කබ්බලේ කන්ද - කන්නෙලිය

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කබ්බලේ කන්ද - කන්නෙලිය

    කන්නෙලිය මිනිසා හා ‍ජෛව ගෝල රක්ෂිතයේ පිහිටි කබ්බලේ කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 450ක් පමණ උසය. කන්නෙලියේ දුෂ්කරම මංපෙත වන මෙහි මා කල සංචරණයයි මේ.
    Cover.jpg
    කන්නෙලිය රක්ෂිතය සුන්දර දසුන් වලින් පිරිච්ච අපූරු වැසි වනාන්තරයක්. මීට කලින් කන්නෙලිය ගැන ලිපි කිහිපයක්ම මගේ අතින් ලියවිලා තියෙනවා. ඒක නිසා කන්නෙලිය ගැනත් එහි වැදගත්කම ගැනත් පුන පුනා ලියන්නට අදහස් කරන්නේ නෑ. කන්නෙලිය ගැන මම කලින් ලියපුවා මෙතනින් බලන්න.
    Part I - http://sobaroo.blogspot.com/2012/08/blog-post.html
    Part II - http://sobaroo.blogspot.com/2012/09/part-2.html

    කන්නෙලියේ මංපෙත් අතරින් වඩාත්ම දුෂ්කර හා සුන්දර මංපෙත වන්නේ කබ්බලේ කන්ද මංපෙතයි. යාමට ඒමට කිලෝමීටර 11.5ක් වගේ තිබෙන නිසා බොහෝ දෙනෙක් මේ මංපෙත ඔස්සේ ගමන් කරන්නට උත්සාහ කරන්නේ නෑ.පසුගිය දිනෙක මමත් මගේ හිතාදර මිත්‍රයෙක් වුණු සජිත් මල්ලීත් මේ මංපෙත ඔස්සේ කබ්බලේ කන්ද තරණය කළා.
    අපි පාන්දර හික්කඩුවෙන් පිටත් වී උදෑසන 07 පමණ වන විට කන්නෙලිය පිවිසුමට පැමිණියත් මග‍ පෙන්වන්නෙක් එතෙක් පැමිණ නොසිටි නිසා මද වෙලාවක් කල්මරන්නට සිදුවුණා. කෙසේ නමුත් උදෑසන අටට පමණ අප ගමන් අරඹන විට ඉතා යහපත් කාලගුණ තත්ත්වයක් තමයි කන්නෙලිය අවට දක්නට ලැබුණේ. ප්‍රධාන පිවිසුම ආසන්නයෙන්ම විහිදුණු මංපෙත ඔස්සේ අපි හෙමින් ඉහළට ඇදුණා. මුළු ගමනම යෙදී තිබෙන්නේ ගනව වැඩුණු වනාන්තරය ඔස්සේ...
    forest.jpg
    මේ දිනවල පවතින තෙත්බර කාලගුණික තත්ත්වය කූඩැල්ලන්ට ඉතා හිතකර එකක්. අඩිය තබන සෑම තැනකම සිය ගණනින් කූඩැල්ලන් රැස් කමින් සිටියා
    blood.jpg
    අවට පරිසරයේ සුන්දරත්වය උපරිම ලෙස විඳිමින්, තැන තැන නතර වී ඡායාරූප ගනිමින් අපි හෙමින් ඉහළට ගමන් කළා.
    Picture%2B047.jpg
    මෙසේ මද දුරක් ගමන් කළ අපි 'ගල්ලෑලි දොළ' වෙත පැමිණියා. මෙම දොළ ඉහත්තාවේ තිබෙන ගල්ලෑලි දොළ ඇල්ල මේ වන විට සිඳී ගොස් තිබුණු නිසා අපි දොළ දිගේ ඉහළට නගින්නට තීරණය කළා. එය සැබවින්ම අභියෝගයක් වුණේ ලිස්සන ගල් මත හතරගාතයෙන්ම යන්නට සිදුවුණු නිසා.
    Dola.jpg
    මේ මිරිදිය කකුළුව‍‍ා අපට හමුවුණේ ගල්ලෑලි දොළේදී.
    crab.jpg
    කූඩැල්ලන්ගෙන් නම් අඩුවක් නෑ දෙයියනේ කියලා... මම බූට්ස් පැළඳගෙන සිටි නිසා පාද බේරා ගත්තත්, කලිසම දිගේ ඉහළට නැගපු කූඩැල්ලන් මගේ ඉණ වටේම හිටියා. කොටින්ම නාභියේ ඉඳලාත් එකෙක් අරන් දැම්මා...
    leech.jpg
    මෙහෙම ඉහළ නැගපු අපි ගමනේ පළමු වීව් පොයින්ට් එක වන පුංචි කබ්බලේ මුදුනට පැමිණියා. එතැන් පටන් අවට බලන විට දක්නට ලැබෙන දර්ශනය නම් වචනයට නැගීම ඉතා අපහසුයි. ඒ නිසා ඒක පින්තූරයෙන්ම බලන්න.
    Punchi%2BKabbale.jpg

    Picture%2B189.jpg
    එතැන මදක් ගිමන් හැරපු අපි ඉන්පසු මහ කබ්බලේ නගින්න පටන් ගත්තා
    Pano.jpg
    මේ කටුකිතුල් - Oncosperma fasciculatum ශාකයක්. හම්බවුණේ මහකබ්බලේ මුදුනේදී. මෙයා ලංකාවට ආ‍වේණික එකක්.
    katu%2Bkithul.jpg
    පුංචි බිම්මලක් වුණත් කොයිතරම් නම් ලස්සනද?
    mushroom.jpg
    ආපසු එන ගමනත් එතරම්ම සුවපහසු වුණේ නෑ. කැලෑ පාළුවන්ගෙන් මේ වනාන්තරයට එල්ල වෙලා තියෙන අවදානම බලන්න. මේ තියෙන්නෙ කපා දමපු වල්ලපට්ට ගහක්.
    Picture%2B219.jpg
    ගහක අත්තක උන්නු මේ පළා පොළඟව - Trimeresurus trigonocephalus දැක්කෙ පහළටම ආවට පස්සෙ. මෙයා මද විෂ සහිත ලංකාවට ආවේණික රුක් වාසී සර්පයෙක්.
    pit%2Bviper.jpg
    දීර්ඝ පාගමන අවසා‍නයේ අපේ වෙහෙස නිව්වේ නන්නිකිත දොළේ ගලා යන සීතල දිය පහර විසින්. මහ වැස්සේ සීතලේ නාපු ඒ නෑමත් අමතක නොවන අත්දැකීමක්...
    ඔය දොළේ බැහැගෙන ඉන්නෙ මං තුමා තමා... මේ පින්තූරේ ගෞරවය සජිත් මධු්ෂාන් මල්ලිට...
    12494822_10153978690281435_6453971935094488094_n.jpg
    තවත් සුන්දර චාරිකා අත්දැකීමක් අවසන් වුණේ ඔය විදියටයි. ඉතින් මේ වනාන්තර පද්ධතිය තුළ හැසිරිය යුතු ආකාරය ගැන ලියා මගේ දයාබර පාඨකයන්ට අපහාස කරන්නට මං සූදානම් නෑ. මොකද මං දන්නවා මගේ බ්ලොග් එක වටා බැඳුණු ඔබ පරිසරයට ආදරය කරන සුන්දර මිනිසුන් බව...

    සැ.යු. - කබ්බලේ යනවා නම් වර්ෂාව අඩු සමයක යායුතුයි.

    පරණ කතාවක් ආයෙත් - මගේ බ්ලොගයේ පළවන ඡායාරූප හා විස්තර තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඕනෑම අයෙකු යොදා ගත්තාට මගේ අමනාපයක් නැත. ඇත්තටම එය මට මහත් සතුටකි. පින්තූර හා විස්තර ගත්තු තැනත් සඳහන් කරන්නට කාරුණික වන්නේ නම් එය ඊටත්වඩා සතුටකි.

    මගේ බ්ලොග් අඩවිය වන - http://sobaroo.blogspot.com/ වෙතිනි.