍රාවකයා පවා දුක වින්ද තැන දේශනා තුළ අපට මුණ ගැහෙනවා. විශාඛාව තමන්ගෙ මිණිපිරියක් නැති වෙච්ච අවස්ථාවකදි, බොහොම දුකින් ඇවිත් බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කරපු අවස්ථාවක් දේශනාවල තියෙනවා. ඒ වගේම මේ සියලු ධර්මය දරාගෙන සිටිය ආනන්ද ස්වාමීන් වහන්සේත්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම අබියස උන්වහන්සේ ශෝක වෙච්ච හැටි, අපිට දේශනා තුළ මුණගැහෙනවා.
එතකොට එච්චර ධර්මය දන්න, සෝවාන් කෙනාටත් දුක කියන එක උරුම වුණානම්, දුක කියන එක දැනුනානම්, අපිට මේ දුක කියන එක දැනෙන එක ගැන ආයෙ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒක නිසා අපිට දුක තුනී කරගන්නට ක්‍රමයක් හොයාගන්න පුලුවන් නම්, ඒක හොයාගන්නට ඕනෙ අපේම සැපය සඳහා.
අද අපි බලන්න යන්නේ, ඉස්සෙල්ලාම දුක හටගන්න හේතුවෙන විදිය. ඒ වගේම ඒ දුක තුනී කරගන්න ඕනෙ විදිය. අපි බලමු දුක කියන එක ජීවිතයට ඇති වෙන්න හේතුව මොකක්ද කියලා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න දවසක් භද්‍රක ගාමිණී කියලා මහත්තයෙක් ආවා. ඒ මහත්මයා අමුතුම ප්‍රශ්නයක් අහනවා. 'ස්වාමීනි, මට දුකේ හටගැනීමයි, නැති වීමයි කෙටියෙන් කියලා දෙන්න' කිව්වා. බුදුරජාණන් වහන්සේ මේකට පටිච්ච සමුප්පාදය කියන්න ගියේ නෑ. උන්වහන්සේ මේකට පිළිතුරු දෙනවා, එයාගෙම කටින් එයාම පිළිතුරු දෙන ක්‍රමයකට.
ඒක හරි වෙනස්. බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් අහනවා,
'භද්‍රක, කෙනෙක් ඉන්නවා ඔබේ ගමේ, එයා මැරුණට පස්සේ ඔබට දුක හටගන්නවාද? එහෙම අය මේ ගමේ ඉන්නවාද?' කියලා ඇහුවා.
'ස්වාමීනි, එහෙම අය ඉන්නවා'
ඊළඟට අහනවා, ''ඔබේ ගමේ කවුරුහරි මැරෙනවා, ඒත් ඔබට ගානක්වත් නෑ. එහෙම අය ඉන්නවාද?' කියලා ඇහුවා.
'ස්වාමීනි එහෙම අයත් ඉන්නවා'
එදා අවුරුදු දෙදහස් ගානකට කලින් ඇහුවා වගේම අදත් කාගෙන් ඇහුවත්, කාටත් දෙන්න තියෙන්නෙ ඒ උත්තරය. ඒක අදටත් වලංගුයි. එතකොට අපි හැමෝටම කැමති අය, අකමැති අය කියලා දෙකොටසක් ඉන්නවා. එක්කො කැමැතියි, නැත්නම් එහෙම විශේෂ කැමැත්තක් නැහැ. ඉතින් ඔය දෙගොල්ලගෙන්, පිරිසක් මැරෙද්දි දුකයි. තව පිරිසක් මැරෙද්දි අපිට එච්චර දැනෙන්නෙ නෑ.
බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් අහනවා : 'එකම ගමේ කෙනෙක් මැරෙද්දි දුකක් ඇති වෙන්නත්, තව කෙනෙක් මැරෙද්දි ඔබට ඒක දැනෙන්නෙ නැති වෙන්නත් හේතුව මොකක්ද?'
භද්‍රක ම එයාට හිතෙන විදියට කියනවා 'මම කාටහරි ප්‍රියනම් ඒ කෙනා නැති වෙනකොට මට දුකයි, කෙනෙක් ගැන මට විශේෂ ප්‍රියබවක් ඇතිවෙලා නැත්නම් එයා මැරුණා කියලා මට ගානක් නෑ' කිව්වා.
බුදුරජාණන් වහන්සේ ඊළඟට මෙයාගෙන් අහනවා: 'එහෙනම් ඔබට හිතෙන හැටියට මොකක් හටගත්ත හින්දාද දුක හටගන්නේ?'
මෙයා කියනවා 'ස්වාමීනි, මට ඒ ප්‍රිය බව හටගත්ත නිසා තමයි එතන ඒ දුක හටගත්තේ' කියලා.
එතකොට උත්තරේ එයාගේ කටින්ම දැන් ඇවිල්ලා ඉවරයි. මොකද එයා ඇහුවේ 'දුක හටගන්නේ මොකක් හින්දාද?' කියලානෙ. දුක නැති වෙන්නේ මොකක් නොතිබීම හින්දාද? දැන් එයාම කියනවා 'ස්වාමීනි එහෙනම් ඒ ප්‍රිය බව නැති තැන තමයි දුක නැත්තේ' කියලා.
මේ අපූරු කතාව තව දුරටත් යනවා. මොකද භද්‍රක ගාමිණී මේ අහන දේත් එක්ක හොඳට විමසනවා. එයා විමසලා කියනවා, 'ස්වාමීනි, ඔබවහන්සේ කිව්ව කතාව ඇත්ත. මට හිතුනා මගේ පුතා සමහරදාට පාසැල අවසන් වෙලා ගෙදර එන්න පරක්කු වුණොත් එහෙම මගේ හිතට එන බය මට කියාගන්න බෑ. මම සේවකයෙක් යවනවා. ස්වාමිනි, සේවකයාත් බැරිවෙලා හරි ප්‍රමාද නම්, මට තියෙන්නේ පුදුමාකාර දුකක්, මං කුතුහලයෙන් බලන් ඉන්නවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ස්වාමීනි ඒ මට ඇතිවෙච්ච දුක දරුවාට ප්‍රිය බව නිසා තමයි' කියලා එයා දැන් කියනවා.
ඊටපස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා. 'භද්‍රක, දැන් ඔය ඔබේ දරුවාගේ අම්මා, ඔයාගේ බිරිඳට මොකක් හරි කරදරයක්, ආන්ත්‍රාවක් සිදු වුණොත් ඔබේ ජීවිතයට මොකද වෙන්නෙ?' කියලා.
'ස්වාමීනි, එහෙම වුණොත් මගේ ජීවිතයට මොකක් වෙයිද කියලා මමත් දන්නේ නෑ' කිව්වා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳට යම්කිසි අනතුරක් වුණොත් එහෙම තමන්ගෙ ජීවිතයටත් හානියක් වෙන්න පුලුවන් කියන එකයි. මෙතනදි හරිම වටිනා න්‍යායක් බුදුරජාණන් වහන්සේ අහන්නේ.
'ඔබේ ඔය බිරිඳ ඔබ කවදාහරි දැක්කානේ. ඒ දකින්නත් කලින්, එහෙම නැතිනම් ඔබේ බිරිඳ ගැන ඔබ අහන්නත් කලින්, එහෙමත් නැත්නම් ඔය බිරිඳ ගැන ඔබට හිතෙන්නත් කලින් ඇයට මොකක් හරි අනතුරක් වෙනවා. එතකොට ඔබ මොකද කරන්නේ?'
'ස්වාමීනි මම ඇයව දැකලාත් නැත්නම්, ඇය ගැන මම අහලාත් නැත්නම්, ඇය ගැන මට හිතිලාත් නැත්නම් ඒ කාලේ ඇයට මොනවා හරි වුණොත් මම දන්නේ නෑ ස්වාමීනි, මට කිසිම දුකක් නෑ, මම එහෙම මගේ ජීවිතයට කරදරයක් කරගන්නේ නෑ' කියනවා.
'භද්‍රක, කෙනෙකුට ප්‍රියබවක් ඇතිවෙන්නේ ඔන්න ඔය අවස්ථා තුනෙන් පස්සෙ කිව්වා. එක්කෝ දකින්න ඕනෙ, එක්කෝ අහන්න ඕනෙ, එක්කෝ හිතෙන්න ඕනේ'

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
ඔබේ අතේ ජංගම දුරකථනය එක දවසකට නැති වුණොත් එහෙම ඔබට ඇතිවෙන්නේ එදාට දුකක් නේද? නැති වෙන්න ඕනි නෑ, ගෙදර දාලා වැඩට ගියොත්? හොඳට දන්නවා ගෙදර තියෙන බව. ඒත් අතේ නෑ. ඔබ එදා දවසෙ සමහරවිට බොහොම පීඩනයකින් ඉන්නෙ. ඔබට ලොකු අඩුවක් තියේවි. ඒ කියන්නෙ ඔබට ප්‍රිය බවක් තියෙනවා දුරකථනයක් එක්ක.
නිකමට හිතන්න ඔය දුක තිබුනාද, අවුරුදු දෙදහස් ගානකට කලින් හිටපු ශ්‍රාවකයන්ට? නෑ. ඒ අය දුරකථන ගැන අහලාත් නෑ, දුරකථන දැකලාත් නෑ, දුරකථනය ගැන හිතිලාත් නෑ. එහෙනම් අපි ඕනෙම කෙනෙකුට දුකක් ඇති වෙන්නෙ ප්‍රිය බව නිසා. ප්‍රිය බව ඇතිවෙන්නෙ දැකීමෙන්, ඇසීමෙන්, හිතීමෙන්. ඔය අවස්ථා තුනෙන්.