අපි නොදන්න රුසියාව-23

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-23

    YZMg570.jpg

    රුසියාව සෑම වසරකම ජූලි මාසයේ අවසන් ඉරිදා දිනයේදී නාවික හමුදා දිනය සමරයි.මෙවර එය පවත්වන ලද්දේ 2017 ජූලි මස 30 දාය.රුසියානු නාවික හමුදාව විකසනය වන්නේ 17 වන සියවසේ අගභාගයේදී පටන්ය.17 වන සියවසේ අග භාගයේ සහ 18 වන සියවසේ මුල් භාගයේදී සිදුවූ වූ සමාජ ආර්ථික සංවර්ධනය හමුවේ මුහුණ දෙන්නට වූ භෞමික,දේශපාලනික සහ සංස්කෘතිකමය අභියෝග ජය ගැනීම සඳහා රුසියාවට ස්ථිර නාවික හමුදාවක අවශ්‍යතාවය පැනනැගුණි.

    ක්‍රි.ව. 1695-1696 කාලයේදී යුද නෞකා සහ අනෙකුත් යාත්‍රාවලින් සමන්විත වූ ආසොව් නම් බලඇණිය හඳුන්වාදෙන ලදි.එය රුසියානු නාවික හමුදාවේ පළමු ස්ථිර නාවික ඇණිය වේ.තවද තුර්කි බලකොටුවක් වූ ආසොව් අල්ලා ගැනීමට රුසියානු හමුදාවේ සහායට පැමිණියේද මෙම නාවික බලඇණියයි.ක්‍රි.ව. 1696 ඔක්තෝම්බර් 30 වනදා පළමු පීටර් රජුගේ නියෝගයක් පරිදි රුසියාවේ ජාතික නාවික හමුදාව පිහිටුවනු ලැබේ.

    රුසියාව සිය බෝල්ටික් බල ඇණිය නිර්මාණය කිරීම අරඹන්නේ මහා උතුරුදිග යුද්ධය සිදුවූ ක්‍රි.ව. 1700-1721 යන කාල සමය තුලයි.එම බල ඇණියට අවශ්‍ය මුල්ම යුද නෞකා ඉදිකලේ ක්‍රි.ව. 1702-103 කාලයේ සියාස් සහ ස්වීර් යන ගංගාවලය.ක්‍රි.ව.1703 වර්ෂයේදී පිහිටුවූ ක්‍රෝන්ෂ්ටැඩ්ට් නාවික කඳවුර බෝල්ටික් මුහුදේ ප්‍රධානතම රුසියානු නාවික කඳවුර ලෙස තවමත් භාවිතා කරයි.

    මහා උතුරු දිග යුද්ධයේදී පැහැදිලි කල රුසියානු නාවික හමුදාවේ ප්‍රධාන අරමුණු අදටත් වලංගු වේ.ඒවා නම්,සතුරු නෞකා ඒකක සහ නෞකා ගමන් මාර්ගවලට පහර දීම,රටේ වෙරළබඩ ප්‍රදේශ උභයචර ආක්‍රමණවලින් ආරක්ෂා කිරීම,සතුරු භූමි ආක්‍රමණය කිරීමට යුද හමුදා ඒකකවලට සහාය වීම ආදියයි.මෙම අරමුණු අවි පද්ධති සහ නාවික සංග්‍රාමික සංකල්ප වෙනස් වීම ඔස්සේ අද දක්ව ක්‍රමයෙන් පරිණාමය වී තිබේ.කාලයත් සමග නාවික හමුදා ඒකකවල භූමිකාව සහ ස්ථානය වෙනස් වී ඇත.

    පළමු ලෝක යුද්ධයට පෙර රුසියාව අවට මුහුදු පාලනය කෙරුනේ යුද නෞකා යොදාගෙනය.දෙවන ලෝක යුද්ධය අතරතුර එම කාර්යය කෙටි කාලයකට නාවික ගුවන් යානාවලට පැවරිණි.යුද්ධයෙන් පසුව න්‍යෂ්ඨික අවි,බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ඨික බලයෙන් දිවෙන නෞකා පැමිණි අතර සබ්මැරීන නාවික හමුදාවේ ප්‍රධාන ශාඛාවක් බවට පත් විය.

    රුසියාව සබ්මැරීන බල ඇණියක් පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1906 දීය.ප්‍රථම නාවික හමුදා ගුවන් ඒකකය ක්‍රි.ව.1914 වර්ෂයේදී පිහිටුවන ලදි.18 වන සියවසේ මුල් භාගයේ පටන් නාවිකයන් සහ වෙරළබඩ කාලතුවක්කු වලින් සමන්විත වෙරළාරක්ෂක ඒකක පැවතුණිද ඒවාහි පාලනය නාවික හමුදා අණදෙන නිලධාරින් සතුව නොපැවතිණි.ක්‍රි.ව.1930 දශකයේ මැද භාගයේදී නාවික හමුදාවට නාවික ගුවන් ඒකකය,වෙරළාරක්ෂක සහ ගුවන් ආරක්ෂක ඒකක එකතු කරන ලදි.

    නාවික හමුදාව පිහිටුවූ වහා ඊට පැහැදිලි සංවිධානාත්මක ව්‍යුහයක් සහ කෘතයන් හිඟයක් ඇති බව පෙනිනි.ක්‍රි.ව.1717 දී පළමු පීටර් රජු නාවික හමුදාවේ පාලන ඒජන්සිය වන රුසියානු නාවුක බලාස්ථාන මණ්ඩලය පිහිටුවන ලදි.නාවුක බලසේනා අමාත්‍යාංශය ක්‍රි.ව.1802 දී ස්ථාපනය කල අතර පසුකාලීනව එය නාවික හමුදා අමාත්‍යාංශය නමින් හඳුන්වන ලදි.නමුත් ක්‍රි.ව.1917 වර්ෂයේ සිදු වූ ඔක්තෝම්බර් විප්ලවයෙන් පසුව එය අහෝසි කලේය.

    ගෝලීය ආර්ථික සහ දේශපාලනික පද්ධතියේ කොටස් වූ රුසියාවට සාගරවලට සහ විවෘත මුහුදුවලට පිවිසීමට බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.නමුත් තමන් සතු වූ මුහුද ප්‍රදේශවලට ස්ථිර නාවික හමුදා බල ඇණි පිහිටුවන්නට රුසියාව ක්‍රියා කලේය.ඒ අනුව ක්‍රි.ව.1703 මැයි 18 දා බෝල්ටික් බල ඇණියද,ක්‍රි.ව.1722 නොවැම්බර් 15දා කැස්පියන් නෞකා කණ්ඩායමද,ක්‍රි.ව.1783 මැයි 13 දා කළු මුහුදු බල ඇණියද පිහිටුවන ලදි.ආක්ටික් සහ පැසිෆික් සාගරවල නාවික හමුදා ඒකක පිහිටුවූවද ඒවා අවස්ථා කිහිපයකදී අහෝසි කරන ලදි.ස්ථිර ලෙස උතුරුදිග සහ පැසිෆික් නාවික බල ඇණි පිහිටුවන ලද්දේ පිලිවෙලින් ක්‍රි.ව. 1932 අප්‍රේල් 21 සහ ක්‍රි.ව.1933 ජූනි 1 දාය.

    රුසියානු නාවික හමුදාව එහි උච්චතම අවස්ථාවට ලගා වූයේ ක්‍රි.ව.1980 දශකයේ මැදභාගයේදීය.ඒවන විට නාවික හමුදාව බල ඇණි 4ක්,එක් නෞකා කණ්ඩායමක් ඇතුලුව කොට්ඨාශ හා බ්‍රිගේඩ් 100 වැඩි වූ යුද නෞකා,සබ්මැරීන ,නාවික ගුවන් ඒකක සහ වෙරළාරක්ෂක ඒකකවලින් සමන්විත විය.

    මේ මොහොත වන විට රුසියානු නාවික හමුදාව නෞකා බලකා,සබ්මැරීන බලකා,නාවික ගුවන් ඒකක,වෙරළාරක්ෂක බලකා සහ නාවික පාබල ඒකක වලින් සමන්විත වේ.ඊට බෝල්ටික්,කළු මුහුද,පැසිෆික් සහ උතුරුදිග බල ඇණි සහ කැස්පියන් නෞකා කණ්ඩායම ඇතුලත් වේ.

    රුසියානු නාවික හමුදා දිනය යනු එරට නාවික දේශසීමා සහ නාවික යාත්‍රා සහ ඒකකවල සේවයේ යෙදී සිටින නාවිකයින් වෙනුවෙන් වූ වෘත්තීයමය දිනයකි.ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ,නාවික හමුදා ඒජන්සි සහ ආයතනවල සේවකයෝ,දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ සෙබලුන් සහ සන්නද්ධ හමුදාවල විශ්‍රාමිකයෝද මෙම දිනය සමරනු ලැබේ.

    රුසියාව තුල මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සලකනු ලැබේ.එහි ඉතිහාසය 18 වන සියවස දක්වා දිවේ.පළමු පීටර් රජු විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.ක්‍රි.ව.1714 ජූලි 27 දා ගැන්ගුට් සටනේදී රුසියානු නාවික හමුදාව සිය පළමු ජයග්‍රහණය ලබාගන්නට සමත් විය.මෙම ජයග්‍රහණය සමරන ලද්දේ දින කිහිපයක් තිස්සේ පැවැත්වූ යාත්‍රා පෙළපාලි,ගිනිකෙළි සංදර්ශන ආදියෙනි.නමුත් පසුකාලීනව මෙම සැමරීම් පල්ලියේ යාඥාවලට සීමා වුවද 19 වන සියවසේ මැද භාගයේදී ධඡවලින් සැරසූ නෞකා සහ ගිනිකෙළි යොදාගෙන උත්සවශ්‍රියෙන් මෙම දිනය සමරන්නට පටන් ගත්තේය.

    ක්‍රි.ව.1917 වර්ෂයේදී මෙම සැමරීම් අවලංගු කරන ලදි.නමුත් 1920 වර්ෂයේදී බෝල්ටික් නාවුක බල ඇණියේ මූලස්ථානය යළිත් නාවුක හමුදා දිනය සමරන්නට පටන් ගත්තේය.ඒ සඳහා තෝරාගෙන තිබුණේ මැයි 18 දාය.ක්‍රි.ව.1703 මැයි 18 දා නේවා ගංගාවේ මුවදොර දී අත්කර ගත් කුඩා ජයග්‍රහණය සිහිවීම පිණිස මැයි 18 වෙනිදා තෝරාගෙන තිබිණි.එහිදි රුසියානු නාවිකයින් ස්වීඩන් නාවික හමුදාව සතු කුඩා බෝට්ටුවක් වන ගෙයිඩන් සහ කුඹ ගස් සහිත කුඩා නෞකාවක් වන ඇස්ට්‍රිල්ඩ් තමන්ගේ ග්‍රහණයට ගන්නට සමත් විය.මෙම සටන සිදුවූ දිනය රුසියානු බෝල්ටික් ඇණිය ස්ථාපනය කල දිනය ලෙස ගණන් ගැනේ.

    සෝවියට් දේශය පළමුවරට නාවික හමුදා දිනයක් සමරන ලද්දේ 1939 ජූලි 24 දාය.1980 ඔක්තෝම්බර් මස 1 දා නිකුත් කල නියෝගයකට අනුව නාවික හමුදා දිනය සැමරීම වාර්ෂිකව ජූලි මාසයේ අවසන් ඉරිදා දිනයේ සිදුකිරීමට නියම කෙරිණි.1941-1945 කාලයේ හැර 1939 වසරේ සිට නොනවත්වා සෑම වසරකම මෙම සැමරුම සිදුකෙරේ.නිවාඩු දිනයේදී නෞකා පෙළපාලි සහ හමුදා ක්‍රීඩා ඉසව් රුසියාවේ නාවික හමුදා කඳවුරු ආශ්‍රිතව පැවැත්වේ.මෙවර ප්‍රධාන සැමරුම් උළෙල ශාන්ත පීටර්ස්බර්ග් සහ යන ක්‍රෝන්ෂ්ටැඩ්ට් නගර ආශ්‍රිතව පැවැත්විණි.එහිදී බෝල්ටික්,උතුරුදිග,කළු මුහුදු බල ඇණිවල සහ කැස්පියන් නෞකා කණ්ඩායමේ යුද නෞකා,බෝට්ටු,සබ්මැරීන සහ ගුවන් යානා යොදාගන්නා ලදි.මෙවර සැමරුම් දිනයේ විශේෂත්වයක් වනුයේ සිරියාවේ වරාය ආශ්‍රිතව ද විශේෂ සැමරුම් උළෙලක් සංවිධානය කර තිබීමයි.මේ සම්බන්ධව වැඩි විස්තර ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.




    Source:sputniknews.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: BonziBUDDY