11 ඉරිදා සවස මහ සෑ මලුවේ දී හමු වෙමු !!
ගං වතුරෙන් මිනිස් ජීවිත බොහෝ ගණනක් අහිමි විය. ගංවතුරේ ගසා ගෙන ගිය තිරිසන් ජීවිත ගණන කොතෙක්දැයි ගණනය කළ වගක් හෝ දැන ගැනීමට නැත. ගංවතුරට හේතු කාරණා ගණනාවක් ඉදිරිපත් විය. තම තමන්ගේ හේතු දැක්වීම් නිවරද බව පෙන්වීමට ගෙන ආ තර්ක ද ඒ තර්ක පිටුපස ගලා ආ මඩ පහරවල් ද නිමක් නැති විය. ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා අතෝරක් නැතිව ආධාර වෙනුවෙන් හඬ නැගීය. ඔවුන්ගෙන් සේවයක් වූයේ නැතැයි කිසිවකුට හෝ කිව නොහැකිය. කෙසේ නමුත් තවත් ආපදා කිහිපයකින් පසු පන්සල කේන්ද්‍ර කරගත් විමධ්‍යගත උවටැන් රටාව වෙනුවට ජනමාධ්‍ය කේන්ද්‍රකරගත් මධ්‍යගත සහන සේවයක් බිහිවීම නොවැලැක්විය හැකිය. කවරකු හෝ කීමට පෙර අසරණයන්ට පිහිට වීමට නිරායාසයෙන් පැනනැගි සිතුවිලි අනුව කටයුතු කළ සමාජය යටපත්ව ජනමාධ්‍යයෙන් යා යුතු තැන කියන තෙක් බලා සිටින සමාජයක් බිහිවන දිනය වැඩි ඈතක නොවේ.
මේ සටහන ලියන්නේ ඒ ගැන වැඩි දුර සාකච්ජාවකට නොවේ. ගංවතුරේ සැඩ පහරට ගලා ගිය ජීවිතවල චුති සිත වේදනාව (ලෝභ දේවේශ සිත්) මුල් කොට පහල වූ ඒවා බව වටහා ගැනීම අසීරු නොවේ. එවන් චුති සිතක් පටිසන්ධි ලබන්නේ නො සුගතියක වීමට බොහෝ ඉඩකඩක් ඇත. ජීවත්ව සිටින බෞද්ධ අප අසරණව පණ බේරා ගත් උදවියට උදවු කරන අතරම පැදුරෙන් ලිපට වැටුණු පණ අහිමි වූවන් වෙනුවෙන්ද යුතුකම් ඉටු කළ යුතුය. ඒ සිංහල සම්ප්රදායයි (සසරක් ගැන විශ්වාස නොකරන විද්යාඅන්ධයන්ට මේ ලිපිය අදාල නොවේ). අප ඒ යුතුකම දරුණුවටම අමතක කලේ ත්‍රස්තවාදයෙන් රට දෑ සමය මුදා ගත් රණවිරුවන් අරභයා බව මගේ වැටහීමයි. අභව්‍ය ස්ථානවල උපත ලැබූ දසදහස් ගණනක් උදෙසා ජාතියම ආධ්‍යාත්මිකව එක්වී ඔවුන්ගේ කුසල් ශක්තිය මතු කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීමට තිබුන ද අපි එය මග හැරියෙමු. දරුවන් අහිමි වූ රණවිරු මවුවරුන්ගේ මෙන්ම ත්රස්තවාදීන්ගේ මව් වරුන්ගේ ද දුක් නිවීමට තිබූ බුදු මග එයයි. අපි ඒ අමතක කර රණවිරුවන් රියැලිටි ෂෝ වෙත යොමු කළෙමු. ඒ අතර දෙමළ අම්මලාගේ කඳුළු නිවීමට ජිනීවා තොවිලය ඇරඹිණි.
ගංවතුරෙන් දිවි අහිමු වූ සියලුදෙනාට පින් පැමිණවීමේ පිංකමක් අපි ජුනි මස 11 ඉරිදා සවස 4 ට අනුරාධපුර රුවන්මැලි සෑ මළුවේ සංවිධානය කර ඇත්තෙමු. මේ පින්කමේ තවත් අරමුණක් ඇත. ඒ අපට ලැබුණු විශේෂ පණිවිඩයක් නිසා සිදුවන්නකි (මෙම ලිපිය කියවා මානසික ව්‍යාකූලතාවට පත්වන ප්‍රාඥයන්ගේ ප්‍රශ්නවලට මම පිළිතුරු නොදෙමි). සම්‍යක්දෘෂ්ටික දෙවිවරු අපට පණිවිඩයක් ලබා දී ඇත. දකුණේ සිදු වූ ව්‍යසනය මෙන් (හෝ ඊටත් වඩා) ව්‍යසනයක් රජරටට ළඟ ළඟම පැමිණේ. එය වලක්වා ගත නොහැකි වුවත් ඉන් සිදුවන හානිය අවම කරගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කළොත් පුලුවන්කමක් ඇත. ඒ සඳහා කෙරෙන කටයුතුවලට අදාල වැදගත් පිංකමක් ද එදින සිදුවේ. මේ සඳහා විවෘත ආරාධනයක් මේ කියවන සියලු දෙනාට යොමු වේ.
දෙවියන් ගැන මෑත කාලීන සංවාදය ඇරඹුණේ “ආසනික්” ප්රශ්නය සමගයි. එය විවිධ අය විවිධ කොන්වලින් අල්ලා ගත්හ. දෙවියන්ගැන මුහුණු පොතේ සංවාද ගණනාවක් ඇති වී ඇත. මේ සංවාද අවසන් වන්නේ බොහෝ දෙනා සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ගැන ද්වේශයෙන් බොහෝ අකුසල් රැස් කරගෙන බව ද පෙනෙන්නට ඇත. ජාතිකවාදී කඳවුර නියෝජනය කරන පිරිස් ලෙස තමන් හඳුන්වා ගන්නා හෝ සිතා සිටින ඇතැම්හු ද අවසානයේ අපේ දෙවිවරුන්ට තමනුත් නොදැන අගෞරව කරති. දැන් වසර 20 ක් පමණ මේ පිරිස් සමග කටයුතු කර මට අත්දැකීම් බොහොමයක් ඇත. මේ කඳවුරේ අය තරම් කුඩා කණ්ඩායම් තනා ගනිමින් සිය කඳවුරේම අයට කැපිලි දමන පිරිසක් මා තවත් දැක නැත; අසමගියම ගුරු කොට කටයුතු කරන පිරිසක් මා තවත් දැක නැත (ඇතැම්හු අපගේ ලිපියකට like එකක් දැමීම මහා පාපකර්මයක් සේ දකින බව ද පෙනෙන්නට තිබේ). සියලු දෙනාට අවශ්‍ය න්යාචාර්යවරු වීමටයි; දුටුගැමුණුලා වීමටයි; අන්තිමට ඵලදායි වැඩක් කිරීමට කෙනෙක් නැත. අප විශ්ව විද්‍යාල සමයේ හඳුනාගත් ගිහිපැවිදි ජාතික වීරයන් බොහොමයක් අද බෙහෙතකටවත් සොයා ගැනීමට නැත.
පසුගිය සතියේ දිනක මම හෝමාගම බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයකට සහභාගී වීමි. එය “අභිචාර, විද්‍යාව සහ බුදුදහම” යන මැයින් විය. දේශනය අවසානයේ පැවති සංවාදයේදී එක් ස්වාමීන්වහන්සේ නමක් විමසුවේ දෙවියන් ගැන බුදුදහමේ කියවෙන කරුණු “සංස්කෘතිමය කාරණා” නොවේද යන්නයි. මින් ඇගවෙන්නේ ධර්ම කරුණු රසවත් කිරීමට, මතක තබා ගැනීම පහසු කරවීමට හුදු සාහිත්‍යමය අගයක් සහිතව දෙවියන් ගැන කරුණු සදහන් කර ඇති බවයි. අපට මේ තත්වය උදා වූයේම සංස්කෘතිමය ආධිපත්‍යයක ප්‍රතිපලයක් ලෙසයි. දැන් අපි නොදැනුවත්වම දෙවියන් (බහු වචන) හෝ ඇසට නොපෙනෙන ජීව කොට්ටාශ නැතැයි යන නිගමනයට එළැඹ එතැන් සිට අනික් දේ හැදෑරීම අරඹමු. ත්‍රිපිටකය, අටුවා හෝ පැරණි සිංහල සාහිත්‍ය කෘති ඉවත දැමීමට නොහැකි නිසා එහි දෙවියන් ගැන කියැවෙන දේ ‘අලංකරණය උදෙසා එක් කල සාහිත්‍ය කාරණා, ඒවා එතරම් ගැඹුරු ලෙස සැලකිය යුතු නැතැයි' කියා සිත සතුටු කර ගනී. එය තවත් තහවුරු කිරීමට ‘ඔය ග්‍රීක දේව කතා තියෙන්නේ, මේවත් ඒ වගේ තමයි’ කියමින් අඩ තබයි. එහෙත් පෙර කී පූර්ව නිගමනය වෙනස් කර දෙවියන්, නාගයන්, බඹුන්, අමනුෂ්‍යයන් ගැන බුදුන් වහන්සේ දේශනා කළ දේ සත්‍ය ලෙස සලකමින් ත්‍රිපිටකය, පාලි අටුවා, සිංහල සාහිත්‍ය කියැවුවහොත් අපට ලැබෙන්නේ වෙනස්ම කතාවකි. එපමණක් නොව ග්‍රීක දේව කතා, හින්දු දේව කතා, ආයුර්වේදය වෙනස්ම ආකාරයකට විග්රහ වේ.
සිංහලයෝ දේව, නාග, බ්‍රහ්ම කොටස් සමග ඉතා සමීපව සබඳකම් පැවැත්වූ ජාතියකි. ඒ සබඳකම හුදු පෞද්ගලික/ ලෞකික ගනුදෙනුවක් නොව රට දැය සමයේ යහපත උදෙසා පැවැත්වූ ආධ්‍යාත්මික ගනුදෙනුවකි. දැනට පෙනී යන පරිදි සීතාවක දෙවන රාජසිංහ සමය වන තෙක්ම මේ ගනුදෙනුව අඩු වැඩි වශයෙන් පැවත ඇත. අරීටකි වෙන්ඩු ගැන හොඳින් කරුණු සොයා බැලීම ද මෙහිදී වැදගත් වේ. පෘතුගීසීන් පහතරට බලය ලබා ගන්නා විට ඒ ප්‍රදේශවල තිබූ බෞද්ධ දේවාල විනාශ කළ අතර පසුව ඉංග්‍රීසීහු මධ්‍යම කඳුකරයට පිවිසෙන මාර්ග ඔස්සේ තිබූ බෞද්ධ දේවාල විනාශ කළහ. ඉංග්‍රීසින් රට හැර යන විට ආධ්‍යාත්මික දියුණුව ජාතියට සම්පුර්ණයෙන් අමතක වී තිබුණි. නායක්කර් වංශිකයන් ගෙන ආ "දෙවිවරු සමග ලෞකික ගනුදෙනු කිරීම (ඩීල් දැමීම)" පමණක් ඉතිරි විය. ධර්මපාලතුමා ගෙරි මස් පිළිකුල් කිරීමත්, මත්පැනට දැඩි ලෙස පහරදීමත් හුදු හම්බයන්ට විරුද්ධ ව්‍යාපාරයක් සහ අමද්‍යප ව්‍යාපාරයක් ලෙස අර්ථ දැක්වුනු අතර එහි අධ්‍යාත්මික අරුත පරම විඥනාර්ථ ව්‍යාපාරය තුළ සැඟව ගියේය.
අද දෙවිවරු කී පමණින් බොහෝ දෙනාට සිහි වන්නේ බාර හාර, කතරගම පලතුරු වට්ටි සහ මුන්නේෂ්වරමේ බිලි පුජා ය. එහෙත් සිංහල සම්ප්රදාය ආධ්‍යාත්මිකව දෙවියන් සමග ගනුදෙනු කිරීමයි. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු හාස්‍යට ලක් වීමට භෞතිකවාදීන් සහ විද්යාඅන්ධයන් පමණක් නොවේ. දෙවියන්, නාගයන්, බ්‍රහ්මයන්, අමනුෂ්‍යයන් ගැන නිසි අවබෝධයක් සිංහල සමාජයට ලබා නොදුන් ගිහි පැවිදි බෞද්ධ උගතුන් ද ඊට වගකිව යුතුය. ඔවුහු ‘බටහිර විද්‍යාවට’ බියේ මේ ගැන කතා කිරීම අත් හලහ. දෙවියන්ට කල හැකි දේ කළ නොහැකි දේ, බිලි පූජා, අණවින, කොඩිවින, හදි හූනියම්, යන්ත්‍ර මන්ත්රවල සිට හක්ගෙඩි විකිණීම දක්වා මිත්‍යාදෘෂ්ටික ක්‍රියාකාරකම් වෙන්කර හඳුනා ගැනීමට බෞද්ධ සමාජයට නොහැකිවීමේ ප්‍රතිඵලය වූයේ ඒ සියල්ලේ නරක නාමය සම්‍යක් දෘෂ්ටික දෙවිවරු පිට යෑමයි. මිනිසුන් අවිචාරවත් ලෙස දෙවියන් පසුපස යෑමට ද මේ සියලු දෙනා වග කිව යුතුය. අද සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ නමින් ඇති දේවාලවල පවා මිත්‍යාදෘෂ්ටික දෙවිවරු සහ අමනුෂ්‍ය කොටස් අරක් ගෙන ඇත. අධ්‍යාත්මිකව පිරිහුණු මිනිසුන් දේවාලවල පිරෙන විට ඒ අයගේ අවශ්‍යතා සම්පුර්ණ කල හැකි අයට ඉඩ දී සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඒ ස්ථානවලින් ඉවත් වෙති.
අනෙක් අතට දෙවිවරු කී පමණින් බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ ඔවුන් සියල්ල කල හැකි පිරිසක් ලෙසයි. මේ වැරදි අවබෝධයට හේතුව සර්වබලධාරී දෙවියන්වහන්සේ ගැන මවා ඇති චිත්රයයි. නාථ, සමන්, පත්තිනි, භද්‍ර කාලි ආදී දේව මණ්ඩලවලට අයත් දෙවිවරු දහස් ගණනකි. මිනිසුන් අතර නිලය, බලය අනුව ධූරාවලියක් ඇති අයුරටම මේ එක් එක් දේව මණ්ඩලවල ද ධූරාවලියක් ඇත. මෛත්‍රී බෝධි සත්වයන් යනු නාථ දේව මණ්ඩලයේ සිටින බලවත්ම දෙවියන්ය.ඒ හැරුණු විට තවත් සිය ගණනක් නාථ දෙවිවරු එම මණ්ඩලයට අයත්ය. කුසල ශක්තිය අනුව ඔවුන්ට නාථ දේව මණ්ඩලයේ විවිධ ස්ථාන අයත් ය. ඒ අතුරින් සමහර නාථලා මිනිසුන් සමග ගනුදෙනු කරයි. ඔවුන් දේව මණ්ඩලයේ විවිධ ස්ථාන නියෝජනය කරයි. නාථ කෙනකු වූ පමණින් එසේ මිනිසුන් සමග ගනුදෙනු කරන නාථලා සියල්ල මෛත්‍රී බෝධිසත්වයන් නොවේ. උදාහරණයකින් කියන්නේ නම් මිනිසුන් අතර ජපන්නු එක් ජනකොටසකි. අන් අය අතර සිටින විට ජපනා හඳුනා ගැනීම එතරම් අපහසු නැත. එහෙත් ජපනුන් සිටින්නේ එකෙකු නොවේ. ජපනුන් බොහෝ ඇත. එක් ජපනකු දුටු පමණින් මේ එකම ජපනායැයි ගැනීම වැරදිය. සමයක් දෘෂ්ටික දෙවිවරු ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් දහමේ දැක්වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේ වැනි ලෝකය මැවූ, ඕනෑම දෙයක් කල හැකි, රුපයක් පෙන්වීමට නැති උදවිය නොවේ. එක් එක් දෙවිවරු සතු වෙන් වෙන් හැකියාවන් ඇත. සමහරු මනුෂ්‍ය ලෝකයේ ඉදිරියට වන දේ ගැන අනාවැකි කීමෙහි දක්ෂ අතර තවත් සමහරු වෙදකමට දක්ෂය. වෙදකමට දක්ෂ ඇතැමුන් ඇස් වෙදකමටත් තවත් කෙනෙක් කැඩුම් බිඳුම් වෙදකමටත්, තවත් අයකු විෂ වෙදකමටත් දක්ෂය (මේ ගැන වැඩි විස්තර උදාහරණ සහිතව ම විසින් ඉදිරියේදී එළිදක්වන කෘතියක දැක්වේ ).
කවුරුන් කැමති වුවද අකමැති වුවද පිළිගත්තද නොගත්තද දෙවියන් සහ නාගයන් ( දේවා නාගා මහිද්ධිකා) සමග ගනුදෙනුවේ අප බොහෝ දුර ගොස් ඇත. අපි ඉතා අධිෂ්ඨානශීලීව ඒ සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා ඇත්තෙමු. සිංහල සමාජය සහ එහි බුද්ධිමය ගමන් මග පිලිබඳ සියුම් ඉවක් ඇති අයකුට මේ සිදුවන වෙනස්කම් ජාතියේ ඉදිරි සියවස් කිහිපයක ගමන තීරණය කරන කරන සන්ධිස්ථානයක් බව හැගී යා යුතුය. කුන් ගේ වචනවලින් කියනවානම් paradigm එක වෙනස් වෙමින් ඇත. එසේ නොතේරෙන තව ජීවත් වීමට කල් ඇති අයට මේ සටහන් 2025-27 පමණ තෙක් සුරැකිව තබාගෙන සිදු වුයේ කුමක්දැයි මෙනෙහි කළ හැකිය.
©CJ