එළුවන් දෙදෙනා

Aug 2, 2014
158
17
0
එළුවන් දෙදෙනා



goat.gif




දවසක් දොළ පාරක් හරහා දාපු ඒදණ්ඩක් උඩින් එළුවෙක් එගොඩට යමින් සිටියා. ඒදණ්ඩේ මැද හරියෙදී එයා දකිනවා මුහුණට මුහුණලා අනික් පැත්තේ සිට එන තවත් එළුවෙක්. ඒදණ්ඩ පටුයි. සතුන් දෙදෙනාටම එකපාරට දෙපැත්තට යන්න ඉඩ මදියි.

කලබලයට පත් වූ එළුවා "ඔහෝම නවතිනවා!" කෑගහන්න පටන් ගත්තා. "හැරිලා ආපහු යන්න, ඒදණ්ඩ උඩින් අපි දෙන්නටම එකපාරට මාරුවෙන්න ඉඩක් නැහැ." අනිකාට කිව්වා.

"ඇයි මං? ඔයා හැරිලා යන්නේ නැත්තේ ඇයි?" අනෙකා ඇහුවා.

"බෑ. බෑ. හැරිලා ආපහු යන්න ඕනේ ඔහේ මම නෙවෙයි. මමයි මෙතැන බලවතා."

"ඒ කොහොමද? ඔහේ මං තරම් ශක්ති සම්පන්න නැහැ." දෙවැනි එළුවා කිව්වා.

ඒ කථාවෙන් කේන්තියට පත් වූ එළුවා "එහෙනම් බලමු" කියමින් අං අමෝරාගෙන අනින්න කුරුමානම් ඇල්ලුවා.

"එපා. එපා." අනිකි එළුවා බැගෑපත් වූවා. "අපි මෙතැන රණ්ඩු කළොත් දෙන්නම වතුරට ඇදගෙන වැටිලා ගිලිලා මැරෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න, මං ඒදණ්ඩේ දිගාවෙන්නම්, මගේ ඇඟ උඩින් පය තියලා ඔහේට අනික් පැත්තට යන්න පුළුවන්."

එහෙම කියූ නුවණක්කාර එළුවා ඒදණ්ඩ දිගේ දිගා වුණා. එයාගේ ඇඟ මතින් අනික් එළුවා බොහෝම සීරුවෙන් අඩියෙන් අඩිය තියා අනික් පැත්තට මාරු වුණා. නුවණක්කාර එළුවා ද නැගිට්ටා, එළුවන් දෙදෙනාම සිනාමුසු මුහුණින් දෙපැත්තට යන්න ගියා.



උපුටාගැනීමක්