මහණෙනි, ඉහත කී ගුණයන්ගෙන් සමන්විත මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? යි ඇසූ උන්වහන්සේ තමන්ම එය පහදා දෙමින් මෙසේ වදාළහ. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අට තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදැයි වදාළහ. ඉක්බිති උන්වහන්සේ චතුරාර්ය සත්‍යයට අයත් ධර්ම හතර විස්තර කරමින් “ඉදං ඛො පනභික්ඛවෙ දුක්ඛං අරිය සච්චං” සවිස්තර කරමින් මහණෙනි, ජාතිය (උපත) දුකයි. ජරාව (දිරීම) දුකයි. ව්‍යාධිය (රෝගීවීම) දුකයි. මරණය දුකයි. අප්පිය සම්පයෝගය (අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම) දුකයි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන්ව විසීම දුකයි. කැමැති දෑ නොලැබීම දුකයි.
මේ සියල්ල ගොනුකොට සලකනවිට පඤ්චුපාදනක්ඛන්ධයම (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන උපාදාන පසේම ඇතිවීම) දුකයි. ඉක්බිති බුදුන් වහන්සේ විස්තර කරනව දුක්ඛාර්ය සත්‍යය හෙවත් මාර්ග ඵලාබෝධයෙන් වටහා ගතයුතු ජාත්‍යාදී දුක්ඛාර්ය සත්‍යය ඉහත සඳහන් පරිදි දේශනා කළා. දෙවනුව දුක්ඛ සමුදය හෙවත් දුක් උපවන ආර්ය සත්‍යය දේශනා කළා. එනම් පෙර භවය හා මේ භවය සම්බන්ධ කරන නැතහොත් මේ භවයෙහි උපතාදී දුක් හට ගැනීමට හේතුවන තෘෂ්ණාව පිළිබඳව දේශනා කරමින් එය කාම, භව, විභව යනුවෙන් පුනර්භවය ඇති කරන, නන්දි නම් සත්වයා සසර බැඳ තබන රාගයෙන් (ඇලීමෙන්) යුක්ත, උපන් උපන් භවයට ආශාවෙන් සතුටු වන කාම තණ්හා (රූපාදී පඤ්චස්කන්ධය පිළිබඳ ආශාව) භව තණ්හා (සත්වයා සදාකාලිකයයි පිළිගෙන භවයට ඇති ආශාව විභව තණ්හා (සත්වයා මරණින් මතු යළි නූපදින්නේ යයි යන දෘෂ්ටිය) යන මේ ත්‍රිවිධ තෘෂ්ණාව විස්තර කළා. අනතුරුව දුක්ඛ නිරෝධ සත්‍යය විස්තර කරමින් වදාරනව ඉහත කී ත්‍රිවිධ තෘෂ්ණාව මුළුමනින් නැසීම, මුළුමනින් අත්හැර දැමීම, මුළුමනින් දුරු කිරීම, මුළුමනින් එයින් මිදීම මුළුමනින් ඒ පිළිබඳ ඇලීම දුරු කිරීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. දුක්ඛ නිරෝධය නම් කෙලෙස් සහිත පඤ්චස්කන්ධයාගේ චුතිය, ප්රතිසන්ධිය, නැතිවීමට දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය ප්රත්යක්ෂ කිරීමට හේතුවෙනව. එවිට පඤ්චස්කන්ධය නමැති දුක්ගොඩ යළි ඇතිවන්නේ නැත. අනතුරුව දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය බව. දුක්ඛ නිරෝධ නම් පුද්ගලයා නම් නිවන කරා පමුණුවන හා ඒ සඳහා අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය හෙයින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යයි මෙය හඳුන්වනව.
නිවන් අරමුණු කොට උපදින සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර කුසල් සිත් සතර සමග යෙදෙන ප්‍රඥා, විතර්ක, විරති, වීර්ය, ස්මෘති, ඒකග්‍රතා යන චෛතසික හයයි. ආර්යෂ්ටාංගික මාර්ගය නම්, මෙහි විරති චෛතසික සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් ත්‍රිවිධයි.
ප්‍රඥා, විතර්ක, වීර්ය, ස්මෘති, එකග්‍රතා යන චෛතසික අට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් වේ. මෙහි දැක් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨියයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන විරතියයි. සම්මා වායාමය වීර්යයයි. ස්මෘතිය සම්මා සතියයි. එකග්ගතාව සම්මා සමාධියයි. මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, තුන සීලයයි. සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධියයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප යන දෙක ප්රඥාවයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවට අයත් වේ. නිවන අවබෝධ කරගැනීමට භාවනා කරන්නා පළමුවෙන් ශීලයෙහි පිහිටා දෙවනුව සමාධිය වඩා අවසානයෙහි විදර්ශනා වඩා ප්‍රඥාව ලැබිය යුතු යි. අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනව මෙසේ දුක්ඛාර්ය සත්‍යය දුක්ඛ සමුදයාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍ය යන සත්‍ය සතර මා පෙර නෑසු ධර්මයකි. ඒ පිළිබඳ නුවණැස පහළ වුණ, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණි. මහණෙනි, මේවායින් දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යයි පළමු නුවණ මට පහළ වුණ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍ය ප්‍රහාන කළ යුතුය යන නුවණ පහළ වූණා. අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නුවණින් ප්රත්යක්ෂ කළ යුතුය යන නුවණ පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය. ප්‍රගුණ කළයුතුය. යන නුවණ පහළ වුණා. අනතුරුව මේ සත්‍ය හතරම වඩන ලදැයි යන නුවණ පහළ වුණා. මෙසේ සත්‍යඥාන, නත්ය ඥාන, කෘත ඥාන යන ත්‍රිවිධාකාරයෙන් මේවා පිළිබඳ නුවණ පහළ වුණා. මහණෙනි, චතුරාර්ය සත්‍යය වඩා නිවන් අවබෝධවන තුරු මරුන්, බඹුන්, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි පිළින නොකෙළෙමි. ප්‍රකාශ නොකළෙමියි වදාළහ. මහණෙනි, කිසියම් දවසෙක තිපරිවට්ට (එකක් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර වූ) චතුරාර්ය සත්‍යය ඇති සැටියෙන් (යථාභූතඥානයෙන්) නුවණට වැටහුණේ ද එකල්හි මරුන්, බඹුන්, දෙවි, මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්බෝධිය අවබෝධ කෙළෙමි. මාගේ අර්හත් ඵලය ස්ථිරය. මේ මාගේ අන්තිම උපතයි. මට මතු භවයක් නැත. යන සිහිකටයුතු ප්රත්යවේක්ෂ ඥානය පහළ වී යයි වදාළෙමි.