පූතිගත්ත තිස්ස හිමි ගේ සිරුර කුණු වී දුක් විඳීමට හේතුව
උන් වහන්සේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පක්ෂි වැද්දෙක්ව බොහෝ පක්ෂීන් මරා විකුණමින් ජීවත් විය. එසේම පියාසර කරන්න නො හැකි සේ පක්ෂීන් ගේ කෙණ්ඩා ඇටත් පියාපත් ඇටත් කඩා ගොඩ ගසා තබයි. පක්ෂීන් කුණු වී ද යයි. මෙසේ සතුන්ට දුක් දුන් පවින් සසර බොහෝ දුක් විඳ නිවන් දකින ආත්මයේ දී ද ඇට සන්ධි වලින් ගැලවී කැඩී ගත කුණු වී එක් තැන් වී දුක් විඳින්න වූයේ ය. එබැවින් නිවන් දකින ජාති දක්වා ම මෙවන් පාප කර්ම නො කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.
(ධම්ම පදට්ඨ කථා 199 පිට)
නාවිකයා ගේ බිරිඳට මුහුදේ ගිලී මැරෙන්න වූයේ ඇයි?
දිනක් භික්ෂූන් හා මිනිසුන් නැගී එන නැවක් හිටි හැටියේ ම මුහුද මැද නතර විය. පරීක්ෂා කළේ ද කිසිදු යාන්ත්‍රික දෝෂයක් නො වීය. නමුත් නැව ඉදිරියට නො යන්නේ ය. අවසානයේදී මෙහි කවුරු හෝ අවාසනාවන්තයෙකු, කාලකණ්ණියෙකු සිටින්නේ දැ යි කුසපත් ඇද බැලීය. අවාසනාවන්ත කුසපත ලැබුණේ නාවිකයාගේ බිරිඳට ය. තුන්වතාවක් ම කාලකණ්ණි කුසපත ඇයට ලැබුණු බැවින් නාවිකයා ගේ ද කැමැත්ත ඇතිව ඇගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දමුහ. පසුව නැව පණගන්වාගෙන ගොඩබිමට ආහ. භික්ෂූහු මෙහි පූර්ව කර්මය තථාගතයන් වහන්සේගෙන් විමසූ හ. මේ කාන්තාව මීට පෙර රූමත් කාන්තාවක්ව සිටියා ය. ඊට ආත්ම තුනකට පෙර ඇගේ ස්වාමි පුත්‍රයා ඒ නිවසේ සුනඛයෙක් විය. අහෝ සසර හැටි! පූර්ව සෙනෙහස නිසා ඇය යන යන තැනට සුනඛයා ද යයි. ගම්හූ ඇයට මේ සුනඛයා පස්සෙන් ඒම ගැන පද හදා විහිළු කළහ. ලැජ්ජාවට පත්වූ ඇය සුනඛයා ගේ ගමන වලක්වන්නට නො හැකිව වැලි කලයක් බෙල්ලේ බැඳ දියේ ගිල්වා බල්ලා මැරීය. මේ පවින් අපා ගත වී ශේෂ කර්ම ලෙස ආත්මභාව 100ක් ම ගෙල බැඳි වැලි කලයක් ඇතිව ම දියේ ගිලී මැරෙන්නට සිදු වූ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ අනුවණයන් ගේ නින්දාවට බියවී පව් කම් කොට මහත් දුකට පත් නො වේවා!
(ධම්මපද අට්ඨකථා 452 පිට)
ගිනිගෙන දැවුනු කපුටා ගේ කථාව
දිනක් සැවත් නුවර නිවසක් ගිනි ගෙන, ගිනි සහිත තෘණ හුලක් අහසට නැගී පියාසර කරන කපුටෙකු ගේ ඇඟට වැටිනි. කපුටා ඉන් බේරීමට අසමත්ව ගිනිගෙන දැවී මැරී වැටුණේ ය. මෙය දුටු භික්ෂු පිරිසක් තථාගතයන් වහන්සේගෙන් මෙහි පූර්ව කර්මය විචාළ හ. මේ කපුටා පෙර ගොවියෙක්ව සිටිය දී කුඹුර මැඬවීමට සිටි ගොනා බොහෝ කම්මැලි බැවින් මෙයට කිපුණු ගොවියා පිදුරු ගොඩක් ගෙන ගවයා පිදුරු වලින් වෙලා පිදුරුවලින් යටකොට ද්වේශයෙන් ගිනි තැබුවේ ය. ඒ අසරණ තිරිසනා දැවී මළේ ය. මේ මිනිස් සතා කල තිරිසන් කර්මය බොහෝ අපා දුක් ගෙන දුන්නේ ය. අවශේෂ කර්ම ලෙස තිරිසන්ව ඉපිද මේ පස්වන වතාවට ද මෙසේ දැවී මළේ යැ යි වදාළ සේක. එබැවින් මිනිසත් බව ලැබූ ඔබ මෙ බඳු තිරිසන් කර්ම කොට දුකට පත් නො වේවා!
(ධම්මපද අට්ඨ කථා 452)
භික්ෂූන් හත් නමක් ගල් ලෙනක සිරවී දුක් විඳි කථාව
බුද්ධ දර්ශනයට එන භික්ෂූන් හත්නමක් අතර මඟ රාත්‍රියක එක් විහාරයක ගල් ලෙනක නවාතැන් ගෙන සිටිය දී, ගලක් ගැලවී විත් ලෙන් දොර වැසුණේ ය. දින හතක් එළියට ආ නො හැකිව ආහාර පාන ද නො මැතිව දුකට පත් වන්නට විය. පසුව එළියට විත් කිහිප දිනකින් බුද්ධ දර්ශනයට ගොස් එහිදී මෙසේ වීමට පූර්ව කර්මය කුමක් දැ යි ශාස්තෘන් වහන්සේගෙන් විචාළ හ. එහිදී මේ භික්ෂූන් හත් නම පෙර ගොපළු දරුවන් වී සිටිය දී තලගොයෙකූ තුඹසක සිරකර තැබූ පවින් මෙසේ ආත්මභාව දාහතරක් ම ආහාර පාන කිසිවක් නොමැතිව දින 07 ක් ගල් ලෙනක සිරවී දුක් විඳි බව වදාළ සේක.
(ධම්මපද අට්ඨ කථා 453 පිට)
බෝධිරාජ කුමාරයාට දරුවන් නැති හේතුව
මෙතුමා කෝකනද නම් මාළිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට බුදු පියාණන් වහන්සේට ආරාධනා කළේ ය. ඔහු මාළිගාවේ පළමු එළිපත්තේ පටන් දිගටම ඇතිරිල්ලක් එලා මෙසේ සිතුවා. මට දරුවන් ලැබේ නම් බුදු පියාණන් වහන්සේ මෙය පාගාගෙන වඩින සේක්වා කියා ය. තථාගතයන් වහන්සේ එතැනට වැඩම කර එය ආනන්ද හිමි ලවා අස්කරවා වැඩි සේක. කුමරු ඒ බව විචාළ කල ඔහුට දරු සම්පත් අහිමි බව වදාළා. ඊට හේතුව එක ජීවිතයක බිරිඳ හා නැව් නැගී යද්දී නැව මුහුදු බත් වී මේ දෙපළ අසල දූපතකට ගොඩ විය. එහි බොහෝ පක්ෂීන් හා කුරුළු බිත්තර ද තිබී දිවි ගෙවීමට වෙන කල යුතු යමක් නැති බැවින් මේ දෙපල පක්ෂි බිත්තර හා කුඩා පැටවුන් මරාගෙන අනුභව කොට ජීවත් විය. එම අකුසල කර්මය නිසා දරු සම්පත් නැති වඳ මිනිසුන් වූහ. එබැවින් සත්පුරුෂයනි, මේ අනුව තමන් කරන කියන දේ ගැන ද මඳක් සිතා බලත්වා.
(ධම්මපද අට්ඨ කථා - 509 පිට)
Source