අද ක්‍රිකට් පිටිය - මාර්තු 05
අද දිනය ගැන නම් කියන්න සුවිශේෂී සිදුවීම් එතරම් නැහැ. මතකද 1992 ලෝක කුසලානය. එය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී. ඇලන් බෝඩර්ගේ ඕස්ට්‍රේලියානු පිළ සිඩ්නිහිදී ග්රැහැම් ගුච්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිළ හමුවේ කඩුළු 8ක පරාජයක් ලැබුවේ අද වගේ දවසක. තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ඉයන් බොතම් කඩුළු 4ක් හා අර්ධ ශතකයක් ලබා ගත්තා. 1987 ලෝක කුසලානය දිනා සිටි සත්කාරක ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර එංගලන්තය අනු ශූරයින් බවට පත්වුණා.
එංගලන්තයේ ඉයන් බොතම්
තරගයේ
scorecard එක මෙතනින්.
2004 බංග්ලාදේශයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජයගැනීමට පකිස්ථානයට හැකි වුණෙත් මාර්තු 5වෙනිදා. ඔවුන් අතින් පරාජයට පත්වුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්. පසු කලෙක අන්තර්ජාතික තරග බිමට පිවිසි කලීඩ් ලතීෆ්, ෆවාඩ් අලාම්, රවි රාම්පෝල්, දිනේෂ් රාම්දින්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ (ක්)සේවියර් මාර්ශල් වැන්නන් පළමු වරට ලෝක අවධානය දිනාගත්තේ මේ තරගාවලියේදී.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ එකම ක්‍රිස්තියානි පූජක වරයා වන ඩේවිඩ් ශෙපර්ඩ් (කවුරුත් හඳුනන විනිසුරු ඩේවිඩ් ශෙපර්ඩ් නොවේ.) පූජකතුමා අභාව ප්‍රාප්ත වුණේ 2005 අද වැනි දවසක. ඒ වනවිට එතුමා ලිවර්පූල් හි බිෂොප් වරයා ලෙස කටයුතු කළා.
අද උපන්දින සමරන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වූ රොඩ්නි හොග් සහ ලංකාවේ ඉෂාර අමරසිංහ සිටිනවා.