අමරදේවයන්ගේ අවමගුල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අමරදේවයන්ගේ අවමගුල

    15000233_10154072310642217_50114480665188446_o.jpg
    14956526_10154072311422217_42302898768650453_n.jpg
    14639711_10154072312327217_8561340517209199263_n.jpg
    15000008_10154072313167217_7022803695831384508_o.jpg


    අමරදේවයන්ගේ අවමගුල රාජ්‍ය මට්ටමමින් පැවැත්වීම ගැන විවිධාකාර මත පළ වනවා. සමහරුන් කියන්නේ මේ දුක්බර අවස්ථාවෙන් දේශපාලකයන් වාසි ගත් බවයි. එහෙත් පවුලේ අවසරයකින් තොරව එසේ කළ නොහැකියි.

    පවුලට හා සමීපතයන්ට ඕනෑ නම් රාජ්‍ය බලපෑම්වලට නතු නොවී ක්‍රියා කළ හැකියි. මේ ගැන මෙතෙක් ප්‍රසිද්ධියේ නොකී අත්දැකීමක් මා සතුයි.

    2008 මාර්තු 19 වනදා පාන්දර ආතර් සී. ක්ලාක් 90 හැවිරිදිව කොළඹදී මිය ගියා. ඔහුගේ බ්‍රිතාන්‍ය පවුලේ අය ලංකාවට ඒමට දිනක් ගත වූ අතර ලාංකික පවුලේ බහුතරයක් ඒ මොහොතේ සිටියේද ඔස්ට්‍රේලියාවේ. පවුල් දෙකේම ඒකමතික ඉල්ලීම මත අවමගුලේ මහජන සම්බන්ධතා සියල්ල තීරණය කිරීම හා හැසිරවීම ක්ලාක්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ මට භාර කෙරුණා.

    ක්ලාක් මිය යාමට මාස කිහිපයකට පෙර තම අවමගුල පැවැත්විය යුතු ආකාරය ගැන ලියවිල්ලක් මගේ උදවු ඇතිව ටයිප් කර අත්සන් කර තිබුණා. බ්‍රිතාන්‍ය හෝ ලාංකික රජයන්ගේ කිසිදු මැදිහත්වීමකින් තොරව, මුලුමනින් නිර්ආගමිකව, සැරසිලි ආටෝප කිසිවකට ඉඩ නොතබා, ඉතාම චාම්ව හා හැකි ඉක්මනින් අවමගුල පවත්වන්න යයි ඔහු උපදෙස් දුන්නා.

    මරණය ගැන පුවත පැතිර යත්ම රටේ හා ලොව නන්දෙසින් ශෝක ප්‍රකාශ ගලා ආවා. කොළඹ හතේ ක්ලාක්ගේ පුද්ගලික නිවස හා කාර්යාලය ජනයාගෙන් පිරී ගියා.

    උදෙන්ම දුවගෙන ආවේ ක්ලාක්ගේ නමින් තිබෙන, මොරටුවේ පිහිටි රාජ්‍ය ආයතනයේ සභාපති දුරය දැරූ වියපත් ඉන්ජිනේරු විද්‍යා මහාචාර්යවරයා. (1984 පිහිට වූ මේ ආයතනය මහජන මුදලින් නඩත්තු කරන, කිසිදු පලදාවක් නැති සුදු අලියෙක්. ඒ සමග ක්ලාක්ගේ සමීපත්වයක් තිබුණේ නැහැ.) අවමගුල සිය ආයතනයේ මැදිහත්වීමෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නට ඕනෑ බවත් අප එයට උදවු විය යුතු බවත් ඔහු තරයේම කියා සිටියා. ඒ අපේ ජාතික වගකීමලු! යුතුකමලු!

    අවමගුල් කටයුතු ගැන ක්ලාක්ගේ ලිඛිත උපදෙස් මා ඔහුට පෙන්වූවා. ඒත් එය පිළිගත්තේ නැහැ. ඔහු වහාම සිය ඇමති තිස්ස විතාරණට කෝල් කර ටෙලිෆෝන් එක මට දුන්නා. ඇමතියාටත් මා කිව්වේ ඒ ටිකමයි. උගත් එහෙත් බලයෙන් මත්වූ විතාරණත් මා සමග දිගටම තර්ක කළා. මාත් මගේ ස්ථාවරයේම සිටියා.

    ඊලගට එන්නේ ඊටත් ඉහලින් බලපෑමක් බව මා දැන සිටියා. එයට පෙර මාත් පොඩි උපක්‍රමශීලී වැඩක් කළා. පුවත සැළ වී නිවසට ආ දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසකට මා ක්ලාක්ගේ අවමගුල් උපදෙස් ගැන මාධ්‍ය ප්‍රකාශයක් කළා. පවුල් දෙකේම එකම අරමුණ මේ ඉල්ලීමට ගරු කිරීම බවත් කියා සිටියා.
    ටික වේලාවකින් මේ පුවත ලොව පුරා පැතිර ගියා. මටත් ඕනැ වුණේ එයයි.

    අගමැති රත්නසිරි වික්‍රමනායක පැයකට පසු කථා කළා. "මිස්ට ගුණවර්ධන කියන සහයෝගයක් අපි දෙන්නම්. ඕන දෙයක් ඉල්ලන්න," යන සුහද කථාබහින් පසු මා කීවේ නිවස පිහිටි බාන්ස් පෙදෙසේ ට්‍රැෆික් පාලනයට පොලිස් උදවු දුන්නොත් ඒ සෑහෙන බවයි. අගමැතිවරයා පැය බාගයක් තුළ එය ඉටු කර දුන්නා.

    ජනපතිවරයා නියෝජනය කරමින් ආ TRC අධිපති ප්‍රියන්ත කාරියප්පෙරුම කෙසේ හෝ මේ අවමගුලට නිල සම්බන්ධයක් ලබා දෙන්නයි යලි යලිත් ආයාචනා කළා. එය HEගේ ඉල්ලීමලු. (HE, HE, HE කියමින් රටේ නායකයාගේ නම නොකියා කීම එකල ප්‍රචලිත ක්‍රියාවක්.)

    රජයේ කැමැත්තට යම් ඉඩක් දිය හැකි ක්‍රමයක් මා කල්පනා කළා. රේඩියෝව නිපද වූ මාකෝනි මියගිය වේලේ ලොව පුරා රේඩියෝ සේවා විනාඩි දෙකක සිය විකාශ නිහඩ කර ප්‍රනාමය දැක්වූ සැටි මා කියවා තිබුණා. එය ආදර්ශයට ගනිමින් ලංකාවේ රේඩියෝ හා ටෙලිවිෂන් සේවා ක්ලාක් අවමගුල පවත්වන මාර්තු 22දා හැකි නම් මොහොතකට නිහඩ කරන්න යයි මා යෝජනා කළා.

    සමහර විට කාරියප්පෙරුම එය “HE”ට සන්නිවේදනය කළේ ඔහුගේම අදහසක් ලෙස වෙන්නැති. කමක් නෑ. වැඩේ කෙරුණා.

    2008 මාර්තු 22දා ක්ලාක්ගේ උපදෙස් පරිදි ම සම්පුර්ණයෙන් ම නිර්ආගමික හා කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොර චාම් අවමගුලක් පවත්වනු ලැබුවා. අඩ සියවසක් පුරා ඔහුව රැක බලා ගත් ඒකනායක පවුලට වෙන් වූ කොළඹ කනත්ත සුසාන භූමි කොටසේ ඔහුගේ සිරුර මිහිදන් කෙරුණා. එදින පස්වරු 3ට ශ්‍රී ලංකාවේ සියළු ම ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා සිය විකාශයන් විනාඩි 2කට නිහඬ කරමින් මේ සන්නිවේදකයාට ඔවුන්ගේ ගෞරවය පළ කළා. එකම කරුණක් ගැන එකම මොහොතේ අපේ සියලුම FM හා ටෙලිවිෂන් නාලිකා එකම ස්ථාවරයකට ආ මුල්ම හා එකම අවස්ථාව ඒ විනාඩි දෙක විය යුතුයි!

    ක්ලාක් ජීවත්ව සිටියදී ඔහුගේ සුවදුක් බලන්නට නොආ, ඔහුව හරිහැටි නොදැන සිටි උගත් මහත්තුරු ගණනාවක් කනත්තේදීත් පෙට්ටියට අත ගසන්නට පොරකනු මා පසෙක සිට උපේක්ෂා සහගතව බලා සිටියා.

    මේ කිසිවක් මා මේ මොහොතේ ආවර්ජනය කරන්නේ පම්පෝරියකට නොවෙයි. දේශපාලකයින් පමණක් නොව උගත් යයි සමාජ සම්මත සමහරුන් පවා ප්‍රසිද්ධ පුද්ගලයකුගේ මරණයෙන් ලකුණු දමා ගන්නට තැත් කරන සැටි ගැන මගේ අත්දැකීම බෙදා ගන්නයි.
     
    • Like
    Reactions: sidathsaumya