ඔබට සමාව දිය හැකි ද?
මනුෂ්‍යාට පමණක් නොව තිරිසන් සතුන්ට ද තරහව යන හැඟීම දැනේ. තරහ ඇති වීමට මූලයන් කිහිපයක්ම ඇත. බුදුරජාණන්වහන්සේ තරහවත් ද්වේශයේම කොටසක් ලෙසින් දක්වයි. ද්වේශය අකුසලයක් මිස කුසලයක් නම් නොවේ. අකුසලය ඇත්තේ දුක පිණිස ය. මෙනිසා බුදුරජාණන්වහන්සේ ද්වේශය බැහැර කළ යුතු අංගයක් ලෙසින් නම් කර තිබේ. එසේවුවත් බොහෝ බෞද්ධයන්ට ද්වේශය සාමාන්‍ය දෙයකි. ද්වේශය නැත්තෙක් හමුවුවහොත් ඔහු/ඇය විහිලුවකි. බුද්ධ ධර්මය තුළ ද්වේශය දුරැලීමේ මාර්ගයන් අවස්ථා කීපයකදී දක්වා ඇති නමුත් මේ ලිපිය ඒ අවස්ථා සාකච්ඡා කිරීම සඳහා ලියූවක් නොවේ. තරහව නිසා ඔබට යමක් කළ අයකුට ඔබ සමාව දී තිබෙනවා ද? සමාව දුන්නා නම් ඒ කෙසේ ද? සමාව දීම ගැන බුදුරජාණන්වහන්සේට අදාළ කුඩා කතාවක් ඔබ සමඟ බෙදා ගැනීමට ය. සමහරවිට ඔබ දැනටමත් මේ කතාව අසා ඇතුවා ද විය හැක. කම් නැත, ආපසු වරක් අසා බලන්න.
දිනක් බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනා කරන ස්ථානයකට එක්තරා බ්‍රාහ්මණයෙක් පැමිණියේ තදින් කෝපයට පත්ව ය. ඒ තමුන්ගේ දරුවන් ද ඒ ස්ථානයේ සිටිනවා දැකීම නිසාවෙනි. බ්‍රාහ්මණයන්ගෙන් සමහරක්ට බුදුරජාණන්වහන්සේ රුස්සන්නේ නැත. මේ බ්‍රාහ්මණයාද ඒ කොටසේ අයෙකි. බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණි ඔහුට ද්වේශය නිසාවෙන් ම වචන පිටවුනේ ද නැත. ඒ වෙනුවට ඔහු සිදු කලේ කිසිවකු නොසිතූ ක්‍රියාවකි. ඔහු බුදුරජාණන්වහන්සේගේ මුහුණට කෙල පහරක් ගැසුවේ ය. මේ සිදුවීම දුටු බණ අසමින් සිටි පිරිස් කේන්තියෙබ්‍රාහ්මණයාට පහර දීමට සූදානම් වුවත් සිද්ධියට මුල් වූ බුදුරජාණන්වහන්සේගේ ශාන්ත ස්වභාවය හේතුවෙන් කිසිවක් කර කියා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වූහ. බ්‍රාහ්මණයාද මෙයින් පුදුමයට පත්වූයේ බුදුරජාණන්වහන්සේ විසින් හෝ රැස්ව සිටි පිරිස විසින් ඔහුගේ ක්‍රියාවට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසාවෙනි. ඔහු එතැනින් නික්ම ගියේ ය. එදා දිනයම ඔහුගේ සිත, තමුන් සිදු කළ ක්‍රියාවත් බුදුරජාණන්වහන්සේ ඊට දැක් වූ ප්‍රතිචාරයත් නිසා කැළඹීමට ලක්ව තිබිණි. බ්‍රාහ්මණයාට නින්දක් නොවිනි.
පසුදා එළිවන තුරු සිටි බ්‍රාහ්මණයා සූදානම් වී බුදුරජාණන්වහන්සේ හමුවීමට ආපසු ගියේ ය. ඒ යන විටත් බුදුරජාණන්වහන්සේ ශ්‍රාවක පිරිසට ධර්ම දේශනා කරමින් සිටී. බුදුරජාණන්වහන්සේ හමුවට ගිය බ්‍රාහ්මණයා පිරිස මැද බුදුරජාණන්වහන්සේට වැඳ සමාව ඉල්ලුවේ ය.
"ඔබ සමාව ඉල්ලන්නේ කුමක් සඳහා ද?"
ශාන්ත හඬින් බ්‍රාහ්මණයාගෙන් බුදුරජාණන්වහන්සේ විමසයි.
"ස්වාමිනී, ඊයේ මාගේ හැසිරීම මගේ සිත කලඹයි. මා කලේ මහත් වූ වරදකි. මා සමාව ඉල්ලන්නේ ඒ වෙනුවෙනි" යි බ්‍රාහ්මණයා සමාවට හේතු ඉදිරිපත් කළේ ය.
"මට ඔබට සමාව දීමට නොහැක"
බුදුරජාණන්වහන්සේගේ පිළිතුරෙන් තුෂ්නිම්භූත වූයේ බ්‍රාහ්මණයා පමණක් නොවේ, ශ්‍රාවක පිරිස ද තුෂ්නිම්භූත වූහ. මහා කාරුණික වූ බුදුරජාණන්වහන්සේ කිසිවකුට කළ වරදකට සමාව නොදී ඉන්නේ නැත. එහෙත් අද? බුදුරජාණන්වහන්සේ බ්‍රාහ්මණයාට සමාව නොදෙන බව කියයි. ශ්‍රාවක පිරිසගේ කැළඹීමත් බ්‍රාහ්මණයාගේ කැළඹීමත් බුදුරජාණන්වහන්සේට ද පෙනිනි. මෙනිසා තමන් කී දේ පැහැදිලි කිරීමට උන්වහන්සේ කටයුතු කළේය.
"ඔබ මට කිසිවක් නොකර ඇයි මා ඔබට සමාව දෙන්නේ? ඔබ මට කළ වරද කුමක් ද සමාව දීමට තරම්?"
බුදුරජාණන්වහන්සේ බ්‍රාහ්මණයාගෙන් අසද්දී ශ්‍රාවක පිරිස මෙන්ම බ්‍රාහ්මණයා ද පුදුමයට පත්විනි. එහි සිටි පිරිසේ උන්නන්ට මේ බ්‍රාහ්මණයා පෙර දින කළ දේ හොඳින් මතක ය. බ්‍රාහ්මණයා ගැන කුමන කතා ද?
"ඊයේ මම මෙතැනට ඇවිල්ලා මේ සභාව මැද්දෙ මගේ කේන්තිය නිසා ඔබවහන්සේගේ මූණට කෙල ගැහැව්වා. මේ මම තමයි ඒක කලේ"
බ්‍රාහ්මණයා විස්තර කලේ ය.
"ඒ පුද්ගලයා තවදුරටත් මෙහි නැහැ. හැබැයි ඔබ කෙල ගැසූ තැනැත්තා මට හමුවුවහොත් මා කියන්නම් ඔබට සමාව දෙන්න කියා. මේ වෙලාවේ මගේ ඉස්සරහ ඉන්න ඔබ මට නම් වරදක් කරන්නෙකු ලෙසින් පේන්නෙ නැහැ. ඔබ සුන්දර මිනිසෙක්. වරදක් නොකළ අයකුට මා සමාව දෙන්නේ කුමකට ද"
බුදුරජාණන්වහන්සේගේ පිළිතුරෙන් බ්‍රාහ්මණයාට මෙන්ම ශ්‍රාවකයින්ට ද සත්‍යාවබෝධ විනි.
සමාව දීම අප නොයෙක් ආකාරයෙන් කරයි. සමහරු වැඳ සමාව ගන්නා අතර සමහරුන්ට සමාව දීම ම පහසු කාර්යයක් නොවේ. ඔබ, ඔබ විසින් සමාව දෙන ආකාරය මෙහිදී සිතා බලන්නේ නම් යහපති.
සමාව දීම වුවද සිදු කළ යුතු වන්නේ සමාව දෙන ලෙසිනි. වරද කළ අයට ද නොදැනෙන ලෙසින් එය සිදු කළ යුතු බව මේ කතාවෙන්ම පැහැදලි ය. වරද කළ අයට තමුන් වරදක් කළායැයි නොදැනෙන ලෙසින් සමාව දිය හැකි නම්... නියම සමාව දීම එයයි. ඔබ යමකුට සමාව දී වරින් වර එය සිහිපත් කරන්නේ නම් එය සමාවක් නොවේ. වරදකාරී හැඟීම ම පුද්ගයකුට ලැබෙන දඬුවමකි.