අළුතින්ම ආ LED 3D TV !!!

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    3d_revolution.jpg


    එක්දහස් නවසිය හතළිස් නවයේදී මුලින්ම රූපවාහිනිය නම් වූ උපකරණයක් කරළියට ආවේ මුළු ලෝකයම අමන්දානන්දයට පත් කරවමිනි. ඉන් පසුව සෑම නිවහනක්ම සීඝ්‍රයෙන් ආක්‍රමනය කල මෙම රූප පෙට්ටිය අද අපට නැතුවම බැරි අංගයකි. තාක්ෂණයේ දියුණුවත් සමගම රූපවාහිනියත් දිනෙන් දින දියුණු විය. එය Tube TV, LCD TV, Plasma TV, ලෙස විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වී සපැමිණිනි. අද අළුතින්ම පැමිණ ඇත්තේ LED TV ය

    TVtypes.jpg


    3d_experience.jpg


    LED TV ගැන කතා කිරීමට කලින් LCD TV ගැන පවසා සිටීම හොඳය. අප රටේ නිවෙස් වල බහුලවම දැකගත හැක්කේ සී.ආර්.ටී (CRT-Cathode Ray Tube) ටීවීය. මෙහි තිරය ඇතුලත් ටියුබ් (tube)කොටස විශාල රික්තකයක් වන අතර මෙහි ඇති කැතෝඩ කිරණ නලය නම් වූ කොටසේ වෝල්ට් 10000 ක අති විශාල විභව අන්තරයක් ගමන් කර සෑදෙන කැතෝඩ කිරණ රූපවාහිනී තිරයේ ගැටී එහි ආලේප කර ඇති ෆොස්පර් නම් විශේෂ තීන්ත ස්තරයේ ගැටී දිලිසුම් ඇති කරයි. මෙම එක කිරණ කදම්බය විවිධාකාරයෙන් අඩු වැඩි කර එවීමෙන් චලන රූප නිපදවයි. CRT මොනිටරයේද ගැබ්ව ඇත්තේ මෙම තාක්ෂණයයි

    feat_fullhd.jpg


    එල්සීඩී ටීවී (LCD TV) සමග ආවේ නවතම තාක්ෂණයකි. මෙය සීආර්ටී ටීවී වලට වඩා ඉතාමත් තුනී වන අතර අත්පත් කරගන්නේද ඉතා අඩු ඉඩ ප්‍රමාණයකි. මෙහිදී රූප මැවීමට කැතෝඩ කිරණ භාවිතා වන්නේ නැත. තිරය ආලෝකමත් කිරිමට (Back Lightning) ප්‍රතිදීප්ත පහන් (Fluorescent Lights) භාවිතා වේ

    File1.jpeg


    තුනී තහඩු (ඉලෙක්ට්‍රෝඩ ) දෙකක් මැද සිර කල ද්‍රව ස්ඵටික (Liquid Crystals) පටලයක් පවතින අතර විවිධ අඩු වැඩි වීම් යටතේ විදුලි ධාරා යවා මෙම ද්‍රව ස්ඵටික පටලයේ හැසිරීම වෙනස් කල හැක.

    දර්ශනය වීමට අවශ්‍ය රූපරාමු වලට අනුකූලව මෙම පටලය ක්‍රියා කරන අතර එමගින් පිටුපස සිට එන ආලෝක කදම්බ ඉදිරියට යා යුතුද / නැද්ද කියා තීරණය කරයි. ඉන් පසුව හමුවන පික්සල් (Pixel) අඩංගු ලේයරය ද වැදගත් කාර්යයක් ඉටු කරයි. මෙම තනි පික්සලයක් ට්‍රාන්සිස්ටරයක් ලෙස ක්‍රියා කරන අතර ඒවා සහ එම පික්සලයේ උපකොටස් වන රතු, නිල් හා කොළ යන වර්ණයන් අඩංගු උප පික්සල ක්‍රියාත්මක වීම / නොවීම මත විවිධ වර්ණයන් අදාල ප්‍රධාන පික්සලය සඳහා ලැබෙයි. දැන් මෙවැනි පික්සල් මිලියන ගණනක් එකතු වී ක්‍රියා කරන විට නැරඹීමට අදාල දසුන තිරය ඉදිරිපිට මැවෙයි.

    structure-of-tft-lcd-display.gif


    3d_s.png


    LED TV යනු මෙම වසරේදී අළුතින්ම පැමිණි රූපවාහිනී මාදිලියයි. පිටතින් බැලූ කල LCD රූපවාහිනියට වඩා කිසිම වෙනසක් නැත්තේය. නමුත් මෙම LED TV හි සුවිශේෂී වෙනස්කම් කිහිපයක් වෙයි. LED TV හි ඇති තාක්ෂණය අළුතෙන්ම සොයාගත් එකක් නොවන බව ප්‍රථමයෙන්ම කිව යුතුය. මෙහි ගැබ්ව ඇත්තේ LCD TV හි තාක්ෂණයමය. නමුත් මෙහි තිරය ආලෝකමත් කිරීමට (Back lightning) යොදාගන්නේ ප්‍රතිදීප්ත පහන් නොව LED පහන්ය.

    LCD TV හි ප්‍රතිදීප්ත පහන් යොදා ඇති තැන් වලටම LED (LED – Light Emitting Diode) බල්බ යොදා ඇත. දැන් මෙහි සියලුම ක්‍රියාවලීන් සිදුකිරීමට ආලෝකය සපයන්නේ මෙම කුඩා LED බල්බ වේ. මෙම LED Back lightning ක්‍රමය LCD TV වල භාවිතා වන ක්‍රමයට වඩා ඉතාමත් කාර්යක්ෂමය. විදුලිය වැය වන්නේද ඉතා අඩුවෙනි. LED බල්බ වලට යන්නේද ඉතා කුඩා ඉඩක් නිසා අන් හැම රූපවාහිනී වර්ගයකටම වඩා LED ටීවී ඝනකමින් අඩුය. මෙහි රූපරාමුද LCD TV වලට වඩා ඉතා අලංකාරව දිස්වෙයි. එනිසා ඔබට මෙම LED රූපවාහිනිය මහත් ආශ්වාදයක් ගෙන දෙන බවට සැක නැත

    3d_works.jpg


    මෙම LEDරූපවාහිනී පැමිණෙන්නේ මාදිලි දෙකකිනි. ඒවා එජ් මවුන්ට්(Edge Mount) හා ඩිරෙක්ට් මවුන්ට් (Direct Mount) ය. එජ් මවුන්ට් ක්‍රමයේදි LED බල්බ පිහිටා ඇත්තේ රූපවාහිනිය හතරවටේ දාරයේය. ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයේදී LED බල්බ පිහිටා ඇත්තේ රූපවාහිනී තිරය පිටුපසිනි

    File2.jpeg


    මෙම ක්‍රම දෙකෙන් වඩා කාර්යක්ෂම වන්නේ ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයයි. මන්ද එජ් මවුන්ට් ක්‍රමයේදී මෙන් නොව ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයේදී තිරයට ලැබෙන ආලෝකය අඩු වැඩි කල හැක. නමුත් එජ් මවුන්ට් LED TV වලට වඩා ඩිරෙක්ට් මවුන්ට් LED TV ඝනකමින් වැඩිවීම මෙම ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයේ ඇති අවාසියකි.

    File3.jpeg


    කෙසේ වෙතත් මෙම LED TV අතිශයින් ජනප්‍රිය වීමට එක් කාරණයක් තිබේ. එයනම්, මේතාක් කල් දියුණු සිනමාහල් වලට පමණක් සීමා වී තිබූ ත්‍රිමාණ(3D) තාක්ෂණය මෙම LED TV සමගම වෙළඳපලට නිකුත් වීමයි. ත්‍රිමාණ තාක්ෂණයට අනුකූලව සෑදූ බ්ලූ රේ ප්ලේයරයකින් හෝ ත්‍රිමාණ රූපරාමු විකාශනය කරන නාලිකාවකින් හෝ ලැබෙන දර්ශන විශේෂ ත්‍රිමාණ කන්නාඩි පැළඳ සිටින නරඹන්නාගේ දෙනෙත් වලට විශේෂ යාන්ත්‍රනයකින් රූපරාමු යැවීම මෙහිදී සිදු වේ. රූපවාහිනියෙන් රූපරාමු වර්ග 2ක් ද්‍රැවීයකරණය කර එවන අතර පැළඳ සිටින කන්නාඩි දෙකෙන් එම ද්‍රැවීයකරණය වූ රූපරාමු වර්ග දෙක වෙන වෙනම පෙරා දෙනෙත් වෙත යොමු කරයි.

    3d_stylish.jpg


    එවිට එම රූපරාමු අප මොළයෙන් හඳුනාගෙන අදාල වස්තූන් ඇති දුර ප්‍රමාණයන් ගණනය කරයි. එවිට අප සැබෑ ජීවිතයේදී විවිධ දේ දකින ලෙසටම නළු නිළියන් අප ඉදිරියට සැබැවින්ම ඇවිත් රඟදක්වන්නා සේ අපට සියළුම දර්ශන ත්‍රිමාණව පෙනේ. මෙය මෙලෙස විස්තර කළ නොහැක. එම අත්දැකීම සැබැවින්ම විඳගන්නා තෙක් ඔබට ඉවසීමට සිදුවේ.


    සැම්සුන්ග්(Samsung) හා සෝනි (Sony) සමාගම් දැනටමත් මෙම තාක්ෂණයන් දෙකම එක් කොට තැනු LED 3D TV නිකුත් කර ඇත. සැම්සුන්ග් සමාගම තම LED TV වල තිරය ආලෝකමත් කිරීමට සුදු LED බල්බ යොදාගන්නා අතර සෝනි සමාගමේ ජනප්‍රියම රූපවාහිනී මාදිලිය වන සෝනි බ්‍රාවියා (Sony Bravia) හි LED සඳහා යොදාගන්නේ රතු, නිල් හා කොළ ආලෝකය විහිදුවන බල්බය.

    කෙසේ වෙතත් මෙම වර්ග දෙකේම වෙනසක් නැත. මේ LED TV වෙළඳපලට නිකුත් කරන්නේ තවත් විශේෂාංග රැසක්ද සමගිනි. අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව හා එහි ඇති චිත්‍රපට, සින්දු රසවිඳීමේ හැකියාවද ෆේස්බුක්(Facebook), ට්විටර්(Twitter), පිකාසා(Picasa) ,ඊ බේ(e Bay) වැනි වෙබ් අඩවි වලින් වැඩ ගැනීමේ හැකියාවද මෙයට ඇත. ස්කයිප්(Skype) හරහා නොමිලේ ඇමතුම් ගැනීමේ හැකියාවද මෙම LED TV වලට හිමිව ඇත. මීට අමතරව වයි ෆයි(Wi-Fi) මගින් නිවසේ ඇති අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ හා සම්බන්ධවී ඒවා සමග ගනුදෙනු කිරීමේ හැකියාවද නවතම LED TV වලට ඇත

    allshare_1.jpg


    ඔබේ ඩිජිටල් කැමරාව සැම්සුන්ග් LED TV එකක් අසල තැබූ විට කැමරාව හා TV එක රැහැන් රහිතව එකිනෙක සම්බන්ධ වේ. දැන් කැමරාවෙන් ගත් ඡායාරූප රූපවාහිනියේ දර්ශනය වීමට පටන්ගනී. මේවා සංස්කරණය කිරීමට මෙන්ම තවත් වැඩ බොහෝ ගණනක් කිරීමට මෙයින් ඔබට හැකියාව ලැබේ. එමෙන්ම ඔබගේ ලැප්ටොප් පරිගණකය, දුරකථනය වැනි බොහෝ උපකරණ සම්බන්ධ වී දැන් නිවසේ ජාලයක් ගොඩනැගේ. පරිගණක වල ඇති මාධ්‍ය ගොනු ඩවුන්ලෝඩ් කර වාදනය කිරීමට හාඩ් ඩිස්කයක් (Hard Disk) සැම්සුන්ග් LED TV සමගම අන්තර්ගත කර එවන නිසා මෙය එක් අතකින් පරිගණකයක්ද වේ.

    එම නිසා LED TV යනු තවත් රූපවාහිනී වර්ගයක් පමණක් නොවේ. එය නවතම රූපවාහිනී විප්ලවයයි.

    from http://devindablog.blogspot.com/2010/05/led-3d-tv.html

    Rep +++ :D:D
     
    Last edited: