සතුන්ට නිදහස ඝාතකයාට නුවණ
තවත් එක් පවුකාරයකු යහමගට යොමු කිරීමේ කදිම කතා පුවතකි මේ.
“කිමෙක් ද පින්වත? ඔබ මහත් දුකින් හඬනු පෙනෙයි. දුකින් සිටීමට කරුණ කුමක් ද?” බුදු රජාණෝ එක් බමුණකුගෙන් ඇසී ය.
“ස්වාමීනි, මම දුප්පත් ගොවියෙක්; ගොවිතැන් කිරීමෙන් මගේ දරුපවුල පෝෂණය කරන්නෙමි. මගේ ගවයන් තුන්දෙනා මගේ දරුවන් සමාන ය. ඔවුහු මගේ කුඹුර සී සා දෙති; මගේ අස්වැන්න නිවෙසට ගෙනැවිත් දෙති; එපමණක් නො ව ස්වාමීනි, මගේ කෙතෙහි අස්වැන්න සරු-සාර කරගැනීමට අවශ්‍ය පොහොර ටික ලබා දෙති… තව ද ස්වාමීනි, මගේ ගවයෝ මගේ දරුවන්ට මවක් හා සමාන ය. ඔවුහු මගේ දරුවන්ට අවශ්‍ය කිරි ටික නිර්ලෝභී ව ලබා දෙති… මෙනුවර වැසි ‘උද්ගතශරීර’ නම් බමුණා මගේ ප්‍රාණය හා සමාන ගවයන් තිදෙනා බිලි පූජාවක් පිණිස රැගෙන ගියේ ය. ස්වාමීනි, ඔබ වහන්සේ මහා බලවත් තවුසකු බව පෙනෙයි. මගේ ගවයන් රැගෙන ගිය උද්ගතශරීර බමුණාට සාප කළ මැනව.”
“පින්වත් බමුණ, ඔබට අවශ්‍ය කරන්නේ උද්ගතශරීර බමුණාගේ විනාශය දැකීම ද? එසේ නැත හොත් ඔබගේ ගවයන් ලබාගැනීම ද?”
“ස්වාමීනි, මට මගේ ගවයන් තිදෙනා ලැබුණොත් එය හොඳට ම ප්‍රමාණවත්. ඔහු විනාශ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මට නැත ස්වාමීනි.”
“එසේ නම් පින්වත, මම ඔබට ගවයන් ලබා දෙන්නෙමි. මට උද්ගතශරීර බමුණාගේ යාග භූමිය පෙන්වනු මැනවි.”
බමුණා බුදු රජාණන් වහන්සේට ඒ යාග භූමිය පෙන්වූයේ ය.
“ස්වාමීනි, අර ඈතින් පෙනෙනුයේ යාග භූමිය යි… දුම් රොටු අහසට නැගෙනු පෙනෙයි. ගවයින්, බැටළුවන්, එළුවන් මර හඬ නගනු ඇසෙයි. බමුණාත් එහේ මෙහේ දුව-පනිමින් විධාන දෙන අයුරු පෙනෙයි… දැනට ම යාගය පටන් ගෙන ඇති සෙයකි. ස්වාමීනි, හැකි ඉක්මනින් වඩිමු. අර ඉන්නෙ මගේ දරුවො තුන්දෙනා, කණුවක ගැටගහලා. දකින විටත් පපුව පැළෙන්ට වගේ මහා වේදනාවක් ඇති වෙනවා. අනේ ස්වාමීනි…”
යාගභූමිය වෙත වැඩම කළ බුදු හිමියන්ගේ කරුණාබර දෙනෙත දුටු උද්ගතශරීර බමුණා තරමක පසුබෑමකට ලක් විය. ‘මුඩු මහණෙක් කුමට මේ උතුම් යාග භූමියට පැමිණෙන්නේ ද? ඔහු නිසා යාග භූමිය කිලුටට පත් වෙයි. ඔහු ආ-පයින් ම ආපසු ගියාවේ. හිඳගැනීමට අසුනක් වුව නොදෙන්නෙමි. ගරු-බුහුමන් නොකරන්නෙමි,’ යි බමුණා සිතුවත් එලෙස සිටීමට නොහැකි විය. ආසනය ගිනියම් වූ කලෙක මෙන් හෙතෙම වහා නැගී සිටියේ ය; බුදු රජාණන් වහන්සේ ඉදිරියෙහි වැටී නමස්කාර කළේ ය.
“ස්වාමීනි, ඔබ මහා බලගතු තවුසකු බව පෙනෙයි. මා සිතා සිටියේ අසුනින් නැගී නොසිටීමටත්, මාගේ සහචරයන් ලවා ඔබ වහන්සේ මෙම යාග භූමියෙන් පලවාහැරීමටත් ය. දෙවියන් ඉදිරියේ සහ කොසොල් මහ රජතුමන් ඉදිරියේ පමණක් දණ නමන මට ඔබ වහන්සේ ඉදිරියේ දණ නොනමා සිටිය නොහැකි විය… ස්වාමීනි, ඔබ වහන්සේ මට ද වඩා ශ්‍රේෂ්ඨයකු ය යි සිතමි.”
“බමුණ, සැබවින් ම ඔබ එසේ සිතන්නෙහි ද?”
“එසේ ය ස්වාමීනි, ඔබ වහන්සේ මට වඩා උසස් අයකු වශයෙන් පිළිගනිමි.”
“එසේ නම් බ්‍රාහ්මණය, මම ඔබ අමතමි… මෙම පැනයට පැහැදිලි පිළිතුරක් දෙව. තොප තොපගේ වටිනාකම කොතෙක් දැ යි සිතන්නේ ද?”
“පින්වත් ස්වාමීනි, මට මගේ වටිනාකම තක්සේරු කළ නොහැකි ය. මට බොහෝ රන් මසු ඇත; ඉඩ-කඩම් ඇත; පිරිවර සේනාවෝ ඇත; රාජ්‍ය අනුග්‍රහය ද ඇත. බොහෝ දෙන මට ප්‍රශංසා කරති.”
“එසේ නම් බ්‍රාහ්මණය, නොවළහා පවසව. මෙම යාග භූමියෙහි ගැට ගසා සිටින එළු, බැටළු, ගව, සතුන් මෙන් කොපමණ වාරයක් ඔබ වටින්නෙහි ද?”
“ස්වාමීනි… හරියට ම මෙපමණ ය යි පැවසිය නොහැකි ය. එසේ වුව ද ඊට ලක්ෂ වාරයක් පමණ මා වටිනා බව මම විශ්වාස කරමි.
“පින්වත් බමුණ, ඔබට ද වඩා මා වටිනා බව මෙයට මොහොතකට පෙර ඔබ පැවසුවෙහි ය.”
“එසේ ය ස්වාමීනි, මට වඩා ඔබ වහන්සේ බෙහෙවින් ම වටිනා බව මම එක හෙළා ම පිළිගනිමි.
“එසේ නම් බ්‍රාහ්මණය, මෙම යාග කණුවල බැඳ සිටින දහස් ගණනක් වූ සියලු සතුන් වහා නිදහස් කරව. ඔවුන් වෙනුවට මා මෙම යාග කණුවෙහි ගැට ගසා, මාගේ රුධිරයෙන් තොපගේ දෙවියන් පුදනු. දෙවියන් වඩාත් සතුටු වනු ඇත්තේ වඩා වටිනා බිලි පූජාවක් කිරීමෙන් පමණකි. මෙම අසරණ සතුන් මර බියෙන් නගන හඬ තොපට නො ඇසේ ද? සා-පිපාසාවෙන් පෙළෙන බව නො පෙනේ ද? ඔවුන් ජීවිතය ඉල්ලා හෙළන කඳුළු නො පෙනේ ද? මෙම අසරණ සත්ත්වයන්ගේ ගෙල සිඳ ගලන රුධිරයෙන් මෙම යාග භූමිය පවිත්‍ර කළ හැකි ද…? කියනු මැන බමුණ, එයින් කිසියම් ශාන්තියක් ලැබිය හැකි ද…? තොප දහස් ගණන් සත්ත්වයන් ඝාතනය කිරීමෙන් ලබන පලය කිම…? ගොවිතැනට අවශ්‍ය ගවයා දෙවියකු වැනි ය. කොයිතරම් ප්‍රයෝජනවත් සතෙක් ද? තොපගේ දරුවනට කිරි දීමෙන් පෝෂණය සලසයි; ගොවිපළට පොහොර ලබා දෙයි; තොපට ගමනාගමන පහසුකම් ලබා දෙයි. මෙවන් උතුම් සත්ත්වයන් ඝාතනය නිසා තොපත් තොපගේ සහචරයනුත් අපාගත වෙති. මෙවැනි බිලි පූජාවලින් කිසිවෙක් සෙතක් ලැබුවේ නම් එය නොවළහා පවසව.”
“ස්වාමීනි, බිලි පූජාවට මරණ සතුන් සියල්ල මරණින් මතු ස්වර්ගයට යන්නේ ය. එබැවින් එය පාප කර්මයක් වශයෙන් නොසලකමි.”
“එසේ නම් බමුණ, තොප තොපගේ අඹු-දරුවන් ස්වර්ගයට යැවීමට නොසිතන්නේ මන්ද? තොපට ඔවුන් පහසුවෙන් ස්වර්ගයට යැවීමට හැකි නො වේ ද? ඔවුන් තොපගේ යාග කණුවල ගැටගසා ගෙල සිඳ බිලි පූජා නොපවත්වන්නේ කුමන කරුණක් නිසා ද? වහා පිළිතුරු දෙනු.”
“ස්වාමීනි… පෙර විසූ රජවරු සිටුවරු බ්‍රාහ්මණවරු මෙවන් යාග පැවැත්වූ හ; එලෙස යාග පවත්වා මහත් යස ඉසුරු ලැබුවෝ ය.
“පින්වත් බ්‍රාහ්මණය, සාවධාන ව අසනු… බිලි පූජාවල අනුසස් දේශනා කරන්නේ බිලි පූජා වෘත්තියක් කරගත් බමුණෝ ම ය. ඔබ අන්ධානුකරණයෙන් ඒවා පිළිගත යුතු නැත. කිසිවකුටත් පලක් නොවන නිසරු බිලි පූජා අත්හැරිය යුතු ය. දෙවිවරු සත්ත්ව ඝාතන අනුමත නො කරති.
“ස්වාමීනි, අප විසින් කළ යුතු යහපත් පූජාවක් ඇත් ද?”
“ඇත. පින්වත් බ්‍රාහ්මණය, පළමුවෙන් ම ඔබ කළ යුතු උතුම් ම පූජාව නම් ඝාතනයට සූදානම් කර තිබෙන සියලු සත්ත්වයන් මුදා-හැරීම යි. එලෙස බිලි පූජාවන් නතර කළ හොත් ඇතැම් විට ඔබ බමුණු සමාජයෙන් නෙරපනු ඇත; හෙළා දකිනු ඇත; අවඥාවට ලක් කරනු ඇත. මිථ්‍යාවෙන් හිස පුරවාගත් අඥානයන්ගෙන් ලැබෙන කීර්ති ප්‍රසංසාවන්ගෙන් ඔබට ඇති පලය කිම…? අසරණ
සතුන්ට අභය දානය දීම නිසා යහපත් මිනිසුන්ගෙන් ඔබට ප්‍රසංසා ලැබෙනු ඇත. දෙවි-දේවතාවුන්ගේ ආශීර්වාදය ද ඔබට නොමඳ ව ලැබෙනු ඇත. මරණ බියෙන් බියපත් ව සිටි අසරණ සතුන් ජීවිත දානය ලැබ දිව යන ආකාරය දෙස බලන්න. ඔබ මහා කුසලකර්මයක් කරගන්නෙහි ය. මෙම අසරණ මිනිසාගේ ගවයෝ තිදෙන කොතරම් සතුටකින් සිටිත් ද? උහු ඔබගේ සිතට සතුටක් ගෙන නොදෙති ද? ඔබ ලබන ඔය සතුට සතකු ඝාතනය කිරීම මගින් අත්විඳිය හැකි ද?
“ස්වාමීනී, නිදහස ලබා දිව යන සතුන් මෙන් මෙතෙක් කලක් මා සිත බැඳී තිබූ මිථ්‍යා විශ්වාසයන් පහ ව ගියේ ය. අද පටන් මම සතුන්ට කරුණාව දක්වමි. යළි කිසි දිනක බිලි පූජාවකට හෝ අන් කරුණක් උදෙසා හෝ කුරා-කුහුඹුවකු වුව ඝාතනය නොකරමි… ස්වාමීනී, මම හැඳිනගත්තෙමි… ඔබ වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බව ඇඳින්නෙමි. ඔබ වහන්සේ මෙම සතුනට පමණක් නො ව, මා කෙරෙහි ද අනුකම්පාවෙන් මෙහි වැඩම කළ බව මම වටහාගතිමි. ස්වාමීනි, අද පටන් දිවි හිමියෙන් මම ඔබ වහන්සේ සරණ යන්නෙමි.”