රොහාන් පෙරේරා කියන්නේ කවුද ?
(රොහානියානු දර්ශනය)
මහා දාර්ශනිකයන් නොවන සාමාන්‍ය මිනිස්සු කීපදෙනෙක්ම ඉහත මාතෘකා කල ප්‍රශ්නය අහපු නිසා දන්න විදිහෙන් ලියනව.
(රොහාන් පෙරේර කියන්නෙ මම මනෝ විශ්ලේෂණය ඉගෙනගත් ගුරුවරය)
රොහාන් පෙරේරා කියන්නේ අපේ කාලේ ජීවත් වෙච්ච සමාජ විප්ලවයක් ඇති කරපු,
සුවිශේෂී බුද්ධිමතුන් පරම්පරාවක පුරෝගාමියකු ලෙස සලකන,
90 දශකයේ බිහි වූ නව දේශපාලන කතිකාවක පුරෝගාමී සද්ධන්තයෙක් වන, අමුතුම අමුතු සිතුවිලි, ආකල්ප, හැසිරීම් ඇති බොහොම රහසිගතව පෞද්ගලිකව ජීවත් වෙච්ච ලොකු පුස්තකාලයක් වගේ දැනුමක් තිබ්බ හරිම අහිංසක පෙනුමක් තියෙන මනෝ විශ්ලේෂණයෙන් මේ ලෝකයේ බොහෝ දේවල් ලස්සනට විශ්ලේෂණය කරන සරල මනුස්සයෙක්.
සමහර අය රොහාන්සර්ට පට බැඳලා තිබුණ නම "බුද්ධා".
ඔහු මනෝ විශ්ලේෂකයෙක්. දේශපාලන විශ්ලේෂකයෙක්.
සිනමා විශ්ලේෂකයෙක්.
කලා විශ්ලේෂකයෙක්.
ඒ වගේම ඔහු හොඳ පර්යේෂකයෙක්.
ඔහු අදහන සමහර න්‍යායන් ඔහු සමාජයේ ප්‍රායෝගිකව අත්හදා බලන්නත් පසුබට වුණේ නැහැ ඒව ගැනත් බොහෝ විචාරකයන් සමාජයේ තියෙනවා.
80,90 දශකන්හි හෙවත් විශාල දේශපාලනික, ආකල්පමය සහ දෘෂ්ටිවාදීමය වශයෙන් විශාල පෙරළියක් ඇතිවෙමින් තිබුණු කාලෙක ඒ යුගයේ තරුණයන්ගේ දැනුම පිපාසයට අවශ්‍ය දැනුම සෙවීම සහ බෙදාදීම කරපු වෙනස් ආරක දෘෂ්ටිවාද සමාජයට එකතු කරපු මොළ වෙනස් කරපු මනුස්සයෙක් තමා රොහාන්.
ෂාක් ඩෙරීඩා ගැන, ෆ්‍රොයිඩ් , ලැකාන් ස්ත්‍රීවාදය ගැන, ව්‍යුහවාදය ගැන කියා දුන්න රෝහන්ගේ මම ආසම කරපුම ලිපිය තමයි "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට"
රොහාන් සර්ට තියෙන අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනත් සුදුසුකම් මොනවාද කියලා කවුරුත් දන්නේ නෑ. හැබැයි එයාගේ දැනුම ,විචාර බුද්ධිය හා කථිකාව ගෙනයන style එක එක්ක හැප්පෙන්න පුළුවන් මහාචාර්යවරු ලංකාවේ ඉන්නවද කියලා නම් මම දන්නෙ නෑ.
සර් ඉගැන්නුවේ විශ්වවිද්‍යාලවල නෙවෙයි.අපිම සල්ලි එකතු කරලා පොඩි තැනක් අරගෙන පුංචියට පන්තියක් තමයි කරන්නේ.
ඒ පන්තියටත් රොහාන් සර් ශිෂ්‍යයන්ව ගන්නේ දැන හැදුනුම්කම් එක්ක සෑහෙන කාලයක් විස්තර හොයලා බලලා සුදුසුකම් ඇති බොහොම සීමිත පිරිසක්.
ඒ සුදුසුකම් අතරේ අමුතු අමුතු සුදුසුකම් තිබුණා.උදාහරණයක් විදිහට කසාද නොබැඳපු තනිකඩ පිරිමි පන්තියට ගන්නවා නම් ඒ ඉතාම සාධාරණ හේතුවක් තිබුණොත් පමණයි.
ඒ එයාගේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ
දැනුම බෙදපු විදිහ.
ඔය පන්තිවලටත් ඉතින් විවිධ ආකාර විවේචන සමාජයේ තිබුණා.
රොහාන් සර් ගොඩක්ම ලිව්වා.පොත්, සඟරා, වාර ප්‍රකාශන ආදියට හුඟාක් ලිව්වා,ජාතික චිත්‍රපට සංස්ථාවේ සඟරාවලට ලියපු හැම ලිපියක්ම මම කියවලා තියෙනවා.
රොහාන් සර් මාධ්‍යවල ප්‍රසිද්ධිය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ.සමාජ මාධ්‍යවල හිටියේ නැහැ. සංවිධාන හැදුවේ නෑ.ජීවත් වුණේත් තනියම.
මහ පුදුමාකාර ගුප්ත ජීවිතයක්.
සර් එක කතා කරාම ටික වෙලාවක් දැනෙන්නේ මහා ගුප්ත තේරුම් ගන්න බැරි අමුතුම film එකක් බැලුවා වගේ හැඟීමක්.
එයාගේ ළඟට එන හැම ළමයෙක්වම එයා හොඳට කියවනවා.
Ego එක නැති වෙන්න හොඳට දෙහි කපනවා.ඒ එයාගේ ක්‍රමය.
කිසිම දෙයක් හංගල කියන්නේ නැහැ හැම දෙයක්ම මූණට කියනවා.
රොහාන් පෙරේරා ඉතාම පුංචි හිතාගන්න බැරි තරම් සරල මනුස්සයෙක්.ඒත් ඒ ඇතුලේ විසල් කම අපිට තේරුම් ගන්න තාමත් බෑ.
බොහෝ දෙනෙකු පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ආත්ම කේන්ද්‍රීය බුද්ධි ධාරාවේ කර්තෘ වන්නේ රොහාන් පෙරේරායි.
ඔහු මනෝ විශ්ලේෂණය නම් විෂය හරහා ස්ත්‍රී ආත්මය කේන්ද්‍රීයව එතෙක් පැවැති දර්ශන වාදයන් වලට පහර ගැසීම දිගින් දිගටම ඉතා තර්කානුකූලව සිදු කරා.
රොහාන් පෙරේරා සහ ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල විවේචන සමාජයේ සමහර තැන්වල තිබුණා.
"සම්මත සදාචාරවාදී පවුලට හානි කරන කෙනෙක්."
"මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරන කෙනෙක්"
"පිස්සෙක්"
"පවුල් කඩන්නෙක්"
ඔය වගේ ගොඩක් දේවල් සර් ගැන මිනිස්සු කියනවා.(ඇහිලා තියෙන ටික)
රොහාන් පෙරේරා ජීවත්ව සිටින තාක්ම ඔහුට වෛරක්කාරයන් හා තරහකාරයන් තමයි වැඩිපුරම හිටියේ. සර් එක හැම වෙලාවෙම කිව්වා. සමහර මිනිස්සු මාව මරන්න පුළුවන්නම් මරනවා කියලා.
(ජීවත්ව ඉන්නකම් ඒ මනුස්සයා ගැන හොඳක් තියා එහෙම කෙනෙක් ඉන්නවද කියලවත් සඳහන් නොකරපු සර්ගේ නම ඇහුනහම බැනපු අයත් සර්ව අගය කරලා ගොඩක් දේවල් ලියනවා දැක්කා මලාට පස්සෙ.,ඒත් ඒක හරි සතුටක්.)
මනෝ විශ්ලේෂණයත් එක්ක බොහොම ලස්සනට එකතු කරලා බුද්ධ දර්ශනය ගැන ඉතාම ගැඹුරු බොහෝ දේවල් කියලා දුන්න රොහාන් සර්ගේ මරණින් පස්සේ තමයි දැනගත්තේ එයා මුස්ලිම් මූලයක් තිබ්බ කෙනෙක් කියලා.
අවසාන වශයෙන් එයාගේ සිරුර මුස්ලිම් ආගමික චාරිත්‍ර අනුව තමයි භූම දානය කළේ.
....
සුභ ගමන් සර්..❤❤
ආදරෙයි.
නිවන් සැප ලැබේවා.!!