කරුමෙටවත්_නොකළ_වරදකට_හරි_කුඩුවේ_ලගින්න_ය&#3505

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කරුමෙටවත්_නොකළ_වරදකට_හරි_කුඩුවේ_ලගින්න_ය&#3505

කෝකටත් හොදයි මේක කියවලා බලන එක.
(මුලින්ම කියන්න ඕන "උපුටා ගැනීමක්" කියලා)

මේ කාලය 2009 දෙසැම්බර් වගේ කාලයක්... මගේ හොඳම මිතුරෙකුගෙන් මට ආවා දුරකථන ඇමතුමක්...
අභියා.. මගේ බිස්නස් එක පොඩ්ඩක් හිරවෙලා.. මට සල්ලි ටිකක් ඕන...
කියපන්...
ලක්ශ පහක් හොයාගන්න ඕන... පොලියට හරි කමක් නෑ..
එච්චර නම් ශුවර් නෑ මචන්... මගෙත් සබ්බ සකලමනාවම බිස්නස් එකට දාල තියෙන්නෙ... මම ඒත් හොයලා බලන්නම්...
අනේ පොඩ්ඩක් බලපන් මචන්....
ඕකෙ මචන්...
දින තුනක් ගිය පසු නැවතත් මේ දුරකථන ඇමතුම ආවා.. මගේ ලඟ තිබුන සම්භන්ධතා හරහා එය පහසුවෙන් ඉටු කරගැනීමට හැකි අයුරක් ඔහු දකින්නට ඇති නිසා එම දුරකථන ඇමතුම දිගින් දිගටම ආවා..
අවසානයේ මම මගේ අදුරන ව්‍යාපාරිකයෙක් හරහා මොහුට මසකට 5% පොලිය මත එම මුදල අරන් දෙන්නට කටයුතු කලා... ඇපයට තැබුවේ චෙක්පතක්... ඊට මාස හයකට පස්සේ මගේ මිතුරු ව්‍යාපාරිකයාගෙන් දුරකථන ඇමතුමක් ආවා...
අභීත මල්ලි, මොකද මේ පාර සල්ලි ටික පරක්කු...
මේ පාර සතියක් විතර යනවා අය්යා... පොඩ්ඩක් ඉන්න හොදේ..
හරි හරි.. ඒව අවුලක් නෑ... මේ අර ඔයාගෙ යාලුවා මාස දෙකකින් විතර සල්ලි දුන්නේ නෑ... මොකද කරන්නේ...
මම කතා කරලා බලන්නම් අයියේ.. මට කතා කලෙත් නෑ ඌ.. මගේ යාලුවෙක් කියලා බලන්න එපා.. ඔයාට අවුලක්නම් සුපුරුදු පිලිවෙලේ යන්න...
නෑ මම යන්න කලින් තමයි උඹට කිව්වේ.. ඌත් එක්ක කථා කරලා කියන්න මල්ලි මට...
දැන් ඉතින් මෙහෙම දෙපැත්තට කර කර අවුරුදු ගානක් ගියා.. අන්තිමේදි මගේ මිතුරා තියෙන තියෙන වෙලාවට සල්ලි අදාල ව්‍යාපාරිකයාට ලබා දුන්නත් ඒ හැම සතයක්ම පොලියට කැපිලා මුළු මුදල් ප්‍රමාණය ඉතිරි වුනා... 2011 මැද භාගය වනවිට මෙම ගණුදෙනුව සම්භන්ධයෙන් කොළඹ නගර සීමාවේ වූ පොලීසියක් විසින් ඔහුව අත් අඩංගුවට ගත්තා... ඊට පසුදා ඔහුව උසාවියටත් ඉදිරිපත් කෙරුනා...
අදාල ව්‍යාපාරිකයා සමඟම මමත් උසාවියට ගියා.. මිතුරාගේ යහලුවෙකුත් පැමිණ හිටියා.. අවසන ඔහු නීතිඥ්ඥයකු මාර්ගයෙන් උසාවියට දන්වා සිටියේ ඔහුගේ ව්‍යාපාර මදක් පසුගාමී වන නිසා මෙම මුදල් එකවර දීමට නොහැකි බවත් මසකට දස දහස බැගින් දීමට හැකි බවත්ය.. අවසානයේ දෙපැත්තේ නීතිඥ්ඥවරුන් හරහා මසකට විසි දහස බැගින් පියවා අවසන් කරන්නට කටයුතු සිද්ධ වුනා.. ඒ වෙනුවට ඔහුට ශරීර ඇප දෙකක් නියම වුනා.. ඒ වෙනුවට මමත් ඔහුගේ යහලුවත් ශරීර ඇප තබ ඔහුව රිමාන්ඩ් භාරයෙන් මුදවාගනු ලැබුවා.. ඉතින් මෙහෙම තවත් කාලයක් ගියා.. දැන් සෑම මසකම නඩු දිනේට මොහු 20000.00ක් ගෙවමින් ගියා...
2012 මාර්තු මාසය වන විට මට උසාවියෙන් සිතාසි ආවා... ඒ මගේ මිතුරා අධිකරණය මඟ හැර සිටින නිසාත් ඔහුගේ පළමු ඇපකරු ලෙස ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටින ලෙසටත් පවසමින්.. ඒත් සමගම ඔහු වෙත දුරකතන ඇමතුමක් දුන්නත් ඔහු පැවසුවේ ඉදිරි නඩු වාරයට ඉදිරිපත් වන බවත් ඉදිරි මාස තුනක කාලය ඇතුලත මේ ගණුදෙනුව අවසන් කරන බවත්, මම උසාවි පැමිණීම අනවශ්‍ය බවත්ය.. මේ වන විට මේ කරුණ සම්භන්ධයෙන් සියළු පාර්ශ්ව වලින් මට බැනුම් එල්ල වෙන්න පටන් අරන් තිබුනා.. ඒත් ලිං කටින්ම ගොඩ එන්නට ඕනෑ යැයි මම තරයේ සිතා ගත්තා...
අනතුරුව 2012 ජූලි මාසයේ 31 වගේ දිනක මහ රෑ ගෙවල් අසල පොලීසියෙන් මට දුරකථන ඇමතුමක් ආවා...
අභීත මහත්තයාද?
ඔව්..
මම ***** පොලීසියෙන්... සාජන් ***** කතා කරන්නේ...
ආ.. මොකෝ සාජන් මහත්තයා... මොකෝ මේ මහ රෑ..
කොහෙද ඉන්නේ.... පොඩ්ඩක් පොලීසියට එන්න පුළුවන්ද?
දැන්නම් මම කොළඹින් පිට ඉන්නේ... මොකද සීන් එක...
නෑ එහෙනම් හෙට පාන්දරම එන්නකෝ.. පොඩි පැමිනිල්ලක් තියෙනවා...
හරි මම උදේ 7 වෙද්දි එන්නම්... මොකක්ද පැමිණිල්ල..
නෑ.. පොඩි එකක්.. ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි...
සාජන්ට් මහත්තයාත් හිතවතා නිසා ගෙවල් ලග පොලීසියත් අදුරන නිසාත් මම ප්‍රශ්ණයක් නොකරගෙන එදා උදෙන්ම පොලීසියට ගියා.. ගියාට පස්සේ මම හිතේ තියාගෙන ගිය කාරණයට වඩා ටිකක් බර පතල කාරණයක්..
මොකෝ සාජන් මහත්තයා මට එන්න කිව්වේ...
අහවල් පොලීසියෙන් වොරන්ට් එකක් තියෙනවා... අද උසාවි දාන්න ඕනලු.. ඇප දුන්න සිද්ධියක්.. මොනවද මේ දා ගන්න විකාර..
අප්පට සිරි.. මූ යනවා කිව්වනේ උසාවි...
මහත්තයෝ... ඇප වෙන්න හොද නෑ අම්මට තාත්තටවත්.. බලමු මොනාද කරන්නෙ කියලා.. ඕ අයි සී මහත්තයත් පුදුම වුනා මේක දැකලා.. ඕනනම් ගිහින් මුණ ගැහිලා එන්න..
ඕ අයි සී මහත්තයත් එක්කත් කතා කරලා නීතිමය පැත්තත් දැනගෙන, ගෙදරටත් විස්තරේ කියලා හැම පැත්තම සමබර කරගෙන නීතිඥ්ඥ මහත්තයෙකුත් අල්ලගෙන ගෙවල් ලඟ උසාවියට මාව ඉදිරිපත් කලා.. නීතියේ හැටියට ඊලඟ නඩු වාරය දක්වා මාව රිමාන්ඩ් කල යුතුයි.. නමුත් නීතිඥ්ඥ මහතාගේ කරුණු දැක්වීම මත සහ පොලීසිය විසින් ලබාදුන් සුභවාදී නිර්දේශයන් මත විනිසුරු තුමා මෙන්න මේ විදිහට එතුමාගේ තීරණය ලබා දුන්නා...
අද දින බන්ධනාගාර භාරයේ තබා හෙට දින අළුත්කඩේ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරිපත් කල බවට ලියවිලි ඊලඟ නඩු දිනයේදී මා වෙත ඉදිරිපත් කල යුතුයි...
ඊලඟට හදිසියේ ඇප දෙන්න වුනොත් යැයි කියා ගෙන්වාගෙන සිටි මගේ මිතුරා මා වෙත ආවා...
අභීත අයියේ... ලෝයර් කියනවා ආයෙත් මෝශන් එකක් දැම්මොත් ඇප ගන්න පුළුවන් වෙයි කියලා.. මොකද කියන්නේ... දාන්නද?
එපා මචන්.. එක දවසනේ.. මම ඇතුලත් බලාගෙන එන්නම් මොන වගේද කියලා... මෙන්න අරුන්ගේ නම්බර් එක.. ඌට කියහන් ඌ නිසා මට මෙහෙම වුනා කියලා.. මේ නම්බර් එක මගෙ ලෝයර්ගේ.. පොරටත් කතාකරල කියහන් හෙට උදෙ 8.30ට එන්න කියලා, ආදී වශයෙන් ඌට උපදෙස් ගොඩාක් දීලා ගෙදරටත් දුරකථන ඇමතුමක් දීලා එතනත් බය නැති කරලා මම උසාවි බන්ධනාගාරය වෙත පිටත් උනේ හවසට ලබන්නට තිබෙන අළුත් අත්දැකීම ගැන සිතමින්...

දෙවෙනි කොටස

කලින් කතාවට තිබ්බ ප්‍රතිචාර නිසා ලියන්න පටන් ගත්තා ඔන්න දෙවෙනි කොටසත්.. ගෙවල් ලඟ උසාවියේ බන්ධනාගාරයට ගියාට පසු මගේ සඟයාට අවශ්‍යතාවක් ආවා මාව හමුවෙන්න.. ඔහු මේ බව එතන හිටපු ජේලර්ට කිව්වා.. ජේලර් මට ඇවිත් මෙහෙම කිව්වා...
අර මල්ලිට ඔයාව හම්බෙන්න ඕනලු... ඒ වුනාට අපිට ඒකට අවසර දෙන්න බෑ.. අපිට ඉතින් මොනා හරි සපෝට් එකක් දෙනවනන් ඉතින් ඒ ගැන සලකා බලන්න පුළුවන්..
හරි ජේලර් මහත්තයා.. ඌට එන්න කියන්නකෝ... මම කියන්නම් මිනිහට කාරණාව..
දැන් මමයි පොරයි කථාව ඉවර වෙනකන් මූ බලාගෙන හිටියා.. මම අරූට කිව්වා කීයක් හරි දෙන්න කියලා.. ඌ රුපියල් 200ක් දුන්නා..
මොකක්ද බන් මේ 200. මෙතනම ඉන්නවනේ තුන් දෙනෙක්.. 500ක්වත් දියන්..
ඔන්න 500ක් දුන්නා... දැන් ඉතින් අරූට මම ලඟට එන්න බාධා නෑ.. ඒ අතරේ එතන හිටියා නිමල් අයියා.. මාස තුනක් රිමාන්ඩ් භාරයේ ඉඳලා එදාම ඇප හම්බෙලා.. නිදහස් වෙලා ගෙදර යන්නයි සූදානම.. මගේ කතාව අහලා මට පොඩ්ඩක් බැනලා මිනිහා මට උපදෙස් දෙන්න පටන් ගත්තා.. රිමාන්ඩ් එක ගැන මූලික පාඩම එතනින් මට ලැබුනා.. මිනිහා ඔක්කොම කියලා අන්තිමේට මෙහෙම කිව්වා.. "මල්ලි, මම කියපු ක්‍රමයෙන් පිට මොනවවත් කරන්න කියන්න යන්න එපා.. ඒක ඔයාට කරදර වෙන්න පුළුවන්..." මම ඒ අවවාදය තරයේ හිතේ තියාගත්තා..
උසාවියේ නඩු අහලා ඉවර වුනා... දැන් තියෙන්නේ අපිව එක්කරගෙන යන්න... මේ අර රුපියල් 500ක් ගත්ත ජේලර්ලගේ හඬ..
නැගිටපියව්.. උඹලගේ අම්මට... කෝ.. ගනිව්.. වරෙන් මෙහාට...
මාත් සමඟ තව තුන් දෙනෙක් එදා බන්ධනාගාර කලා.. දැන් තුන් දෙනාවත් එක්ක යනවා බස් එකට..
ආයෙත් සුපුරුදු ජේලර්ලාගේ හඬ..
නැගපියව් බස් එකට.. මුන්ගේ අම්මට... නැගපියව්.. පලයව් පස්සට... මුගේ අම්මට.. පල පස්සට.. කෝ කෝ.. ඉක්මනට.. පලයව්.. ඉඳගනියව්..
දැන් දොර වහගෙන කට්ටිය පිටත් වුනා.. ඒ අතරේ තමන්ගේ පොඩි එවුන් අති සුඛෝපභෝගී සෙල්ලම් බඩු වලින් කරන සෙල්ලම් තියෙන වීඩියෝ එකිනෙකාට පෙන්වමින් ඒ ගැන විස්තර කරනවා.. ගිය සති අන්තයේ කෑම කාපු කඩවල් (තරු හෝටල්) ගැනත් කියනවා.. නියමිත ගමනාන්තයට ආවා.. දැන් නැවතත් ජේලර්ලාගේ මිහිරි හඬ..

හා බැහැපියව්.. මුන්ගේ අම්මට.. ජනේල් වහලා බැහැපියව්ව්.. #$%@^ බැහැපියව් ඉක්මනට.. වරෙව් මගේ පස්සෙන්..
ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පහලින් තියෙන වාක්‍යය තමයි ඇහුනේ..
අඩෝ අභීත මල්ලි... කොහෙද බන් උඹ මෙහෙ..
මම ජීවිතේට අදුරන එකම ජේලර්.. හරියටම උටම සෙට් උනානේ...
අනුන්ගේ පරිප්පුවක් කෑවා හිරන්ත අයියේ.. හෙට උසාවි දානවා කිව්වා...
පල යන්න.. හිටපන් මම උඹේ කොලේ බලලා එනකන්..
ඈ..? මේ මොකක්ද බන්.. උඹටත් වෙන්නෙම ඔහොම ඒවා.. හරි මොනාද වෙන්න ඕන..
මොකුත් වෙන්න එපා... හෙට උදේ මම යනවා.. විශේශයක් දක්වන්නේ නැතුව හිටහන් අයියේ.. පොඩ්ඩක් කියලා තියහන් මුන්ට මම උඹේ එකෙක් කියලා..
හරි හරි.. අවුලක් වෙන්නේ නෑ.. උඹව වැටෙන්නේ ඊ එකට.. මම උන්ට කියන්නම්...
එතන ඉඳන් මට ජේලර්ලගේ සද්දෙ නෑ.. ඒත් අනිත් උන්ට වුන හැටියට මට වුනා වගේ ලියන්නම්.. අළුත් සිරකරුවන් ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන්ව යවන්නේ ත්‍රිවිධ හමුදාව ඉන්න කුටියකට.. ඒ ඔවුන්ව පරීක්ශා කිරීම සඳහා..
එන්න ඇතුලට.. යුධ හමුදා සෙබලාගේ මිහිරි වදන්... තිර රෙදි වලින් ආවරනය වූ කුටියකට ඔහු මාව කැදෙව්වා...
කට අරින්න...
කමිසය ගලවන්න...
කමිසය අතට ගත් යුධ හමුදා සෙබලා එය වාටියක් නෑරම පරීක්ෂා කලා..
කමිසය ඇදගෙන කලිසම ගලවන්න.. යට කලිසමත් ගලවන්න...
එහිත් හැම සාක්කුවක්මත් වාටියක්මත් ඔවුන් පරීක්ශා කලා...
හරි දෙපාරක් ඉදගෙන හිටගන්න... මේක කරන්න කියන්නේ බන්කර් චෙක් කරන්න..මේ ඔක්කොම ඉවර වුනාට පස්සෙ නැවතත් අර හමුදා සෙබලාගේ ආදරණීය හඩ..
බොහොම ස්තූතියි...
ඔයාටත් ස්තූතියි...
අනික් කුටි වල හිටපු මිනිසුන්ටත් ත්‍රිවිධ හමුදා සෙබලු කතා කරපු ආකාරය මට ඇහුනා.. තාප්පයේ තියෙන "සිරකරුවෝත් මනුශ්ශයෝය" කියන එක ඉතාමත් හොදින් ප්‍රගුන කරපු පිරිසක්.. එතනින් එහාට තවත් ලොකු ගේට්ටුවකින් අපිව දැම්මා..
හා.. ඔතනින් පලයව් L එක හොයාගෙන.. ඒ අපිට... මුන්ට ගිහින් පෙන්නපියව් L එක තියෙන තැන.. එතන හිටපු අඩු වයස් හිර කාරයින් දෙදෙනෙකුට.. ඔවුන් දෙදෙනාට අවුරුදු 19කටනම් වැඩි වෙන්න බෑ..
වරෙන් මචන් යන්න.. මද දුරක් කැරකි කැරකි ගොස්.. මෙතන තමයි උඹලගේ පොට් එක.. මෙතනට කියලා පලයන්... කාර්යාලයක් වගේ එකක් පෙන්නමින් ඔවුන් කිව්වා..
එතන ගේට්ටුවෙන් අපි හතර දෙනා ඇතුල් වෙද්දිම පැරණි සිරකරුවෙක්ගෙන් ප්‍රශ්ණයක්.. ඔවුන් තමයි එම කාර්යාලයේ ලේඛණ කටයුතු සඳහා යොදවා තියෙන්නේ..
හෙට උසාවි ඉදිරිපත් කරන අය ඉන්නවද?
ඔව්.. ඒ මම.. මම විතරයි පහුවදාට උසාවි ඉදිරිපත් වෙන්නේ..
අනිත් අය යන්න.. ඔයා එන්න...
නම...?

මම ඉතින් නම කිව්වා... තවත් ගොඩාක් විස්තර ඇහුවා.. මව, පියා, පාසැල, රැකියාව ආදී බොහෝ පෞද්ගලික තොරතුරු ලේඛන ගත කලා.. කමිසය ගලවලා උපන් ලප තිබෙන තැන් පවා සටහන් කර ගත්තා...
හරි ඔතනින් බැහැලා ඊ වාට්ටුවට යන්න...
මම එතැනින් බහිනකොට රිමාන්ඩ් වූවන්ගේ විවේක කාලය.. හැමෝම තැන් තැන් වලට වෙලා සුහඳ සාකච්ඡා කරමින් හිටියා.. මට දැනුනේ මෙතන බොහොම නිදහස් තැනක් වගේ.. ඊ වාට්ටුව හොයන්න හිතාගෙන මම පහලට බැස්සා...
අඩෝ.. අභියා.. උඹ කොහෙද බන් මේ...
කවුද යකෝ රිමාන්ඩ් එකේ මාව පිලිගන්නේ... අප්පට සිරි... මාත් එක්ක නාරාහේන්පිට බෝඩිමේ හිටපු එකා.. ඌ දකිද්දිම මම දන්නවා ඌ මොකටද එන්න ඇත්තේ කියලා... ඒත් ඌ දන්නේ නෑනේ මම ආවේ ඇයි කියලා..
පොඩි කේස් එකක් වුනා බන්.. හෙට වෙනකන් රිමාන්ඩ් කලා..
හරි උඹ භය වෙන්න එපා.. උඹට අද ඉන්න වෙන්නෙ මම ඉන්න එකේ නෙවෙයි.. රුපියල් 1000ක් ලෑස්ති කරගනින් ගෙදරට කතා කරලා.. ඉතිරි ටික මම බලා ගන්නම්..
එල මචන්... කොහොම කෝල් ගන්නද බන්..
කෝල් මොනාද බන්... මේක ඇතුලේ මොනාද නැත්තේ.. වරෙන් යන්න... මම උඹව ගොඩ දාල දෙන්නම්..
මූ මාත් එක්ක ගියා.. කොන්ඩේ වවපු සිරා කොලු පාටක් තියෙන එකෙකුට අඬ ගැහුවා...
සුද්දා.. පොඩ්ඩක් වරෙන්...
අප්පා.. මොකෝ අයියා.. යාළුවෙක්ද? අළුතින්ද? කොහෙද? කවද වෙනකන්ද?
උඹට වැඩක් නෑ සුද්දා... මගේ බොක්කක්.. මූට හොඳට සලකපන්.. උඹ ලඟින් තියා ගනින්.. කරදර කරන්න දෙන්න එපා.. දත් ගලවන්න එපා.. මම මූට 1000යි කියලා තියෙන්නේ.. ඊට වඩා ගන්න එපා.. මූ අපේ සබ්ජෙක්ට් එකේ නෑ.. ඒක මූට පුරුදු කරන්න එපා..
හරි සුදු අයියේ... මම බලාගන්නම්... එන්න අයියේ...
අභියා... දැන් 5ට ගේට්ටු වහනවා.. හෙට උදේ වෙනකන් මට ආයේ එන්න වෙන්නේ නෑ.. උඹේ හිතේ ප්‍රශ්ණ තියෙනව මගෙන් අහන්න.. ඒවා හෙට උදේ අහපන්... කරන්න දෙයක් නෑ බන්.. ජීවිතේ ඔහොම තමයි.. මේක ඇතුලට ආවේ නවත්තන්න හිතාගෙන.. එලියට වඩා වැඩියි බන් මේක ඇතුලේ....
හරි චරියා.. තැන්ක් යූ... මම හෙට උදේ කතා කරන්නම්...
දැන් සුද්දා පස්සෙන් මම යනවා...
අයියේ.. මම කියන විදිහට ඉන්න.. දැන් අපිව ඇතුලට දාන වෙලාව.. දෙන්න දෙන්න යන්නේ.. මගේ අත අල්ලගන්න..
එල මල්ලි....
ඊ වාට්ටුවේ ඔක්කොම දෙන්න දෙන්න අත අල්ලන් ඇතුලට යනවා.. හැමෝම දොරෙන් ඇතුල් වෙද්දිම සෙරෙප්පු අතින් අරන් තමයි ඇතුලට යන්නේ... ඒ අතරේ ජේලර්වරු ගනිනවා.. ඔවුන්ගේ වැඩ මුරය මාරු වෙද්දි නිතරම ගැනලා තමයි මාරු වෙන්නේ... වෙලාව 5යි...
අයියේ.. දැන් පන්සිල් ගන්න වෙලාව... කෝ දෙන්න සෙරෙප්පු දෙක... මේ ටීශර්ට් එක ඇඳ ගන්න.. ඕක දෙන්න... හොඳටම කිලුටුයි නේ.. මම හෝදලා දාන්නම්.. හෙට යනකොට ඇඳගෙන යන්න පුලුවන් එතකොට ඔයාට...
තෑන්ක්ස් සුද්දා.. මම ගිහින් ඉස්සරහින්ම වාඩි උනා..
බෙල්ලේ විශාල රිදී මාලයක් එල්ල ගත්තු හැඩි දැඩි සිරකරුඑක් ඇවිත් බුදු පිලිමෙට මල්, පහන්, හඳුන්කූරු පූජා කලා.. ඔහු තමයි මේ ඊ වාට්ටුවේ නායකයා කියලා ටිකක් වෙලා යද්දි මට තේරුනා.. හවත් වැඩිහිටි සිරකරුවෙක් පන්සිල් කියෙව්වා.. ඒ අතර තිසරන ගුන වගේම තුන් සූත්‍රය්ත් දෙවියන්ට පින් දීම මල ගිය ඥාතීන්ට පින්දීම ආදී සියලු ආගමික වතාවත් කෙරුනා.. ඇත්තට ඒ කටයුතු වලදීනම් මෙය රිමාන්ඩ් බන්ධනාගාරය කියා කිසි විටෙක සිතුනේ නෑ.. ආගමික කටයුතු අවසන් වුන ගමන් තිබෙන්නේ නවක සිර කරුවන් ඇමතීම...
අළුත් අය එන්න.... ඉඳගන්න... හරි.. මේ ටික අහගන්න...
යාළුවෝ ඉන්නවානම් එයාලත් එක්ක ඉන්න... බලෙන් කිසි දෙයක් දෙන්න එපා... තමන්ගේ කැමැත්තෙන් දෙන දෙයක් විතරක් දෙන්න... කාගෙවත් බලහත්කාරකම් වලට යට වෙන්න එපා.. එහෙම කවුරු හරි කලොත් මට කියන්න... මේ අවුරුදු 25ක විතර කඩවසම් කොල්ලෙකුගේ හඬ.... ඔහු තම කටින් ඊ වාට්ටුව මනාව පාලනය කරනවා... අපරාදේ තරුණ ජීවිත කියලා මට හිතුනා.. රෑ පුරාම දැක්ක ඔහුගේ නායකත්ව ගුණාංගයන් අපරාදේ විනාශ වෙලා යන්නේ කියලා මට සිතුනු වාර අනන්තයි....
මතු සම්භන්ධයි.....
ප.ලි. : කියන්න තියෙන දේ භාගෙට කියන්න හොඳ නැති නිසා තව කොටස් දෙකක්වත් දාන්න වෙයි.. ඊලඟ පෝස්ට් එකෙන් හිර ගෙවල් ඇතුලට සල්ලි, ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද කියන එක සවිස්තරාත්මකව කියන්නම්.. ඒ භාණ්ඩවල මිල ගණන් ඇහුවම තමයි ඔබට තරු විසිවෙන්නේ....



මේක ගත්තේ අභීත ලියන "ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න" කියන බ්ලොග් එකෙන්(අවසර ඇතුව).http://tikakhinawenna.blogspot.com/
සිදුවීම වගේම ලස්සනට ලියලත් තියෙන නිසා අපේ කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා.
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
තුන් වැනි කොටස
මගේ මේ සීරීස් එකේ තුන්වන කොටස ඉතාම පරක්කුයි කියලා දැන දැනත් මම මේ ලියන්නේ පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ඕන නිසා.. ඒ නිසා කල් ඉකුත් වූ මාතෘකාවක් වුනත් මම මේ ගැන ලියලා ඉවර කරනවා කියලා හිතුනා... පන්සිල් අරගෙන අළුත් අය අමතන තැනට එනතුරු මම ලියලා තිබ්බ.. දැන් ලියන්න යන්නේ රිමාන්ඩ් බන්ධනාගාර දිනයේ ලබපු අපූරුම හා අමුතුම අත්දැකීම් ටික.. එහෙනම් මෙන්න...
පන්සිල් අරන් කට්ටියම තමන් තමන් ඉන්න තැන් වලට ගියා.. සුද්දාත් ඒ පිටිපස්සෙන් මමත් ගියේ ඔවුන්ගේ කණ්ඩායම හිටපු තැනට.. ඔක්කොම වටවෙලා ඉඳගත්තා.. පහන් තිරයක් දැල්වුන පුංචි පහණක් රවුම මැදට ආවා... ඊයම් කොල, දුඹුරු පැහැ කුඩු ස්වල්පයක් දමා තිබුණු පුංචි කුඩු පැකට් එකක් රවුම මතට ආවා කියලා කියනවාට වඩා කණ්ඩායමේ කට්ටිය වැඩැම්මුවා කිව්ව කියලා කීවොත් තමයි හරි.. ඒ ආම්පන්න ටිකට ඒ තරම්ම පුද සත්කාර ලැබුනා.. කුඩු බින්දුවක්වත් අපතේ යන්න ඔවුන් ඉඩ දුන්නේ නෑ.. මොන හේතුවකටද මන්දා ඒ පහන දැක්කම මට මතක් වුනේම ඇලඩින්ගේ පුදුම පහන... කොච්චර අයථා වැඩ කලත් කිසි දිනෙක කුඩු නොබීපු මට කුඩු ගසන ආකාරය සියැසින් දකින්නට මට වාසනාව ලැබුනා.. අපේ කණ්ඩයමේ වැඩ බලන ගමන් මම අවට නෙත් හෙළුව.. මෙතනනේ දිව්‍ය ලෝකේ.. එක තැනක බූරුවා ගහනවා හතර දෙනෙක් වට වෙලා.. ගොඩාක් තැන්වල තිබ්බේ අපේ කණ්ඩායම වගේ කුඩු රවුම්... ගංජා ගහන අය වගේම දුම්කොලයක් කඩදාසියක ඔතලා අඩු වියදම් සූස්ති අදින වුනුත් අනන්තවත් එතන හිටියා.. ඒ අතරේ මාව පුදුමයට පත්කරමින් වෙළෙන්දෝ දෙන්නෙකුත් මැදින් ගමන් කලා... මේ ඔවුන් එහා මෙහා ගමන් කරමින් කෑ ගසමින් විකුණපු භාණ්ඩ...
කේ ජී තියෙනවා... ඕන අය ඉල්ලන්න... කේ ජී තියෙනවා ඕන අය ඉල්ලන්න....
හිරියාලේ දුංකොල ගෙනාවා... පිටිපස්සට එන්න....
මේ ඔවුන් විකුණපු හැටි..ඒත් එදා කවුරුත් ඒවා ගන්න ගියා කියලා මම දැක්කේ නෑ.. මේ අසිරිය නරඹමින් ඉද්දි සුද්දා මගේ ලඟට ආවේ අහසේ පාවීගෙන... මේ ඊලඟ කොටස....
සුදු අයියේ.. අර අයියා කීවා නේද පොඩි දෙයක්. අපිට පොඩි උදව්වක් ඕනේ..
කියන්න සුද්දා.. මොකක්ද සීන් එක...
මෙහෙමයි, මෙතන ඉන්නේ ස්ථීර පස් දෙනෙක්.. ඉතින් ඔයාට ඉඩ දෙන්න ඕන නිසා මෙතන එකෙක් යනවා අයින් වෙලා.. ඌට මොනාහරි කරන්න ඕන...
ම්ම්ම්ම්..... කියන්න සුද්දා...
මෙහෙමයි රුපියල් දාහක් දෙන්න... එතකොට මම අනිත් ඔක්කොම බැලන්ස් කරන්නම්..
සල්ලි ගේන්න දුන්නේ නෑනේ සුද්දා..
අයියෝ.. ගෙදරට කෝල් කරලා අපි දෙන නම්බර් එකට රුපියල් 1100ක් ඊසි කෑශ් කරන්න කියන්න...
කෝල් කරන්න? මගෙන් ප්‍රශ්ණයක්..
ඔව්. ඉන්න මම දෙන්නම් ෆෝන් එකක්... ඒ ගජියා.. උඹේ ෆෝන් එක අරන් වරෙන් මෙහෙට....
මේ ක්‍රියාදාමය මාව ඒ වෙලාවේ විස්මයට පත් කලා.. අළුත් තාක්ෂනය සිර කරුවන් ප්‍රයෝජනයට ගන්න හැටිනම් හරිම අපූරුයි...
අයියේ මෙන්න මේ නම්බර් එකට සල්ලි දාන්න කියන්න.. අවුලක් නෑ නේද? සුද්දා මගේන් විමසුවේ කොල කෑල්ලක ලියා තිබුන දුරකථන නොම්මරයක් පෙන්වමින්.. මම මගේ සගයෙකුට කථා කොට එම කාර්‍යය විනාඩි කිහිපයක් තුල ඉටු කලා.. අන්න එතන ඉඳන් තමයි සැලකිලි පටන් ගත්තේ...
අයියේ නා ගත්තේ නෑ නේද තවම... එන්න යන්න..
අයියේ කලිසම මම හේදුවා.. ටී එකත් හේදුවා.. හෙට යන්න පුළුවන් වෙන්න වේලලා දෙන්නම්.. බය වෙන්න එපා...
හිටගෙන ඉන්න එපා දෙවියෝ... ඉඳගන්න... මෙන්න කොට්ටේ..
හරි අයියේ.. ඔයා ටොයිලට් එකට යන්න.. මම වතුර එක ගෙනත් දෙන්නම්...
ඉන්න අයියේ.. මම එලන්නම් ශීට් එක.. මෙතනින් නිදා ගන්න...
මේ අයුරින් සියළු දේවල් මට අවැසි විදිහට ඉටු වුනා.. රුපියල් 15000ක් වැය කරන්න පුළුවන්නම් හැමදාම මේ ආකාරයෙන් වැජඹෙන්න පුලුවන් බව මම පිටව එන්නට කලියෙන් මගේ මිතුරා මට කිව්වා.. ඒ නිසා අර රුපියල් දහ්සේ ආනුභාවයෙන් ඉතා සුව පහසු රිමාන්ඩ් දිනයක් මට උදාවුනා... දැන් ඔයාලට ප්‍රශ්ණේ තියෙන්නේ එහෙම සල්ලි නොදුන්න අයට වුන දේ සහ ඒ ගන්න සල්ලි වලට ඔවුන් කරන්නේ මොනාද කියන එක වෙන්න ඇති...
එහෙම නොදුන්න අයට නිදාගන්න වෙන්නේ ඉතා සීමිත ඉඩක.. ඒක නිදා ගන්නවට වඩා ඉදගන්න තරම්වත් ප්‍රමානවත් නැති ඉඩක්.. උසාවියේ සිට එනවිට රාත්‍රී කෑම බෙදා අවසන් නිසා රාත්‍රී අහාරය ගැනීමට ක්‍රමයක් ඔවුන්ට නැහැ... මූණ හේදීමට හෝ වැසිකිළි අවශ්‍යතාවන් ඉටු කර ගන්නවත් සෑහෙන දුක් ගොන්නක් ගෙවන්න වෙනවා... මේ ආකාරයේ නොයෙකුත් ගැහැට විඳින්න ඕන කියන එක රිමාන්ඩ් බන්ධනාගාරයට අළුතෙන් යනවානම් සිහි තබා ගත යුතුයි...
රාත්‍රී ආහාර වෙලාව උදා වෙලා.. හතරට විතර ගිහින් ගෙනාපු රාත්‍රී කෑම එක කට්ටියම වට වෙලා කන්න පටන් ගත්තා... මමත් අත දාන්න හැදුවේ...
ඔයා ඉන්න අයියා.., අපි කවන්නම්... පුදුමයෙන් කීකරු වුනා හැර මම ඔවුනට විරුද්ධ වෙන්න ගියේ නෑ..
රාත්‍රී අහාරයෙන් පසුව මම එවපු රුපියල් දහසෙන් ඔවුන් තවත් මත්කුඩු පැකට් දෙකක් මිලදී ගත්තා.. එය පානය කර අවසන් වනවිට මමනම් සුව නින්දේ... නැවත මට අවදි වුනේ පාන්දර 6ට... ඒ රූපවාහිනියේ පිරිත් සද්දයෙන්...
ආ.. ගුඩ් මෝනින් අයියා.... මෙන්න ඇඳුම් ටික.
ඉතා පදමට සෝදා වේලා මැද තිබූ ඩෙනිම හා ටී ශර්ට් එක සුද්දා මගේ අතට පත් කලා..
තැන්ක් යූ සුද්දා...
එන්න අයියේ... ටක් ගාලා ගිහින් මුහුණ හෝදා ගමු...
සියළු උදව් කරමින් මා හට පිහිට වූ සුද්දා මගෙන් සමුගත්තේ මෙහෙමයි...,
හදිසියේවත් ආයෙත් ඇප දුන්නේ නැත්නම් බය නැතුව ඉන්න.. මට තව මාස හයක් විතර ඉන්න වෙයි... උදේට කන්න අර අයියා එවන්න කිව්ව ඔයාව එයාලගේ එකට... බුදු සරණයි අයියේ... පරිස්සමින් ගිහින් එන්න..
බොහොම ස්තූතියි සුද්දා.. මම යනවා එහෙනම්...
ඊ වාට්ටුවෙන් එලියට බැස්සේ ඇත්තටම පුංචි දුකක් හිතේ තියාගෙන... මැර වැඩ කලත් මොන මොන දේ කලත් බොක්කෙන් පිරිසිදු කොල්ලො සමූහයක් එතන හිටියා.. ඒ වගේමයි නරකට සීමාව ඉක්මවා කේන්ති ගන්නවා එතන ඉන්න 90%ක්. ගොඩාක් අය රිමාන්ඩ් ගත වෙන්න ලොකුම හේතුව එය කියලායි මට හිතුනේ...
ඊ වාට්ටුවෙන් සමුගත් මම එළියට එනකොට චරියා මාව පිළිගන්න ගේට්ටුව අසලට ඇවිත් හිටියා..
උඹට ඊයේ රෑ මොනා හරි අවුලක් උනාද?
නෑ මචන්, ගෙදර ඉන්නවාට වඩා හොඳට හිටියා..
සුද්දා හොඳ එකා.. ඒකයි මම උඹව ඌටම භාර දුන්නේ.. වරෙන් යන්න.. උදේට අපිත් එක්ක කමු..
උගේ වාට්ටුවට ගිහින් පොඩි පිගන් දෙකකට බත් බෙදාගත්ත අපි දෙන්න කතාවට වැටුනා...
අභියා.. උඹට අළුතින් කියන්න ඕන නෑනේ මම මොකටද මේකට ආවේ කියලා...
නෑ මචන්, මම ඒ කාලෙත් උඹට කිව්වනේ අරක්කු සිගරට් ඕන දෙයක් බීපන්.. ඒත් ඕක කරන්න එපා කියලා...
මම නැවැත්තුවා බන්... එතකොට පරක්කු වැඩියි..
අනේ පලයන් බන් යන්න... නැවැත්තුවානම් කොහොමද පොලීසියට අහුවෙන්නේ...
මම දවස් දෙක තුනක් පොලීසියට චාටර් වුනා බන්.. උන් දවසක් නිකන් බෝඩිමේ ඉද්දි මාව අල්ලගෙන ඇවිත් කුඩු පැකට් එකක් එක්ක ඇතුලට දැම්මා බන්... (මේ කතාව කොච්චර දුරට ඇත්තද කියලා මම දන්නේ නෑ..) අන්තිමේට මේක ඇතුලට ආවට පස්සේ වෙනදට වැඩියි මචන්.
කොහොම හරි උසාවි යෑම සඳහා අපි ඊ වාට්ටුවෙන් එළියට ආවා.. ජේලර්ලා එනවා අපිව ගන්න...
ආ ළමයි.. අද ගෙදරින් එහෙම එනවා ඇති උඹලගේ නේ...
එනවා සර්..., සර් ද අද උසාවි... ලොකු දෙයක්.. මෙහෙම කියන සිරකරුව පස්සෙ එකිනෙකාට මෙහෙම කියනවා.. අහන හැටි විතරක් *&^& ගානක් කඩාගත්තැකිනෙ ගෙදර උන් ආපුහාම.. හරියට අපිට ආදරේට වගේ...
හරි හරි.. වරෙල්ලා වරෙල්ලා.. මේ උඹලගේ දම්වැල් දාගනිල්ලා..
මුන් උදේ වරුවට නම් හාමුදුරුවරු... ගාන කඩා ගත්තට පස්සේ අපිටමයි අරින්නෙත්... මේ සිර කරුවන්ගේ මුනුමුනුව..
නාම ලේඛනය පරීක්ශා කරපු අපිව බස් එකට දාගෙන උසාවියට ගෙනත් උසාවි බන්ධනාගාරයට දැම්මා..
එතනදි තමයි මම බන්කර් ගහන හැටි ඇස් දෙකට දැක්කේ... පිළිවෙල වෙන්නේ මෙහෙමයි... ඉස්සෙල්ලාම ජේලර් කෙනෙක් එළියට ගිහින් සිරකරුවාගේ ගෙදර මිනිස්සුන්ගෙන් සන්තෝසම ලබා ගන්නවා.. ඊට පසුව සාමාන්‍ය කැන්ටින් ආහාරයක් එක්ක අවශ්‍ය බඩු පොලිතීන් එකක ඔතලා කෑම එක වගේ පවුලේ උදවිය විසින් හිර කූඩුව ඇතුලට ලබා දෙනවා... එම පාර්සලය යන්නේ පලපුරුදු බන්කර් කරුවකු අතට... ඔහු සිර කුටියේ මුල්ලට ගොස් කලිසම පහත් කර ඉදගෙන අර පාර්සලය තම ගුද මාර්ගය අස්සේ සඟවා ගන්නවා...
මගේ නඩුව කියවෙනකොට මම ඇප තියපු මිතුරා අවසන් වතාවට විශ්වාසය රකිමින් උසාවියට ඉදිරිපත් වීම නිසා මාව නිදහස් කරන්නට කටයුතු යෙදුනා... නමුත් ජේලර්ලා මාව එලියට දැම්මේම නෑ.. මමත් දැනගත්තා එන්නේ මොකාටද කියලා.. ඒ නිසා පසුපසටම ගොස් මාව එලියට දානකන්ම හිටියා.. අවසානයේ එක් ජේලර්වරයෙක් මාව ඇමතුවා..
ඔයාව නිදහස් කලානේද?
ඔව්..
යන්න නම් පුළුවන්... ඒත් අර උසාවියෙන් කොලයක් ගන්න ඕන.. මම ඒක ගෙනත් දෙන්නම්.., පොඩි සපෝට් එකක් දෙන්න ඉතින් අපි කට්ටියට...
අතේ සතයක් නෑ.. මගෙ යාලුවත් ගියා.. එහෙනම් අදත් යමු.. මොකද ගෙදර ගියා කියලත් ලොකු වැඩක් නෑ කරන්න...
එහෙම කරන්න එපා..
හරි, එහෙනම් එලියට දාන්නකො.. මම බැන්කුවෙන් සල්ලි අරන් ගෙනත් දෙන්නම්...
අපේ එක්කෙනෙක්ව එවන්නද බැංකුවට....
හා.. ඒත් කමක් නෑ....
මම එලියට ඇවිත් මාත් එක්ක ආපු ජේලර්ට කිව්වා ඔයා අපහු යන්න.. මම වීල් එකක ගෙදර ගිහින් ගෙදරින් සල්ලි ඉල්ලගෙන තමයි වීල් එකට ගෙවන්නෙ කියලා...
ඔන්න ඔහොමයි රිමාන්ඩ් කතන්දරේ සිදුවුනේ... ආයෙත් රිමන්ඩ් එකට යන්න ආසයි.. ඒත් හිරේට යන්නනම් මෙලෝ ආසවක් නෑ..

මේක ගත්තේ අභීත ලියන "ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න" කියන බ්ලොග් එකෙන්(අවසර ඇතුව).

http://tikakhinawenna.blogspot.com/
සිදුවීම වගේම ලස්සනට ලියලත් තියෙන නිසා අපේ කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා.