ඇදහිල්ල, විශ්වාසය,.....!

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඇදහිල්ල, විශ්වාසය,.....!

    10433998_730356823698309_4044337872535205388_n.jpg


    ඇදහිලි, විශ්වාස, පුද සිරිත් බුදු දහමේ අර්ථය සමඟ ගැළපෙන්නෙ නැහැ. බුදුරදුන්, ඇදහිල්ල, විශ්වාසය, භක්තිය පිටු දකිමින් ශ්‍රද්ධාව අගය කළා. නිවන් මගේ පිවිසුම ශ්‍රද්ධාවයි. බුදුබණ අසා සැදැහැ උපදවන්නා ශීල සමාධ්‍යාදී පිළිවෙත් මාර්ගයට පිවිසෙන හැටි පෙළ දහමෙහි සඳහන් වෙනවා.

    “සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලහති”

    ශ්‍රද්ධාව වපුරන්නාට බීජය මෙන් බුදුරදුන් වදාළ මඟ යන්නාට ඵලදායක වෙනවා. ශ්‍රද්ධාව, ප්‍රඥාව සමඟ සමගාමී විය යුත්තකි. කේවල ශ්‍රද්ධාව, හුදු පැහැදීම බුදුදහම හඳුන්වන්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. බුදුදහම අගය කරන්නේ, අමූලිකා ශ්‍රද්ධාව ඉක්මවා විචාර පූර්වකව, කරුණු සහිතව ප්‍රඥා මූලිකව උපදවා ගන්නා ශ්‍රද්ධාවයි. එය ආකාරවතී ශ්‍රද්ධාවයි.

    බොහෝ ආගම්වල පදනම භක්තිය බව ආචාර්ය වල්පොල රාහුල හිමියන් පවසනවා. බුද්ධ ධර්මයේ මුල්තැන ලැබෙන්නේ දැකීමට, දැනගැනීමට මිස භක්තියට හෝ විශ්වාසයට නොවේ.

    “පූජාච පූජනීයානං” යනුවෙන් මහාමංගල සූත්‍රයේ පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් බව දක්වනවා. “සංඝෙ ගොතමී දෙහි, සංඝෙ නෙ දින්නෙ අහංච පූජිතෙ භවිස්සාමි” මහප්‍රජාපතී ගෝතමිය විසින් බුදුරදුන්ට පිදීමට ගෙනෙන ලද සඟළ සිවුර පිළිනොගත් බුදුරදුන් “ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් විට මටද පූජා කළා වේ” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළ සේක.

    පිරිනිවනට ආසන්න සමයෙහි ආනන්ද හිමියන් අමතා පිරිනිවීමෙන් පසු තථාගත ශරීරය අරබයා ක්‍රියා කළයුතු අයුරු සඳහන් කළා. එය මහා පරිනිර්වාණසූත්‍රයේ සඳහන් වන්නේ, “අඛ්‍යාවටා දම්හෙ ආනන්ද හොථ තථාගතස්ස සරීර පූජාය....”

    ආනන්දය, ඔබලා තථාගත ශරීරයට පූජා පැවැත්වීම නොකළ යුතු ය. නුවණැති බමුණු ගැහැවියන් ඔවුන් තථාගත ශරීරයට පූජා පවත්වනවා. “පූජාරහෙ පූජයතො බුද්ධෙ යදිච සාවකෙ” යනුවෙන් සියලු පූජාවන්ට සුදුසු වන ශෝක වැළපීම් නැතිකළ බුදුරදුන්ට හා ශ්‍රාවකයන්ට යමෙක් පූජා පවත්වයිද කෙලෙස් ගිනි නිවූ කිසිදු බියක් නැති එබඳු උතුමන්ට පූජා කරන්නාට ලැබෙන පින මෙපමණයැයි කිව නොහැකි බව බුද්ධ වචනයෙන්ම සඳහන් කරනවා. නමුත් මිථ්‍යාමතයන්හි සිටිමින් වර්තමානයේ කරනු ලබන පුද පූජාවන් නියමාකාර පූජා බව පැවැසිය නොහැකි ය.

    බුදුදහමේ මූලික අරමුණ අනුවත් ඒ තුළ ඉගැන්වෙන විමුක්තිගාමී ප්‍රතිපදාව අනුවත්, බෞද්ධ චින්තන ක්‍රමයේ ස්වභාවය අනුවත් කිව හැක්කේ විවිධ විචිත්‍ර සංකීර්ණ අභිචාරවිධි, සංස්කාර සහිත වූ පුද පූජාවන් බුදුසමයට අභිමත නොවන බවයි.

    ශාරීරික, පාරිභෝගික, උද්දේසික යැයි චෛත්‍ය ත්‍රිවිධාකාර වන බව පෙළදහමෙහි සඳහන් නොවුණත් පාලි අටුවා තුළ සඳහන් වෙනවා. අටුවාවේ සඳහන් කර ඇත්තේ එකී ත්‍රිවිධ චෛත්‍යය ගැන බුදුරදුන් විසින්ම වදාරන ලද බවයි. පූජාච පූජනීයානං යන්නට අර්ථකථන සපයන අටුවාචාරීන් එහි පූජනීය පුද්ගලයෝ නම් සියලු දොසින් විරහිත වූ සියලු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලා බව දක්වනවා. උන්වහන්සේලා උදෙසා අල්ප වූ පූජාවක් සිදු කළ ද එය බොහෝ කලක් හිත සුව පිණිස පවතින බවත් එහිම සඳහන් කර තිබෙනවා. නිදසුන් කොට දක්වන්නේ ධම්ම පදට්ඨ කථාවෙහි දැක්වෙන සුමන මාලාකාර වස්තුවයි.

    “ඒවං අප්පකාපිතෙසං පූජා දීඝරත්තං - හිතාය සුඛාය හොතිනි වේදිතබ්බො
    සාච ආමිස පූජා - කොපනවාදො පටිපත්ති පූජාය”

    එකී සුත්ත නිපාත අටුවාවට අනුව සුමන මල්කරු බුදුරදුන් පුදා ඇත්තේ ප්‍රතිපත්තියෙන් නොව සුවඳ මලිනි. සුමන මල්කරු එකී පූජාවේ ආනුභාවයෙන් සිය දහස් ගණන් කල්පයන්හි දෙව්ලෝ මිනිස් ලෝ සැරිසරා කෙළවර මුනිස්සර නම් වූ පසේ බුදු වන බව ගෞතම බුදුරදුන් වදාළ බව අටුවාව කියනවා. මේ ආමිස පූජාවයි.

    එය එසේ නම් ප්‍රතිපත්ති පූජාව කවරේදැයි අටුවාවේ ප්‍රශ්න කරනවා. සැබවින්ම එය උතුම් පූජාව යැයි අටුවාව සඳහන් කරන නමුත් ආමිස පූජාව බැහැර කොට නැති බවත් සැලකිය යුතු වෙනවා. එම පූජාවෙහි අනුසස් ඉහළින්ම වර්ණනා කර තිබෙනවා. අරියපරියේසන සූත්‍රයෙහි සඳහන් ආලාරකාලාමාදීන් විසින් බෝසතුන් උදාර වූ පූජාවකින් පුදනු ලැබීම අටුවාව අර්ථකතනය කරනවා. එකී තවුසන්ගේ උපස්ථායක වූ ස්ත්‍රී පුරුෂයන් විසින් ගෙන එන ලද ගන්ධමාලාදිය “යව මහා පුරුෂයන් වෙත පූජා කරවයි’ යි බෝසතුන් වෙතම යැවූ බව කියනවා. එහිදී මහා අනර්ඝ වූ ඇඳ පුටු ආදිය පවා පූජා කරන ලද බව සඳහන් වෙනවා.”

    “සංසෙතෙ දින්නෙ අහංච පූජිතො භවිස්සාමි” යන දේශනා පාඨයට අර්ථකථන සපයන අටුවාව දානය හා පූජාව අතර වෙනසක් නොදකියි. එහිදීම පූජාර්ථයෙන් සලාකාගෙන තිබේ. “පූජාරහෙ පූජයතො” යන්නට අර්ථකථන සපයන අටුවාව වැදීම් ආදියෙන් ද සිව්පසයෙන්ද බුද්ධාදීන් පිදීම එයින් අදහස් කරයි. එහිදී විමානවත්‍ථුවද උපුටා දක්වන අටුවාව ඒ බුද්ධාදීන් වැඩ සිටියද, පිරිනිවන් පෑවද සම සිතින් පුදන්නාට සමඵල ලැබේ යැයි’ ද, චිත්ත ප්‍රසාදයම හේතු කොටගෙන සත්වයන් සුගතියට යන්නේ යැයි’ ද පවසයි. මේ අනුව අටුවාකරණයේ දී පූජා යන්න ආමිස පූජාව යැයි අරුත්ගන්වා ඇති බවත් ප්‍රතිපත්ති පූජාවට ද නිසි ගෞරවය දෙමින් ආමිස පූජාව වර්ණනා කරන ලද බවත් පැහැදිලිය.

    තෙරුවන් සරණයි!

    මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!


    path to nirvana(f.b)
     
    • Like
    Reactions: asylum