ඇසට ප්‍රිය රූප අරමුණක් ලැබීමෙන් ඇතිවන චක්ඛුද්වාරික ච්ත්ත වීථීයේ සිත් ඇතිවන අනුපිළිවෙල විමසා බලමු.
1. භවංග – ඇසට රූප අරමුණ ලැබීමට මොහොතකට පෙර ඇතිවන භවංග සිත.
2. භවංග චලන – ඇසට රූම අරමුණ ලැබුණු වහාම ඒ හේතුවෙන් සෙලවෙමින් උපදින භවංග සිත.
3. භවංග උපච්ඡේද – ඇසට ලැබුණු රූප අරමුණට අදාලව නව සිතක් ඉපදීමට ඉඩදෙමින් නැතිවී යන (උපච්ඡේද වන) භවංග සිත.
4. පංචද්වාරාවජ්ජනය – අරමුණ ලැබුනේ දොරටු 6 න් කුමන දොරටුවටදැයි විමසා බලමින් ඇතිවන උපේක්ඛා සහගත පංචද්වාරාවජ්ජන සිත. (අහේතුක කිරිය සිත)
5. චක්ඛු විඤ්ඤාණය – ප්‍රිය රූප අරමුණක් ලැබී ඇති හෙයින් උපේක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණ සිත උපදී. (අහේතුක කුසල විපාක සිත).
6. සම්පටිච්ඡනය – එම ප්‍රිය රූප අරමුණ පිළිගනිමින් උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත උපදී.
7. සන්තීරණය – ඇසට ලැබුණු එම රූප අරමුණ කුමක්දැයි තීරණය කරමින් උපේක්ඛා සහගත සන්තීරණ සිත උපදී. (අහේතුක කුසල විපාක සිත)
8. වොත්ථපන – එම අරමුණ තවදුරටත් තීරණය කරමින් උපේක්ඛා සහගත මනෝද්වාරාවජ්ජන සිත උපදී. (අහේතුක කිරිය සිත)
9. ජවන සිත – ප්‍රිය අරමුණ පිළිබඳව සතුටුදායකව තීරණය කර ඇති හෙයින් එම අරමුණ කෙරෙහි ලෝභය ඇති කරවමින් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත උපදී යැයි සිතමු. (පළමුවන ලෝභ සිත) මෙම සිත නැවත නැවතත් සත් වරක් උපදී.
10. ජවන සිත
11. ජවන සිත
12. ජවන සිත
13. ජවන සිත
14. ජවන සිත
15. ජවන සිත
16. තදාරම්මණ සිත – නැවතත් උපේක්ඛා සහගත සන්තීරණ සිත දෙවරක් උපදී. (අහේතුක කුසල විපාක සිත)
17. තදාරම්මණ සිත
තදාරම්මණ සිත් දෙකෙන් පසු යලිත් ඉන්ද්‍රියකට අරමුණක් ලැබී නව චිත්ත වීථීයක් ඇතිවන තුරු දිගින් දිගටම භවංග සිතම උපදී.
භවංග සිත ඉපදීමෙන් මතු විපාක උපදවන තරමේ ප්‍රභල කර්මයක් රැස් නොවේ.
ජවන් සිත් හැර චිත්ත වීථීයේ අනෙකුත් සිත් අහේතුක සිත් වන බැවින් ඒවායින්ද කර්ම රැස් නොවේ.
කුසල, අකුසල කර්ම රැස් වන්නේ චිත්ත වීථීයේ ජවන් සිත් මගින් පමණකි.
ජවන් සිත් සතෙන් පළමුවන ජවන් සිතෙහි කර්ම ශක්තිය මෙලොවදීම විපාක දෙන අතර දිට්ඨධම්මවේදනීය කර්ම මෙලොවදී විපාක නොදුන්නේනම් අහෝසි කර්මයක් වේ.
සත්වන ජවන් සිතෙහි කර්ම ශක්තිය මීලඟ දෙවන භවයේදී විපාක දෙන අතර උපපජ්ජවේදනීය කර්ම ලෙස හැඳින්වේ. දෙවන භවයේදී විපාක නොදුන්නේනම් අහෝසි කර්මයක් වේ.
මැද ජවස් සිත් පහේ කර්ම ශක්තිය තෙවන භවයේ සිට සසරේ ඉඩ ලැඛෙන ඕනෑම මොහොතකදී විපාක දෙන අතර අපරාපරීය වේදනීය කර්ම ලෙස හැඳින්වේ. නැත්නම් අහෝසි කර්මයක් වේ.
සටහන:-
ඉහත චිත්ත වීථීයේ මුල් භවංග සිත් 3 සැබවින්ම චිත්ත වීථීයට අයත් නොවේ. චිත්ත වීථීයේ ආරම්භය මනාව පැහැදිලි වීම සඳහා පමණක් චිත්ත වීථීයට අයත් සේ දක්වා ඇත.