පොහොසත් රටේ හිඟන සිත් "සිරිබාල"

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    සිරිබාල උදේම නැගිට්ටේ ටිකක් මල පැනලා. හැබැයි රූපවාහිනිය දැම්ම ගමන් සිරිබාලගේ මූණට දිව්‍යලෝකේ පෙනුණා. තිරයේ දිලිසෙන ඇඳුමක් ඇඳගත්තු දේශපාලකයෙක් බොහොම බැරෑරුම් විදිහට කතාවක් පවත්වනවා.

    "දේශප්‍රේමී ජනතාවනි! ආණ්ඩුව අතිවිශාල කැපවීමකින් ඔබට ‘පොහොසත් රටක්’ නිර්මාණය කරලා දීලා තියෙන්නේ. හැබැයි රටක් ගොඩනගන්න ආණ්ඩුවට විතරක් තනියම බෑ. ඔබලා කිළුටු සිත් නැතිව, රට ගැන හිතලා, ආණ්ඩුව ගහන බදු ගෙවන්න ඕනේ. කන්න නැතත් බදු ගෙවීම පුරවැසි වගකීමක්! තව එකක්, මේ දවස්වල අලුතෙන් ළමයි හදන්න යන්න එපා. ඒ වියදමුත් ඉතිරි කරලා බදු ගෙවලා, ආණ්ඩුව හදපු මේ පෝසත් රට තවත් පෝසත් කරමු!"

    සිරිබාලගේ ඇස් දෙකට කඳුළු ආවා.

    "අයියෝ... මං කොච්චර කාලෙකින්ද මේ වගේ උතුම් කතාවක් ඇහුවේ? මගේ හිත කොච්චර කිළුටුද? මං මේ වෙනකම් හිතුවේ කන්න බොන්න නැති එක ගැන විතරයිනේ!" ඔහු තමන්ටම බැනගත්තා.

    එතකොටම සිරිබාලගේ බිරිඳ වන සුමනා කුස්සියේ ඉඳන් ආවා. "අනේ මන්දා මනුස්සයෝ, අද උදේට උයන්න හාල් මිටක් නෑ. ලමයට ඉස්කෝලේ යන්න පොත් ගන්න සල්ලිත් නෑ. මොකද කරන්නේ?"

    සිරිබාල සුමනා දෙස බැලුවේ හරියට ඇය දේශද්‍රෝහියෙක් වගේ. "කට වහපන් සුමනා! තෝ තාමත් හිතන්නේ බඩගින්න ගැන විතරයි. රටේ පාලකයෝ අපිට ‘පොහොසත් රටක්’ දීලා තියෙද්දී තෝ හාල් ගැන කියවනවා. අද ඉඳන් අපි දිනකට එක වේලක් කනවා. ඉතිරි වේල් දෙකේ සල්ලි ආණ්ඩුවට බදු විදිහට ගෙවනවා. කන්න නැතත් බදු ගෙවන්න ඕනේ කියලා ඇමතිතුමා කිව්වේ නිකන්ද?"

    සුමනා ඇස් ලොකු කරන් බලා සිටියාය. "එතකොට ළමයාගේ වියදම්?"

    "ළමයා?" සිරිබාල ශුද්ධ වූ මතක් කිරීමක් වගේ ගැස්සුණා. "වාසනාවකට අපිට ඉන්නේ එක ළමයයි. ඇමතිතුමා කිව්වා අලුතෙන් ළමයි හදන්න එපා කියලා. ඒ නිසා මීට පස්සේ අලුතෙන් ළමයි හදන එක සම්පූර්ණයෙන්ම තහනම්! ඒ කිරිපිටි, ඩයපර්ස් වියදම් ඔක්කොම ඉතිරි කරලා අපි ආණ්ඩුවට දෙනවා. මේ පොහොසත් රට තවත් පෝසත් කරන්න අපි දායක වෙන්න ඕනේ."

    ඊළඟ මාසය සිරිබාලලා ගත කළේ පුදුමාකාර ‘දේශප්‍රේමී’ විදිහකට. උදේට වතුර වීදුරුවයි, දවල්ට බදු කොළයක් දිහා බලාගෙන බත් කටක් කෑමයි, රෑට බඩගින්න නිවාගන්න දේශපාලන කතා ඇසීමයි ඔවුන්ගේ සිරිත වුණා. සිරිබාල කෙට්ටු වෙලා ඇටසැකිල්ලක් වගේ වුණත්, බදු ගෙවූ රිසිට් පත් ටික සාලේ මැද රාමු කරලා එල්ලා තිබුණා.

    දිනක් සිරිබාල පාරේ යනකොට අර සුපිරි කතාව පවත්වපු ඇමතිතුමාගේ අලුත්ම ලැම්බෝගිනි රථය පාර අයිනේ නතර කරලා තිබුණා. සිරිබාල දුවලා ගිහින් ඇමතිතුමාට වැන්දා.

    "අනේ ඇමතිතුමනි, ඔබතුමාගේ කතාව අහලා මං අලුතෙන් ළමයි හැදුවේ නෑ. කන්න නැතත් බදු ඔක්කොම ගෙව්වා. දැන් අපේ රට තවත් පෝසත් නේද?" සිරිබාල ආඩම්බරයෙන් ඇහුවා.


    ඇමතිතුමා රථයේ වීදුරුව පාත් කර, ඔහුගේ රත්තරන් අත්ඔරලෝසුව හදමින් සිරිබාල දෙස බැලුවා. "ෂා... බොහොම හොඳයි! උඹලා වගේ කිළුටු සිත් නැති බදු ගෙවන්නෝ ඉන්න නිසයි මට මේ අලුත්ම කාර් එක ගන්න පුළුවන් වුණේ. රට ඇත්තටම පෝසත් තමයි! හැබැයි ඉතින් මට තව යාත්‍රාවකුත් ගන්න ඕනේ නිසා ලබන මාසේ ඉඳන් හුස්ම ගන්න එකටත් පොඩි බද්දක් ගහන්න හිතන් ඉන්නවා. ඒකත් කිළුටු සිතක් නැතුව ගෙවපන් මයි ෆ්‍රෙන්ඩ්!"

    ඇමතිතුමා කාර් එක රේස් කරලා වේගයෙන් යන්න ගියා. සිරිබාල දුම කාගෙන, බඩගින්නේ ගැහෙමින් සුමනා දෙස බලා සිනාසුණේය. "දැක්කා නේද සුමනා... ඇමතිතුමා මට 'මයි ෆ්‍රෙන්ඩ්' කිව්වා. රට ඇත්තටම පෝසත් වෙලා! හෙට ඉඳන් අපි හුස්ම ගන්න එකත් බාගෙට අඩු කරලා බදු ගෙවමු!