බුදු දහම විශ්වීය දහමකි. අදටත් බුදුරජාණන්වහන්සේගෙන් බණ ඇසූ දෙවියන්, බ්‍රහ්මයන් විශ්වයේ වසන බවට නොයෙක් ධර්මගුරුවරුන් විසින් පවසනු ලැබේ. මෑතක සිට රුසියන් හෝ ජර්මානු විද්‍යාඥයෝ පිරිසක් විශ්වයේ පැතිරී ඇති නොයෙකුත් ශබ්ද රැසක් අතරින් බුදුරජාණන්වහන්සේගේ ශබ්දය වෙන් කර නැවත ඇසීමේ ක්‍රමවේදයක් සැකසීමට උත්සුක වන බවට ප්රවෘත්ති පල විනි. බුදුරජාණන්වහන්සේගේ මිතුරකු බුදු වීමෙන් පසු බඹ ලොව සිට පැමිණ මිනිසුන්ට ධර්මය දේශනා කරන ලෙසින් ආරාධනා නොකරන්නට අද අපට මේ දහම ඇසෙන්නේ නැතැ. ඒ ආරාධනයට පෙර බුදුරජාණන්වහන්සේට තවත් ආරාධනාවක් නමුචිගෙන් ලැබිනි. එනම් පිරිනිවන් පානා ලෙස කරනු ලැබූ ඉල්ලීමයි. එම ඉල්ලීම කළ මුල් අවස්ථාවේදී සිව්වණක් පිරිස ඇති වී ධර්මය ලොව පුර මනාව පිහිටුන කල්හිදී මිස පිරිනිවනක් නොවන බවට පිළිතුරු දෙමින් එය ප්‍රතික්ෂේප කිරීමට බුදුරජාණන්වහන්සේ කටයුතු කලේ තමන් වහන්සේ ගැන සිතා නොව දුක් විඳීම සතුටක් ලෙස වරදවා වටහා ගනිමින්, අශූචි වගුරක ගිලී, සැපවත් සුවඳ වතුරින් ස්නානය කරනවායැයි වරදවා වටහාගෙන සසරට තව තවත් පියවර එක් කර ගන්නා වූ අප පිළිබඳ අනුකම්පාවෙනි. එතැන් සිට පිරිනිවනා අවස්ථාව දක්වා ලක්ෂ, කෝටි ගණනක් දෙව් මිනිසුන්ට සැපත සළස්වමින්, අමා මහ නිවනට මග හෙළි කරමින් බුදුරජාණන්වහන්සේ කළ කැපවීම කිසිවකුට වචන වලින් නම් විස්තර කර අවසන් කළ හැකි යැයි මම නම් නොසිතමි.
පිරිනිවීමෙන් පසු දැන වර්ෂ ගණනක් ගෙවී අවසන්ය. සමහරු කාල ගණන ක්‍රමය අනුව වසර 2500 ක් ගෙවී අවසන් බව කියති. සමහරු කියන්නේ බුදු දහමට තව ආයුෂ ඇත්තේ වසර 2500 ක පමණ කාලයක් බවය. නමුත් බුදු දහම අකාලිකය. සාන්දිට්ඨිකය. තමන්ම තම ණැන පමණින් දත යුතුවා මිස එක් එක් අය කියනා ආකාරයෙන් දැන ගත හැක්කක් නොවේ. නිවනට කැමැත්තෝ කල යුත්තේ දහමට අනුව විසීමයි. එසේ වසන්නට බැරි ඇත්තෝ නටන්නට බැරි අයට පොළොව ඇදයි සේ ධර්මය විකෘති කරමින් හැසිරෙති. නිවනේ නිවීමට දෙසූ මග ඒ තුළ ගමන් කරන්නාට අපහසු හෝ දුෂ්කර මගක් නොවේ. ඇරත් දුෂ්කර මග බුදුරජාණන්වහන්සේ විසින් සත්‍ය සොයා යෑමේදී පසු කර, එහි නිරර්ථක බව දැනටමත් දේශනා කර ඇත. අපි කුමට ආපසු දුෂ්කර ක්‍රියා කරන්නට ද? එසේම සැපම විඳිමින් නිවෙන්නට බැරි බව ද ඒ බුදුරජාණන්වහන්සේම දේශනා කර හමාරය. ඉතින් අපි මහ ඉහලින් සැප වින්දා කියා නිවන් දැකීමටද බැරිය. දුක් වින්දා කියා නිවන් දකින්නත් බැරිය. අපි කළ යුත්තේ බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් මග යෑමය. එකල ගැමියෝ මේ බව දැන "දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතර මග" යැයි කිව්වෝය. බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් මග වූයේ අරි අටඟි මගයි. එනම් මැදුම් පිළිවෙතයි. මැදුම් පිළිවෙත දෙසන කල්හි දෙවියන්, බ්‍රහ්මයින්ට අමතරව කොණ්ඩඤ්ඤ තවුසු ද මාර්ගය හඳුනා ගත්තේය. ඒ ඔවුන් ඒ සඳහා කැපවී තිබුණු හෙයිනි.
දුකට සියල්ලටම උරුමය. දුකට හේතුව තණ්හාවය. තණ්හාව නැති කල්හි දුක නැත. තණ්හාව ක්ෂය කිරීමට අටඟි මග යා යුතුය. අටඟි මගේ යන්නා යනු සුවෙන් සිටින්නාය. ගිහියකු ලෙසින්වූවද ගමන ඇරඹිය හැක. නමුත් ගිහියෙකු ලෙසම ගමන අවසන් කළ නොහැක. සරම, කලිසම, ගවුම, සාරිය වැනි අපි අල්ලා ගෙන ඇති ලස්සන ඇඳුම් අත්හැරීමට දිනයක් එයි. එ් වෙනුවට කසාවත අප දරයි. නමුත් එසේ වන්නේ මග යන්නාටය. මග යනවායැයි කියමින් කසාවත දරන්නෝද වෙති. ඒ කසාවතත් මේ කසාවතත් දෙකකි. ඒ බව දන්නෝ දනිති. ඒ වෙනස දන්නෝ සුවයෙන් වසති. සමහරුන්ට ඒ සුවයත් පැණයකි.
වරක වනයක භාවනා කරන්නා වූ භික්ෂුවක් අරභයමින් බුදුරජාණන්වහන්සේ දේශනා කලේ එක් ගාථාවක් වුවද මැනවින් අගයන්නාට නිවන හිමි බවයි. ඒ වෙනකක් නිසා නොවේ බුදු මුවින් පිටවූ සෑම ගයෙක්ම නිවන අරමුණු කර ඇති බැවිනි. ලෝවැඩ සඟරාවේ කවියක "තම ණැන පමණින් දත යුතු" ලෙසින් සටහන් කවිය ඔබ කියවා හෝ අසා හෝ ඇති බව නිසැකය. ඒ මේ නිසාවෙනි. දන්නා ප්‍රමාණය වැඩි වූ විටත් වැඩ අවුල්වන බව පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බැරි බවට කියවෙන පිරුළේ අරුතයි. එය සැබෑවක් බවට පත් වන්නේ අද වන විට නිවුනු තැනැත්තෝ අඩු නිසාවෙනි. සමහරු තමන් නිවුනායැයි කියමින් කරන වැඩ දෙස බලන සාමාන්‍ය ඇත්තෝ තමන්ගේ දැනුමින් එය තේරුම්ගෙන අහවලා සසුන වනසන්නේයැයි චෝදනා කරයි. චෝදනාවට ලක්වෙන තැනැත්තා ද කුමක් හෝ පිළිතුරක් ලබා දෙයි. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේව පවා පූර්ව නිදර්ශනයක් ලෙසින් දැක්වීමට කෑ ගසන සමහරු පෙළඹෙති. සමහර භික්ෂූන් වහන්සේලා විහාර දේපලට හිමිකම්කීම සඳහා පුදුම දුකක් විඳිති. නඩු හබ වලට පැටලෙති. පැවිද්දෝ එසේ වද්දී ගිහියන් ගැන කුමන කතාද?
මේ අවුරුදු සමයේ රෙදි පිළි කඩවල සිටින්නේ මහත් වූ ජනකායකි. එක් පිරිසක් මුස්ලිම් කඩ වරන්නැයි ඒ ජනතාවගෙන් ඉල්ලයි. සමහරු එබසට කන් දී එසේ කරයි. සමහරුනම් ඒවා ගණන් ගන්නේ නැත. කඩයකට ඇතුලු වීමෙන් පසු රෙදි තේරීමට ගත වන්නේ පුදුම කාලයකි. එකිනෙක හැඟරයෙන් ගලවා ඇඟට තබා හැඩ බලයි. මේ පාට, අර පාට, කර කපපු, මල් නැති, මල් ඇති, දිග, කොට ආදී නොයෙක් මෝස්තර ඇඟ තබා හැඩ බලමින් යන්තම් එකක් තෝරා ගන්නා අය වෙයි. තවත් අය පැය කීපයක් ගත කළද එකඳු ඇඳුමක් හෝ මිලට නොගනී. ඉන්ද්රියයන් පිනවීමේ තරම දැක ගැනීමට මේ හොඳ අවස්ථාවකි. මේ කඩ වල සේවය කරනා සේවකයින් සමහර පාරිභෝගිකයන් නිසා පුදුම දුකක් විඳිති. ඔවුන් හැඟරයෙන් ඇඳුම් ගෙන ඇඟට තබා බලා වටපිට බලද්දී දකින වෙනත් ඇඳුමක් ලඟට යන්නේ කලින් ගත් එකත් සමගය. එවැනි ඇඳුම් ආපසු නිසි තැන්හි නොමැතිවිට සේවකයන් ඉහල නිලධාරීන්ගෙන් බැණුම් අසයි. සාරි හැටක් පමණ පෙරලමින් බලා, කුණු ගා ගාන වැඩි කියා ගිය විට අර සේවකයා ඒවා අස්කල යුතුය. වරක බුදුරජාණන්වහන්සේ මිනිස් සිත ගැන දෙසුවේ අත්තෙන් අත්තට පනිමින් අඹ කන වඳුරෙකු උපමාවට ගනිමිනි. ඌ එක අඹයක් බාගෙට කා විසි කර තවකක් කයි. එයටද කරන්නේ එසේමය. සංයමයක් නැති හෙයින් හිත හතර අතේ දුවයි. සමහරක් ඇඳුම් තෝරන්නන්ද එසේය. මේ ගැන කිව්විට ඔවුන් කියන්නේ අවුරුද්දට එක සැරයයිනේ ලෙසිනි. ඒ ඔවුන් එය සාධාරණීකරණය කරන හැටිය. අපි කරනා කුඩා හෝ ලොකු හෝ පාපය අප පසුපස එයි. එය එක් සැරයක් කලත් එසේමැයි. දෙවරක් කලත් එසේමැයි. අකුසල් ද එසේමැයි. පසු පසම ඡායාව සේ එයි. සසර දිගු කරයි. එක දිනයක එක මිනිත්තුවක හෝ පැයක රැස් කර ගන්නා අකුසල් ගෙවීමට කල්ප ගණනක් ගත වෙයි. නමුත් ඉන්ද්රියයන් පිනවීමට ලොල් වූ විට ඒ කල්ප ගණන පෙනෙන්නේ නැත.
මේ ආකාරයට නොයෙක් හේතු කියමින් අකුසල් වඩන්නන්ගෙන් සහ පව්කරන්නන්ගෙන් ලෝකය පිරී ගොසිනි. මාතලී දිනක් රථයට නැග තම ප්‍රධානියා වූ සක් දෙව් සමග සංචාරයකට සූදානම් වද්දී, සතර දිගට වැඳ ගෞරව කරන්නා වූ සක් දෙව්ගෙන් වඳින්නේ කාටදැයි විමසීය. සක් දෙව් සිල් රකින්නන්ට වඳින්නේ යැයි ඊට පිළිවදන් දුන්නේය. අකුසල් වඩන්නන්, පව් වඩන්නන් පිරුණු කලක දෙවියන් වඳින්නේ නැත. කාට වඳින්නද? සමහරු, මහලොකුවට දෙවියන් ඉන්නවා ඉන්නවා කියනවා කෝ එකෙක්වත් එනවාදැයි අසයි. එයින්ම ඒ අසන්නන්ගේ සම්මා දෘෂ්ටිය ගැන හිතා ගත හැක. ඒ කෙසේවෙතත් පවින් පිරුණු මිනිසුන් ලඟට දෙවියන් එන්නේ නැත. කෙත්වතු පිරී යෑමට, කලට වැසි වැසීමට, දෙවියන්ගේ ආශීර්වාද ලැබීමට රජු මෙන්ම ජනයා යහපත්ව කල් ගෙවිය යුතුය. අපේ රටේ වැඩිම ආදායම සුරාවෙනි. එය කිසිදු රජයක් නවතන්නේ නැත. එසේම එය ආඩම්බර විය යුත්තක්ද නොවේ. සුරාව යනු සිල් පදයකට බැඳි දෙයකි. මුසාවද එසේමැයි. සොරකමද එසේමැයි. ප්‍රාණඝාතය ද එසේමැයි. කාමය වරදවා හැසිරීමද එසේමැයි. මේවා පිරුණු තැනකට දෙවියන් පැමිණේවියැයි කවුරුන් හෝ හිතන්නේ නම් හේ පිස්සෙකි. එවැනි තැන්වලට එන්නේ ප්‍රේතයෝය, යක්ෂයෝය, මිච්ඡා දෘෂ්ටික දෙවියන්ය. තමන්ගේ වරදට දෙවියන්ට බැන වැඩක් නැත. පන්සලට විෂ්ණු දෙවියන් වද්දා ගත්තාට පසු සක් දෙව් එහි එන්නේ නැත. සුර අසුර ගැලපීමක් නැත. මේවා පෙනෙන දේවල්ය. ඒත් දැන දැන ඇස් ඇරගෙනම ඒවා කරන්නේ අන්ධයන් මෙනි. මෙවැනි දේ කරමින් සම්මා දෘෂ්ටියෙන් ඈත් වීම පුදුම සහගතය.
පවුල් ජීවිතය ගත්ත ද අද පුදුමාකාරය. කථනයට ඇති ඉඩ අඩු වී රචනයට වැඩි ඉඩ ලැබී තිබේ. බිරිඳත් සැමියාත් දරුවනුත් වෙන වෙනම අන්තර්ජාලය කෑම මේසයේදී පවා භාවිතා කරයි.අන්තර්සබඳතා පැවැත්වීම ඉතාමත් අසතුටුදායක ය. රූපවාහිනියෙන් බලන ටෙලිනාට්‍ය එකම ආකාරයේ නිසා ඒවායින් පවුල් ආරවුල් ඇති වේ. පිරිතට යක්ෂයන් මෙල්ල වන්නා සේම පරුෂයට යක්ෂයන් ඇදී එයි. සම්ප්‍රප්ඵලාප කිවීමත් සම්ප්‍රප්ඵලාප බැලීමත් එක සමග යන ප්‍රතිඵල ඇති කරයි. වරක විකට නළුවකු බුදුරජාණන්වහන්සේගෙන් තමා මරණයෙන් පසු කොහි ඉපදේවිදැයි ඇසූ විට බුදුරජාණන්වහන්සේ පිළිවදන් දුන්නේ අපායගාමී වන බවටයි. අද ටියුෂන් පන්තිවල පවා ඉගැන්වීම් ජනප්‍රිය කරවන්නේ එදා ඒ විකටයා කල කවටකම්ම වෙනස් අයුරින් යොදා ගනිමිනි. එ් විකටයාට අත්වන ඵලයම අද විකටයන්ටත් අත්වන බව ඔවුන් නොදනී. මිනිසුන්ගේ දුබලතා ඇත්තේ හිනාවීමට නොවේ. මිනිසුන්ගේ ඇති වැරදි කිසිවිට හිනාවට හේතු නොවිය යුතුය. නමුත් ඒවායින් පාඩම් ඉගෙනගනිමින් එවැනි ක්‍රියාවන්ගෙන් වැලකීමට අපට හැක. දුබලතා ඇත්තාගේ දුබලතා නැති කිරීමටත් වැරදිකරුට නිවැරදි වීමට ඉඩ සැලැස්වීමටත් අපි කටයුතු කළ යුතුය. නමුත් වෙන්නේ එය නොවෙයි.