හොද වැඩ්ඩෙක් බන් රනිල් . මේක කියවපන් කෝ .
සමහරවිට ඌරොත් අඬනවා ඇති.
ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.
වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.
එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.
මම ඊරියක් සේ ඇඬුවෙමි.
මට එලෙස ඇඬුණේ
රෝහිත මුණසිංහ ලියූ "එළියකන්ද වද කඳවුර" පොත කියවද්දීය.
එළියකන්ද වද කඳවුර වනාහී 1989-90 කාලයේ මාතර ප්‍රදේශයේ තිබූ කූප්‍රකට වධකාගාරයකි. ජවිපෙ යැයි සැක කළ අය රඳවා තබාගෙන දෙතිස් වධයට ලක් කළ, මැරූ, නොමරා මැරූ හිර කඳවුරකි.
ඇමෙරිකානුවන් පවත්වාගෙන ගිය අබූග්‍රේ සහ ගන්තනමෝ වධ කඳවුරු ගැන විවිධ මාධ්‍ය ඔස්සේ අප අසා ඇති වුවද, ඊජිප්තුවේ පවත්වාගෙන ගිය වධකාගාර ගැන අප බොහෝ දෙනෙකු තවමත් නොදන්නවා විය හැක. ඒ ආකාරයටම, බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.
එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.
1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.
2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.
3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.
4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.
5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.
කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.
ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.
තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු
රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.
එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු
රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.
දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.
-කතන්දරකාරයා
ප/ලි:
නැවත කියමි. දුබල සිත් ඇත්තන්ට නොවේ!
ප/ප/ලි:
මේ වධකාගාර භූමියේ දැන් ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකි.