නැවත වරක් පෙන්වා දුන්නේ ශ්‍රිලනිපය ප්රමුඛ සංධානය කැඩී නැති බව ය. මතුපිට එසේ යැයි කෙනෙකුට පෙනුන ද අභ්‍යන්තරය හෙවත් මදය ඉතා ශක්තිමත්, නොකැඩුණු නොබිඳුණු ඒකීය බලයක් බව අද කිරුළපන පෙන්වා දුන්නේ ය. එය මහින්ද අත තිබෙන මහින්දට පාලනය කළ හැකි බලවේගයක් බවට වන තවත් සාක්ෂියකි.
කිරුළ ජනගඟ ඉතා සැර දේශපාලන පණිවුඩ කීපයක් ම රටට ලබා දෙන්නේ ය. පළමුවැන්න නම් ශ්‍රිලනිපය සමානයි මහින්ද පමණකි යන්න ය. එනම් ශ්‍රිලනිප පාක්ෂිකයා ව්‍යාජ ශ්‍රිලනිපයෙන් සැබෑ ශ්‍රිලනිපය මනාව වෙන්කොට හඳුනා ගෙන ඇත. ඔහුට ඒ සාක්ෂරතාව හා සවිඥානිකත්වය ඇත. තවදුරටත් ශ්‍රිලනිපය යනු එහි නිල නාමය හෝ පාලන ව්‍යුහය නොවන බව ඔහු තහවුරු කොට ඇත. බලය යන්න තඹ දොයිතුවකට මායිම් නොකොට බලය නැති මහින්ද තෝරා ගැනීම මෙහි සජීවී උදාහරණයයි. මෙවැනි පෙළගැස්මකට ඉතිහාසයේ පූර්වාදර්ශ නොමැති තරම් ය. එය මහින්දගේ සුවිශාල දේශපාලන ජයග්‍රහණයකි. මෙහි අර්ථය නම් මහින්දට ශ්‍රිලනිපයෙන් බැහැර වෙනත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට පැහැදිළි හැකියාවක් තිබෙන බවට යළි යළිත් වන තහවුරුවකි. එය ඇස්පනාපිට ම පවතින යථාර්ථය බව පෙනෙන්නේ දැවැන්ත විධායකයේ බලය හා බලහත්කාරය යොදා සංවිධානය කළ ගාලු රැලි පසුබිමෙහි ස්වේ්ච්ඡා දේශපාලන නැගීසිටීමක් වූ කිරුළපන ජනගඟ දෙස බලන විට ය. මෙහි අතුරු ඵලයක් ලෙස මෛත්‍රීපාල ප්රමුඛ නිල ශ්‍රිලනිපයේ නායක පිරිස 2020 ජනපතිවරණයේ දී එජාපයට හේත්තු වී රනිල් ජනපති කිරීම සඳහා දැනටමත් හිතාගෙන සිටිනු ඇති බව සිතත හැකි ය.
දෙවැනි පණිවුඩය නම් වත්මන් ආණ්ඩුව පවතින්නේ තවත් එක මැතිවරණයක් එනතුරු පමණක් බව ය. විටෙක ඊටත් මෙහා කඩා වැටීමට හැකිබව කිරුළපන පෙන්වා දුන්නේ ය. අපට වඩා ආණ්ඩුව මෙය වඩාත් හොඳින් දනී. ඒ අනුව, මේ සිතුවිල්ල විසින් ආණ්ඩුවේ දේශපාලනය තව තවත් අඩපණ කරනු ඇති බව පෙනෙන අතර බදුවැඩිකිරීම හා වෙනත් සුභසාධන කප්පාදු ඔස්සේ මහජනයා ආණ්ඩුවෙන් තව තවත් වෙන්ව මහින්දගත වනු ඇත. ආර්ථික ප්රගමනයට ද මෙය සුවිශේෂ ලෙස බලපාන කරුණක් වනුයේ දේශපාලන අස්ථාවරබව ආර්ථිකයේ පරම සතුරා වන හෙයිනි. ආණ්ඩුව ඉදිරියේ දී වියරුවැටුණු ස්වභාවයක් පෙන්වීම ද අපේක්ෂා කළ හැකි ය.
තෙවැන්න නම්, රනිල්-මෛත්‍රී හවුල මෙරට ආණ්ඩුව නම් එහි විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය බව ය. පාර්ලීමේන්තුව තුළ ද එය එසේ පිළිගත යුතු බව කිරුළපන බලකර සිටින්නේ ය. සම්බන්ධන් හා අනුර කුමාර නම් විපක්ෂය මෙරට පාර්ලීමේන්තු දේශපාලන ඉතිහාසයේ මහා ඛේදනීය ප්‍රහසනය බව තහවුරු කොට ඇත්තේ ය. කිරුළපන ජනරාශීය, සැබෑ විපක්ෂ අයිතිය ඒකාබද්ධ විපක්ෂයට ලබා නොදීමට එරෙහි මහා කැරැල්ලක් ලෙස ද මේ අනුව අර්ථ ගැන්විය හැකි ය.
මීලඟ කාරණය නම් රටට බලාපොරොත්තුවක් ඇති බව ය. ආණ්ඩුව ගමන් කරන, අවසානයේ බෙදුම්වාදයෙන් අවසන් වන ෆෙඩරල්වාදී මාවත අවහිර කිරීමට ද මේ ජනබලවේගය යොදාගත හැකි ය. සමාන අයිතිවාසිකම් සහිතව සිංහල, දෙමළ මුස්ලිම් අප සැමට ඒකීය රටක ජීවත් වීමේ අපේක්ෂාව ද මේ පෙළගැස්ම මගින් පෙන්වා තිබේ. මේ අනුව දැන් අප ආණ්ඩුවේ ක්‍රියාවන්ට හුදු ප්‍රතිචාරකයෙකු පමණක් නොවී ස්වාධීන ව අපගේ දේශපාලන ගමන සැලසුම් කළයුතු ලක්ෂයට පැමිණ තිබේ.
Mahinda Pathirana

