ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩමු (මහා චත්තාරීසක සූත්‍රය ඇසුරෙන්)

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කුසල් දහම් දියුණු කරගැනීමට කැමති පුද්ගලයින් ඉතා දුර්ලභයි. ඉතින් නිවන් මාර්ගය වඩන්න ඔබටත් සිතක් පහළ වෙලා තියෙනවා නම් උතුම් සත්පුරුෂයන් ඇසුරු කිරීමත්, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම (ඉගෙන ගැනීම)ත්, අවබෝධය ඇතිවන පිළිවෙලට එම ධර්මය නුවණින් විමසීමත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදීමත් තමයි කරන්න ඕනෙ.

    කල්ප ගණනකට පසුව බුදුරජාණන් වහන්සේ වහන්සේ නමක් ලොව පහළ වෙලා, සැඟවී තිබුණ සත්‍යය ඉස්මතු කරලා පෙන්වුවා. ඒ සත්‍යය තමයි චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යයෙහි දුකින් නිදහස් වීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කළ ආකාරයට දුක අවබෝධ කිරීමත්, දුකෙහි හට ගැනීම ප්‍රහාණය කිරීමත්, දුක්ඛ නිරෝධය (හෙවත් නිවන) සාක්ෂාත් කිරීමත්, දුක නිරුද්ධ කරන මාර්ගය (හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය) ප්‍රගුණ කිරීමත් තමයි කළ යුත්තේ.

    මේ ධර්මය නමැති සාගරයේ සෑම තැනක්ම එකම රසයකින් යුක්තයි. ඒ රසය තමයි ධර්ම රසය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නෙ සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වලින් එකක්. (සත් තිස් බෝධි පාක්ෂික ධර්ම කියන්නෙ සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් පධාන වීර්යය, පංච ඉන්ද්‍රිය-ධර්ම, පංච බල-ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන අංග තිස් හතට). මේ කරුණු තිස් හත ඉගෙන ගන්න කොට හොඳින් තේරුම් යන දෙයක් තමයි මේවා එකකට එකක් සම්බන්ධයි කියන එක. මේ සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් එකින් එක විස්තර වශයෙන් අධ්‍යයන කරන කොට ඔබට මේ ධර්ම රසය ඉතාම හොඳින් දැනෙයි.

    අප මෙහිදී අධ්‍යනය කරන්නෙ බුදුරජාණන් වහන්සේ විසින් මහා චත්තාරීසක සූත්‍රයේදී ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව දේශනා කරපු ධර්ම කරුණු ගැන. මහා චත්තාරීසක සූත්‍රය දීර්ඝ දේශනාවක් නිසා එහි ඇති දහම් කරුණු කොටස් වශයෙන් කියවීමට ලැබීම ඔබට මෙය තේරුම් ගැනීමට පහසුවක් වනු ඇත. තවද මෙම සදහම් ලිපි මාලාවේ අඩංගු වන්නේ බුද්ධ දේශනාවෙන්ම උපුටා ගත් කොටස්ය.


    1. සම්මා දිට්ඨිය
    https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
    මිත්‍යා දෘෂ්ඨිය යනු කුමක්ද, සම්මා දිට්ඨිය (ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය) යනු කුමක්ද යන කරුණු ගැන දැනගැනීමටත්, තමන් තුළ සම්මා දිට්ඨිය තිබෙනවාද නැතිද යන බව දැනගැනීමටත් මේ කරුණු උපකාරී කරගත් හැකියි. ඒ වගේම තමන් තුළ සම්මා දිට්ඨිය ඇති කරගැනීමට මෙය බොහෝ උපකාරී වේ.
    වැදගත් - මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකම දේශනය මෙය නොවේ. උදාහරණයක් ලෙස ගතහොත් සම්මා දිට්ඨිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම වලින් දේශනා කර තිබෙනවා. “කුසල්, අකුසල්, කුසල මූලයන්, අකුසල මූලයන් පිළිබඳ අවබෝධය”ද සම්මා දිට්ඨිය වේ. “චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය”ද සම්මා දිට්ඨිය වේ. “පටිච්ච සමුප්පාදයේ අංග, ඒවායේ හටගැනීම, ඒවායේ නිරෝධය, සහ ඒවා නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳ අවබෝධය”ද සම්මා දිට්ඨිය වේ. “පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව අවබෝධයෙන් දැකීම”ද සම්මා දිට්ඨිය වේ. මෙලෙස විවිධ ආකාර වලින් පැහැදිලි කරන්නේ එකම සම්මා දිට්ඨිය වන නමුත්, ඒ ඒ කරුණ ඒ ඒ දේශනාව සමගම තේරුම් ගැනීමට අප උත්සහ කළ යුතු වන්නේ එම කරුණු ඒ ඒ දේශනාවේ අඩංගු අනෙකුත් කරුණු වලට ගැළපෙන පරිදි දේශනා කර ඇති නිසාය.


    1(ii). ආර්ය අෂ්ඨාංගික මාර්ගය සඳහා සම්මා දිට්ඨිය
    https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේදී සම්මා දිට්ඨිය අත්‍යවශ්‍යම අංගය වන බව, මාර්ග අංග වැඩීම සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.


    2. සම්මා සංකප්ප
    https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006030/
    මිත්‍යා සංකප්ප යනු කුමක්ද, සම්මා සංකප්ප (ලෞකික සම්මා සංකප්ප, ලෝකෝත්තර සම්මා සංකප්ප) යනු කුමක්ද යන කරුණු තේරුම් ගෙන තමා තුළ සම්මා සංකල්පය ඇති කරගැනීමට මෙම කරුණු වැදගත් වේ.

    3. සම්මා වාචා
    https://elakiri.com/threads/සම්මා-වාචා-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006220/
    මිත්‍යා වාචා සහ සම්මා වාචා (ලෞකික සම්මා වාචා, ලෝකෝත්තර සම්මා වාචා) යනු කුමක්ද යන්න තේරුම් ගෙන ඒ අනුව තමාගේ වචනය සංවර කරගැනීමටත්, ඒ හරහා නිවන් මාර්ගය වැඩීමටත් මෙම කරුණු වැදගත් වේ.

    4. සම්මා කම්මන්ත
    https://elakiri.com/threads/සම්මා-කම්මන්ත-යනු-කුමක්ද-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006370/
    මිත්‍යා කම්මන්තයෙන් වෙන් වී සම්මා කම්මාන්තය (ලෞකික සම්මා කම්මන්ත, ලෝකෝත්තර සම්මා කම්මන්ත) අනුගමනය කරමින් නිවන් මාර්ගය වැඩීමට මෙම කරුණු උපකාරී වේ.

    5. සම්මා ආජීව
    https://elakiri.com/threads/සම්මා-ආජීවයට-අනුව-ජීවත්-වීම-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006530/
    මිත්‍යා ආජීවය හා සම්මා ආජීවය (ලෞකික සම්මා ආජීව, ලෝකෝත්තර සම්මා ආජීව) පැහැදිලිව හඳුනාගෙන සම්මා ආජීවයට අනුව දිවිපැවැත්ම සකස් කරගැනීමටත් එමගින් නිවන් මාර්ගය වැඩීමටත් මෙම කරුණු උපකාරී වේ.

    6. සම්මා වායාම
    7. සම්මා සති

    සම්මා වායාමය සතර සම්‍යක් පධාන වීර්යය ලෙසත්, සම්මා සතිය සතර සතිපට්ඨානය ලෙසත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවස්ථා ඔබ ශ්‍රවණය කර තිබෙනවා ඇති. අප මෙහිදී ඉගෙන ගන්නා මහා චත්තාරීසක සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ එම කරුණුම තවත් පැත්තකින් විග්‍රහ කොට දක්වා ඇත. උදාහරණයක් ලෙස ගතහොත් සම්මා සංකල්පයේදී.... මිත්‍යා සංකල්පය ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා සංකල්පය උපදවා ගැනීම පිණිසත් කරන උත්සාහය සම්මා වායාමයි. සිහියෙන් යුක්තව මිත්‍යා සංකල්පය අත්හැර, සිහියෙන් යුක්තව සම්මා සංකල්පය උපදවාගැනීමේදී එම සිහිය සම්මා සතියයි.

    8. සම්මා සමාධි

    ~ කතමෝ ච භික්ඛවේ, අරියෝ සම්මාසමාධි සඋපනිසෝ සපරික්ඛාරෝ, සෙය්‍යථීදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති. යා ඛෝ භික්ඛවේ, ඉමේහි සත්තහංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා. අයං වුච්චති භික්ඛවේ, අරියෝ සම්මාසමාධි සඋපනිසෝ ඉතිපි, සපරික්ඛාරෝ ඉතිපි. ~

    “පින්වත් මහණෙනි, හේතු සම්පත් සහිත වූ, උපකාරක ධර්ම සහිත වූ, ආර්ය වූ සම්මා සමාධිය යනු කුමක්ද? එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියා දෙයක් තිබෙනවා. පින්වත් මහණෙනි, ඒ මේ අංග හතෙන් යුතු වූ යම් සිතක එකඟබවක් ඇද්ද, ඔය අංගයන්ගේ ඒකාරාශී වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, ආර්ය වූ සම්මා සමාධිය කියල කියන්නේ එයටයි. හේතු සම්පත් සහිතයි කියන්නෙත් එයටම යි. උපකාරක ධර්ම සහිතයි කියන්නෙත් එයටම යි.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    * මෙලෙස කුසල පාර්ශවයේ කරුණු විස්සක් හා අකුසල පාර්ශවයේ කරුණු විස්සකින් සමන්විත සතලිස් ආකාර වූ විස්ථරාර්ථ දේශනය බැවින් "මහා චත්තාරීසක සූත්‍රය" ලෙස හැඳින්වේ.
    සම්මා දිට්ඨියෙන් යුක්ත වීමමිත්‍යා දෘෂ්ඨිය නැති වීමමිත්‍යා දෘෂ්ඨිය නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා දිට්ඨිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා සංකප්පයෙන් යුක්ත වීමමිත්‍යා සංකල්පය නැති වීමමිත්‍යා සංකල්ප නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා සංකල්ප හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා වාචාවෙන් යුක්ත වීමමිත්‍යා වාචා නැති වීමමිත්‍යා වාචා නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා වාචා හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා කම්මන්තයෙන් යුක්ත වීමමිත්‍යා කම්මන්ත නැති වීමමිත්‍යා කම්මන්ත නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා කම්මන්ත හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා ආජීවයෙන් යුක්ත වීමමිත්‍යා ආජීව නැති වීමමිත්‍යා ආජීව නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා ආජීව හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා වායාමයෙන් යුක්ත වීමමිත්‍යා වායාම නැති වීමමිත්‍යා වායාම නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා වායාම හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා සතියෙන් යුක්ත වීමමිත්‍යා සතිය නැති වීමමිත්‍යා සතිය නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා සතිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා සමාධියෙන් යුක්ත වීමමිත්‍යා සමාධිය නැති වීමමිත්‍යා සමාධිය නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා සමාධිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා ඤාණයෙන් යුක්ත වීමමිත්‍යා ඤාණය නැති වීමමිත්‍යා ඤාණය නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා ඤාණය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම
    සම්මා විමුක්තියෙන් යුක්ත වීමමිත්‍යා විමුක්තිය නැති වීමමිත්‍යා විමුක්තිය නිසා හටගත් පාපී අකුසල ධර්මයන් විනාශ වීමසම්මා විමුක්තිය හේතුවෙන් අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම් වශයෙන් පරිපූර්ණ බවට පත් වීම

    ඔබ සැමට උතුම් ධර්මාවබෝධය පිණිස මෙය උපකාර වේවා!
    සාධු! සාධු!! සාධු!!
    තෙරුවන් සරණයි!!!

    මූලාශ්‍ර:
    https://mahamevnawa.lk/sutta/mn3_3-2-7/
    https://tipitaka.lk/mn-3-2-7