“චූටි පුතා කොහේද යන්නේ“
ඉරිදා දවසක දෙනියායේ නොයා හිටපු නිසා නැන්දලගේ ගෙදර ඉඳන් එලියට බහිද්දිම නැන්දා ඇහුවා.
“ටවුන් එක පැත්තට යනවා නැන්නේ“
“හා එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..අයියලත් දෙණිපිටියේ ගියා තාම නෑනේ“
අයියයි,අක්කයි පොඩි එකයි අක්කලගේ මහ ගෙදර ගිහින්. අයියටත් නිවාඩු ලැබෙන්නේ කලාතුරකින් නිසා එහෙම කොහේවත් යන්න වෙනවා අඩුයි. ගෙදර කව්රුවත් නැතිනිසා දැනුණු කම්මැලිකමත් එක්ක ටවුන් එක පැත්තට යනවා කියලා තීරණය කරේ ඒකයි. ඒ වෙනකොටත් හවස දෙක විතර වෙලා තිබුණා.
ටවුන් එකට ඇවිත් යන්නේ කොහේද කියලා අදහසක් තිබුණෙත් නෑ. ඒත් එකපාරටම හිතුනේ පරෙවි දූව උපෝසථාගාරය පැත්තට ගියානම් හොඳයි කියලා. මම හිතන්නේ අවුරුදු දෙකකින් විතර යන්න බැරිවුණා එතනට. කොච්චර ලස්සන තැනක්ද. ඒ වගේම මම ගොඩක් ආස කරන තැනක්. හැම පැත්තෙන්ම මුහුදෙන් වටවෙලා රැල්ල ගහන සද්දෙත් එක්ක දැහැනකට සමවැදෙන්න කියාපු තැන
රණවිරු පිලිමේ ගාව හිටපු අම්මා කෙනෙක්ගෙන් නෙළුම් මල් තුනකුත් අරගෙන හෙමින් හෙමින් වැල් පාලම දිගේ උපෝසථාගාරේ දිහාවට යද්දිම හිත ගොඩක් නිස්කලංක වෙලා තිබුණා. මාතර මිනිස්සුන්ට විතරක් නෙවෙයි ලෝකේ කොහේ ඉඳන් එන ඕනම කෙනෙක්ට ඒක දැනෙන පොදු දෙයක්. වැල්පාලමේ මැදදි ටිකක් නැවතිලා අත් වැටට අත් දෙක තියාගෙන ඈතින් පේන බ්‍රවුන්ස් කඳුවැටියත්, කිලෝමීටර දෙකක් විතර දිග මාතර වෙරළ උද්‍යානයත් ඈත දෙවුන්දර තුඩුවත් දිහා හරියට පිකාසෝගේ චිත්‍රයක් දිහා බලන් ඉන්නවා වගේ පැය ගණනක් බලන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම හැන්ඳෑ වරුවට වඩාත් ලස්සනයි.
උපෝසථාගාරයට ඇතුල් වෙලා ලස්සනට හදපු වටදාගෙය සමීපයේ සමාධි බුදු පිලිමෙට මල් තියලා වැන්ඳා, පුරුදු විදියටම හිත ගියේ උපෝසථාගාරයේ පොහොය ගේ පැත්තට. මීට අවුරුදු දෙකකට කලින් ආවට වඩා ටිකක් විතර වෙනස් වෙලා. ඉස්සර ගොඩක් අය ඇවිත් මෙතන ගත කරන්නේ හිත නිසංකලංක කරගෙන යන්න. අදත් ඒ වගේම පිරිසක් සුදු ඇඳගෙන ඇවිත් තිබුණා. ඉරිදා දවසක් නිසා ටිකක් වැඩිත් එක්ක. පොහොය ගේ පිටිපස්සේ බැම්ම උඩ වාඩි වෙලා නිමක් නැති ඉන්දියානු සාගරය දිහා මම ගොඩක් වෙලා බලන් හිටියා. දවස තිස්සෙම කාර්යාලයේ ලිපිගොනු දිහා බලාගෙන සහ බස්වලා තෙරපිලා කොහේදෝ පිම්මක දුවන ජීවිතේ ටිකක් නැවතිලා විවේක ගන්නවා කියලා දැනෙන්නේ මෙහෙම තැනකට ආවම. මෙහෙම හිත නිවන තැනකට හිත විතරක් නෙවෙයි මුළු ශරීරයම නිවන්න පුළුවන්.
පහුගිය දවස් ටිකේ ජීවිතේ මොන මොන දේවල් වුනාද. සුන්දර දේවල් අසුන්දර දේවල්. ඒ හැමදේම මතක් වුනා. දෙනියායේ එන්සල් වත්තේ හරිම පාඩුවේ අහිංසක ජීවිතයක් ගතකරන පවුලේ අය, නැන්දලගේ ගෙදර අය, යාළුවෝ ටික, ජිත්මි,නෙත්මි හැමෝම කිසි ගැලපීමක් නැතුව මතක් වුණා. හිතට පුදුම සහනයක් දැනෙනකන් එතන හිටියා. හවස හතර විතර වෙනකම් කාලය නැවතිලා වගේ දැනුනා.
ආයෙත් වෙරළ උද්‍යානෙට ආවට පස්සේ තමයි පියවි ලෝකෙට ආවා වගේ දැනුනේ. ඉරිදා නිවාඩු දවසේ මාතර වෙරළ බොහොම කාර්ය බහුල වෙනවා. ෆයිනස් ගස් හෙවණ යටින් මම පදික තීරුව දිගේ අරමුණක් නැතුව බ්‍රවුන්ස් කඳුවැටිය පැත්තට ඇවිදගෙන ගියා. අන්තිමට එක පාරටම හිතුනේ මයුර එකෙන් සුප් එකක් බිව්වොත් හොඳයි නේද කියලා. මට මේ මයුර එකේ සුප් එක පුරුදු කලේ අයියා තමයි. එදා ඉඳන් මේක අතාරින්නම බෑ.
මයුර එකට ඇතුල් වෙද්දිම මට මතක් වුනේ එක සැරයක් ජේ.ආර්.පී සූරියප්පෙරුම මහත්තයා කියපු කතාවක්. එතුමා කියනවා මාතර හරහා යද්දි මයුර එකට ගොඩවෙලා මොනවාහරි සප්පායම් වෙලා ගියේ නැත්නම් එතුමට මාතර හරහා ගියා කියලාවත් දැනෙන්නේ නැති තරම්ලු. මාර කතා තමයි ඒවා. කොහොම වුනත් මයුර එකේ සෙනග අතරින් රිංගලා ගිහින් සුප් එකක් ඇණවුම් කරලා වාඩිවෙලා බලන් හිටියා.
චිකන් සුප් එක රසවිඳිනකොට පිටිපස්සෙන් බොහොම හුරුපුරුදු කටහඬක් ඇහුණා.
“මාර කේස් එක දිනූ...මම දන්නෑ මොනවා කරන්නද කියලා“
ඒ හුරුපුරුදු කටඬ කිව්වා. ඒ එක්කම ඒ දිනූ කියලා ආමන්ත්‍රණය කරපු කෙනා උත්තර දුන්නා.
“උඹ ඔච්චර හිතන්න එපා ජිත්මි...හැමදෙයක්ම හොඳින් විසඳෙන දවසක් තියනවනේ..උඹ ඒ දවස එනකන් ඉවසපන්“
දැන්නම් සැකයක් නෑ.මගේ පිටිපස්සේ මේසේ ඉන්නේ අපේ අසල්වැසි ජිත්මි කුමාරිය සහ ඒකිගේ යාළුවෙක්. මේ ඉරිදා මුන් පන්ති යනවා කියලා මේවද කරන්නේ. නෑ සමහර විට පන්ති ඇරිලා යන ගමන් වෙන්න ඇති. දැන් පහටත් ලඟයිනේ. ඒත් ජිත්මි ඉන්නේ ලොකු ප්‍රශ්නෙක වගේ. කවදාවත් ගෙදරදි මේ වගේ බිඳුණු හඬකින් එයා කතාකරනවා මට ඇහිලා නෑ. යාළුවත් කතාකරේ හිත හැදෙන්න.
“ඔව් දිනූ..මට වෙන කරන්න දෙයක් නෑ..එග්සෑම් එක ගැන විතරයි බලාපොරොත්තුවක් තියෙන්නේ..“
ජිත්මි කිව්වේ බොහොම දිග සුසුමක් හෙලලා. එහෙම කියද්දිම මට ඉබේටම පිටිපස්ස බැලුනා. ජිත්මිත් ඒ වෙලාවෙම ඔලුව උස්සලා මගේ දිහා බලුවා. එයා පුදුම වෙලා වගේ මගේ දිහා බලන් හිටියා තත්පර ගානක් පස්සේ එහෙම්ම බිම බලාගත්තා. විනාඩියකින් විතර සුප් බීලා ඉවර කරපු ජිත්මි යාළුවත් එක්ක යන්න ගියා. ටිකක් යන්න ගියාම මම ඒ පැත්ත බැලුවා. එයාලගේ නිදහසට මම බාධා කලාදෝ කියලා හිතට මහ දුකක් දැනුනා. ඒත් මම එයාලට කරදර කලේ නෑනේද කියලා හිතම සාධාරණීකරණය කලා. මම හිතන්නේ ජිත්මි බයවුණා එයා කියපු දේවල් මට ඇහුණා කියලා.
මමත් ඒ දේවල් අමතක කරන්න උත්සහ කරා. හිමින් හිමින් සුප් එක ඉවර කරලා යන්න පාරට බැස්සා.
* * * * * * * * *
රෑ වෙලා ඉස්තෝප්පුවට වෙලා අයියා එක්ක රට තොට ගැන කතා කර කර ඉඳලා සාලේ මැද්දෙන් යනකොට නැන්දයි අක්කයි මෙගා ටික පාස් කරනවා. අපරාදේ කියන්නේ නැන්දටම හරියන ලේලි. දෙන්නම නිකන් වතාවතක් කරනවා වගේ මෙගා ටෙලි නාට්‍ය ටිකනම් වරද්දන්නේ නැතුව බලනවා.
මෙගා ටෙලියක අන්තිම හරිය බලලා නැන්දයි ලේලියි මරු ප්‍රකාශ කරනවා.
“ඒක එහෙම වෙච්ච එක හොඳයි නේද දුවේ?“
“ඔව් නැන්දේ නැත්නම් අර කොල්ලට යන කලදසාවක් තියෙයිද“
“ඒකනේ..අර අම්මණ්ඩිත් වලියටමනේ ආවේ“
“කොහොමෙන් කොහෙමහරි සේරම හොඳින් උනා“
හරියට ගෙදර දෙයක් ගැන කතාවෙනවා වගේ තමයි. මේ විකාර බලාගෙන ඉන්න එකත් හරි සොමි වැඩක්. මම කාමරේට ආවේ ෆෝන් එක රින්ග් වෙන සද්දේ ඇහිලා. අතට අරන් බලද්දි සමීර...මේ යකා මොකද මේ රෑ..
“හෙලෝ“
“හෙලෝ මචං දිස්නක..හරි හුට්ටප්පරයයි බන්“
“ඇයි මොකද?“
“අර උඹලගේ අල්ලපු ගෙදර සුර දූතිකාව නෙත්මි...අද බැන්නනේ බන් මට පලු යන්න“
“නෑ“
“නෑ නෙවෙයි බං...මම අද දවල් රාහුල හංදියට ගියා ගජනායක එකට..එනකොට හෝල්ට් එකේදී මේකිට අහුවුණානේ..මාව දැක්කගමන් ඇවිත් බැණගෙන බැණගෙන ගියා බන්..ලස්සනම වැඩේ කියන්නේ මට වචනයක්වත් කියන්න දුන්නේ නෑ..ලෙසටම බැන්නා එදා ඇස් ගහපු එකට“
“හොඳ වැඩේ තොට...ඕකටනේ දැඟලුවේ“
“මම ඉතිහාසෙට එහෙම කෙල්ලෙක්ගෙන් බැණුම් අහලා නෑ බං දිස්නකයෝ...වහ කාලා ගඟේ පැනලා පීනලා කෝච්චියට බෙල්ල තියන්න හිතයි බං...“
“ගුටි නොකා බේරුනා ඇති උඹ“
“යකෝ බැනුම් ඇහුවා හරි ගුටි කෑවා හරි හිත හදාගන්න තිබ්බා...ඊට පස්සේ කියපු ඒවටනේ යකෝ බඩ බොක්ක දන්නේ“
“ඇයි මොනවද කිව්වේ“
“ඒකි කියපු...මට කණ පැලෙන්න එකක් නොදෙන්නේ අල්ලපු ගෙදර දිස්නක අයියගේ යාළුවෙක් නිසාලු..ඒ මනුස්සයට සලකලලු මට නොගහන්නේ..මම නිසා ඒ මනුස්සයටත් බනින්න උනාලු ඒකිට...යකෝ ඒ ටික කිව්වට වඩා හොඳයි කණ පැලුවනම්“
“අන්න දැක්කනේ මස්සිනා..අපි යන තැන බබලවන කොල්ලෝ...තොපි අද ගුටි නොකා ඉන්නේ මම නිසා...දැක්කනේ“
මම ආඩම්බරෙන් එහෙම කියද්දි සමීරයා නිකං ඒක පිලිගත්තා වගේ චර බර ගෑවා.
“කොච්චර වුණත් ඒකි බනිනකොට හරි ලස්සනයි බන්...හරියට නිකං...උදාහරණයක් එන්නෙත් නෑ බං..මාර ලස්සනයි බං..බලං ඉන්න ආසයි...“
“නොදකිං අලුගුත්තේරුවා“
“නෑ බං...මට ඒකිගෙන් ජීවිත කාලෙම බැනුම් අහන්න ආසයි බන්“