කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පුංචි මාෂාට ලොකු වෙනකම් බලාගෙන ඉන්න බෑ. ඒත් එයා දැනගෙන හිටියේ නෑ ලොකු වෙන්න මොනවා කරන්නද කියල. එයා හැමදේම කරලා බැලුවා. අම්මාගේ සපත්තු දාලා බැලුවා. ආත්තම්මගේ කබාය ඇඳලා වාඩිවෙලා බැලුවා. කේට් නැන්දා වගේ කොණ්ඩෙ හදලා බැලුවා. පබළු මාලේ දාලා අත් ඔරලෝසුවබ් බැඳලා බැලුවා.

    ඒත් කිසිම දෙයක් වුණේ නෑ. අනිත් අය ඔක්කොම එයාට හිනා වුනා විතරයි.

    ඊට පස්සෙ දවසක් මාෂා කල්පනා කළා බිම අතුගාන්න ඕනෑ කියලා.

    එයා කොච්චර හොඳට අතු ගෑවද කීවොත් අම්මාත් පුදුම වුණා.

    "ඔයා හැබෑටම ලොකු ළමයෙක් වෙමින් ඉන්නව නොවැ."

    ඊට පස්සෙ දවසක් මාෂා පිඟන් කෝප්ප ටික හේදුවා. ඒවා හැබෑවටම දිස්නය දෙන තරමටම එයා හෝදලා තිබුණා. ඊට පස්සෙ මාෂා ඒවා තෙත බිංදුවක් වත් නැති වෙන තරමට පිහ දැම්මා. ඒ වෙලාවේ නම් අම්මා විතරක් නෙමෙයි තාත්තාත් පුදුම වුණා. තාත්තා කොච්cඅර පුදුම වුණාද කියනවා නම් හැමෝටම ඇහෙන්න මෙන්න මෙහෙම කිව්වා.

    "අපේ මාෂා මෙච්චර ලොකු වුණේ කොහොමද කියල අපි දැක්කෙත් නෑ නොවැ. එය බිම අතුගානවා විතරක් නෙවෙයි, ඒ තරමටම හොඳට පිඟක් කෝප්ප හෝදනවා නේ."

    දැන් හැමෝම පුංචි මාෂාට කතා කරන්නෙ ලොකු දුව කියලා. මාෂාටත් හිතෙන්නෙ දැන් තමන් ලොකු ළමයෙක් කියලායි. ඒත් මාෂා තාමත් දාන්නෙ එයාගෙ පරණ පුංචි සපත්තුමයි. අඳින්නෙ පුංචි ගවුම් පොඩිමයි. ඒ වගේම කොණ්ඩ මොස්තර දාන්නෙත් නෑ, පබළු මාල දාන්නෙත් නෑ, ඔරලෝසුවක් බඳින්නෙත් නෑ.

    පැහැදිලිව පේනවා මේ දේවල් නොවෙයි පුංචි අයව ලොකු කරන්නෙ කියලා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    3-1.jpg

    තාරා පැටියා බිත්තරයෙන් එළියට ආවා.
    "මම එළියට ආවා!" ඔහු කීවා.




    3.JPG

    "මමත් එළියට ආවා!" කුකුල් පැටියා කීවා.


    4-1.jpg

    "මම ඇවිදින්න යනවා" තාරා පැටියා කීවා.
    "මමත් ඇවිදින්න යනවා" කුකුල් පැටියා කීවා.

    4-2.jpg

    "මම ගුලක් හාරනවා" තාරා පැටියා කීවා.
    "මමත් ගුලක් හාරනවා" කුකුල් පැටියා කීවා.

    5-1.jpg

    "මම පණුවෙක් හොයාගත්තා" තාරා පැටියා කීවා.
    "මමත් හොයා ගත්තා" කුකුල් පැටියා කීවා.

    5-2.jpg

    "මම සමනලයෙක් ඇල්ලුවා" තාරා පැටියා කිව්වා.
    "මමත් ඇල්ලුවා" කුකුල් පැටියා කිව්වා.

    6-1.jpg

    "මට නාන්න ඕන" තාරා පැටියා කිව්වා.
    "මටත් නාන්න ඕන" කුකුල් පැටියා කිව්වා.

    7-1.jpg

    "මම පීනනවා" තාරා පැටියා කිව්වා.
    "මමත් පීනනවා!" කුකුල් පැටියා කෑගැහුවා.

    7-2.jpg

    "බේරා ගනිල්ලා!"

    8-1.jpg

    තාරා පැටියා කුකුල් පැටියාව බේරා ගත්තා.

    8-2.jpg

    "මම ආයෙත් නාන්න යනවා" තාරා පැටියා කිව්වා.
    " මම යන්නෙ නෑ" කුකුල් පැටියා කිව්වා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකොමත් එක රටක වෘකයෙකුයි හිවලෙකුයි කැලෑවක හිටියා. වෘකයාට කොළ අතු වලින් හදා ගත්තු ගෙයක් තිබුණා. හිවලා වාසය කළේ හිම වලින් හදාපු ගෙයක. ඉතින් ඔහොම ඉන්න කොට වසන්ත කාලය ආවා. ඉර අව්වට හිම දියවෙලා ගියා. හිවලා වෘකයා ලඟට ඇවිත් රෑට නවතින්න අවසර ඉල්ලුවා.

    IMAGE0001.JPG


    " අනේ රාළහාමි ගෙට වැදිලා උණුහුම් වෙන්ට මට අවසර දෙන්න"

    "මගේ ගේ බොහොම පුංචියි. මටවත් හැරෙන්ට ඉඩ නෑ. ඉතින් නුඹට කොහොමද ඉඩ දෙන්නෙ" කියලා වෘකයා ඇහුවා.

    හිවලාට ගෙට ඇතුළු වෙන්ට වෘකයා අවසර දුන්නේ නෑ.

    හිවලා දෙවැනි දවසෙත් ආවා. තුන්වෙනි දවසෙත් ආවා. ඔහොම හැමදාම වෘකයා ලඟට ඇවිත් අවසර ඉල්ලන්ට පටන් ගත්තා.

    "එළිපත්තට හරි ගොඩ වෙන්න අවසර දෙන්න රාළහාමි!"

    වෘකයාට දුක හිතිලා හිවලාට ගෙට ඇතුළු වීමට අවසර දුන්නා. පළමුවැනි දවසෙ රෑ හිවලා එළිපත්තෙ නිදා ගත්තා. දෙවැනි දවසෙදි හේ ඇතුලටම ආ හිවලා තුවැනි දවසේ දී ගිනි තපින ලිපේ පඩිය උඩට වෙලා උණුහුමට නිදා ගෙන රඉට තනියම කතා කරන්ට පටන් ගත්තා.

    වෘකයාට හිවලාගේ කතාව ඇහුණා.

    "හිවල් හාමි නුඹ ලඟ කවුද ඉන්නේ?"

    "මා ලඟ කවුරුත් නෑ රාළහාමි" කියලා කිවලා කිව්වා.

    ආපහු ද්දෙනාම නිදාගන්ට සැරසුණා. හිවලා කකුලෙන් දුම් බටයට තට්ටු කලා.

    "ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්!"

    වෘකයාට ඇහැරුණා.

    "හිවල් හාමි ගිහින් අහපන් කවුද දොරට තට්ටු කරන්නෙ කියල?" වෘකයා කිව්වා.

    හිවලා නැගිලටා ඉස්තෝප්පු කාමරේට ගියා. එතැනින් ගබඩා කාමරයට රිංගුවා. මේ කාමරේ තමා වෘකයා කෑම බීම ගබඩා කරලා තියෙන්නෙ. දී කිරියි, වෙඞරුයි හොයාගෙන හිවලා තලු මර මරා කන්ට පටන් ගත්තා.

    "වෘකයාගේ දී කිරියි, වෙඞරුයි හරිම රසයි" කිය කියා හිවලා කෑවා.
    IMAGE0003.JPG

    හිවලා දී කිරියි, වෙඞරුයිසේරම කාලා, භාජනත් ලෙව කෑවා.ගබඩාව හැමතැනම පිටි විසි කරලා හිවලා ලිප උඩට නැගලා තොල කට ලෙවකන්ට පටන් ගත්තා.

    "හිවල් හාමි නුඹ කා එක්කද දොර ලඟ හිටගෙන කතා කලේ?" කියලා වෘකයා ඇහුවා.

    "මාව අඞගහගෙන යන්ට කට්ටියක් ආවා. ලොකු මගුල් ගෙදරක්. එහෙ බොහොම ජයට කෑම බීම ඇතුව මගුල් කෑමක්. මට බැහැ කියලා කිව්වා"

    වෘකයා හිවලාගේ කතාව විශ්වාස කලා.

    "මම දර කඩාගෙන එන්නම්. ලිප ගිනි මොළවන්නම්. නුඹ ගබඩා කාමරේට ගිහින් දී කිරියි, වෙඞරුයි, පාන් පිටියි හොයාගෙන වරෙන්. අපි උදේට කෑම ටිකක් හදමු" කියලා වෘකයා කිව්වා.

    හිවලා ගබඩා කාමරේට ගිහින් ආපහු හැරිලා ඇවිත් කියනවා:

    "අනේ රාළහාමි මම වයසට ගිහින්. ඇස් පෙනීම දුර්වලයි. කිසි දෙයක් හොයා ගන්ට බැහැ. රාළහාමි ගිහින් බලන්ඩ."

    වෘකයා ගබඩා කාමරයට ගිහිල්ලා රාක්ක උඩත් බැලුවා. යටත් බැලුවා, දී කිරිත් නෑ. වෙඞරුත් නෑ. වෘකයා හිවලාගෙන් මෙහෙම ඇහුවා.

    "මගෙ දී කිරියි, වෙඞරුයි, පිටියි ඉහිරවලා දැම්මේ නුඹ නෙවද?"

    "මගේ ඇස් පේන්නේ නැහැ. මම හරිම අවසනාවන්තයෙක්. දී කිරියි වෙඞරුයි මම දැක්කෙ නෑ. පිටි ඉහිරුවෙත් නෑ.!"

    මෝඩ වෘකයා කපටි හිවලාව විශ්වාස කලා. ඌට ගෙදර නැවතීමට වෘකයා ඉඩ දුන්නා.

    අවුරුද්දක් ගෙවී ගියා. හිවලා වෘකයාගේ ගෙදර අතහැර ගියේ නෑ.

    හිවලා වෘකයාගේ ගෙදර ස්ථිර පදිංචිකාරයෙක් වුණේ ඔය විදිහට.

    රුසියානු ජන කතාවක් ඇසුරිනි.
    පරිවර්තනය - දැදිගම වී රුද්‍රිගු
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකොමත් එක කාලෙක පුංචි මී පැටියෙක් හිටියා. එයා දවසක් ගමනක් යන්න පිටත් වුණා. මී පැංචාගේ ආච්චි අම්මා එයාට මගදි කන්න කියලා කැවුම් ටිකකුත් හදලා දුන්නා. ඊට පස්සෙ ආච්චි අම්මා දොරකඩට යනකම් මී පැංචත් එක්ක ගිහින් එයාගේ ගමනට ආශිර්වාද කළා.

    මී පැංචා හිමිදිරි පාන්දර ගමනට පිටත් වෙලා ගියායින් පස්සෙ ආයිමත් ගෙදර ආවේ හොඳටෝම හැන්දෑ වෙලා.

    "ආච්චි අම්මේ..." මී පැංචා කෑ ගහගෙන ගෙට ගොඩ වුණ ගමන් අත් දෙක ඔසවාගෙන මෙහෙම කිවුවා.

    " මට තමයි මේ කැලේටම ඉන්න ශක්තිමත්ම, දක්ෂම, නිර්භීතම එක්කෙනා."

    "පුතා කොහොමද එහෙම කියන්නෙ" ආච්ච් අම්මා ඇහැවුවා.

    "ආච්චි අම්මේ මම ඇවිදලා..ඇවිදලා ගිහින් මුහුදක් ලඟ නතර වුණා. ඒක ගොඩාක් ලොකු මුහුදක්.ඒ මුහුදේ ගොඩාක් ඉහළට රැල්ල ගහනවා. ඒත් මම චුට්ටක්වත් බය වුණේ නැහැ. මං රැල්ලට උඩින් පැනලා පිහිනලා එගොඩ වුණා.

    "හා..හා..මම දන්නවා ඔය කියන මුහුද" ආච්චි අම්මා යන්තමින් සිනා සී කිවුව.

    " ඔය කියන මුහුද පිණි මුවෝ දුවපු අඩි පාරක්. ඒ අඩි පාරේ වතුර පිරුණාම පුතාට ඒක මුහුදක් වගේ පේන්න ඇති""

    මී පැංචා ආයිමත් කතාව පටන් ගත්තා.
    IMAGE0001.JPG

    "ඉතිං ආච්චි අම්මේ.. මම තව ටික දුරක් ගියා. ඔහොම යනකොට යනකොට මහ ලොකු කන්දක් හමුවුනා. අයියෝ..ඒක නම් හරිම ලොකු කන්දක් ආච්චි අම්මේ. ඒ කන්ද උඩ තිබුණු ගස් වළාකුළු වල ගෑවෙන තරම් උසයි."

    "පුතා ඔය කියන කන්ද ගැනත් මම හොඳට දන්නවා""

    ආච්චි අම්මා සිනා සෙමින් කිව්වා.

    "පුතා ඔය කියන කන්ද මඩ කඩිත්තක් ලඟ වැවිලා තියෙන තණ පඳුරක්.

    මී පැංචා එයාගේ ඊලඟ හපන්කම ගැනත් කියාගෙන ගියා.


    "ආච්චි අම්මේ...මං ඉතිං ඔහොම යනකොට වලසුන් දෙදෙනෙකුත් මුණ ගැහුණා. එක වලහෙක් සුදු පාටයි. අනෙකා දුඹුරු පාටයි. උන්දෙන්න නපුරු විදියට රංඩු කරගත්තා. මම උන්දෙන්නා මැදට පැනලා දෙන්නා දෙපැත්තට කරලා රංඩුව බේරුවා."


    "වලස්සු දෙන්නෙක්. ඒ කවුද දන්නවාද පුතේ. එක්කෙනෙක් සුදු සමණලයෙක්. අනෙකා මී මැස්සෙක්."

    එහෙම කියලා ආච්චි අම්මා මහ හයියෙන් හිනා වුනා.

    "මයෙ පුතේ ඔයා හුඟක් පුංචි හන්දා වතුර පිරිච්ච අඩි පාර ඔයාට මුහුදක් වගේ විශාලයි. තණ පඳුර කන්දක් වගේ ලොකුයි. සමණලයයි මී මැස්සයි ඔයාට පෙනුණේ වලසුන් දෙන්නෙක් වගෙයි. හොඳයි කොහොම උනත් ඔයාගේ හැටියට ඔයා ඒ එකකින්වත් බය වුණේ නැති හන්දා ඔයා නිර්හීත ළමයෙක්. ඒ විතරක් නෙමෙයි මේ මුළු කැලේටම ඉන්න දක්ෂම ළමයා ඔයයි."
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    චි කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වහලා ගී කියන්න පටන් ගත්තා. හරිම පුදුමයක්.... සොල්දාදුවාවගේ දුක අඩුවෙන්න පටන් අරගෙන බොහොම සතුටින් කිරිල්ලි එක්ක ගී කියන්න පටන් ගත්තා.

    පහුවදා උදේ කිරිල්ලියට ආයුබෝවන් කියලා සොල්දාදුවා නගරයට ගියා. එහෙදි රැකියාවක් හොයාගෙන බොහොම ලස්සන තරුණියක් විවාහ කර ගත්තා.

    ඔහොම කාලයක් යද්දි මේ දෙන්නට හොඳ ලස්සන පුතෙක් ඉපදුණා. මේ හුරුබුහුට් දරුවට අම්මයි තාත්තයි පණ වගේ ආදරෙයි. ඔන්න ඉතින් මේ විදිහට අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.දැන් දරුවා තරමක් ලොකුයි. දුව පැන ඇවිදිනවා. දවසක් පුතා තාත්තාගෙන් අමුතු දෙයක් ඉල්ලුවා.

    “තාත්තේ, මට සිංදු කි‍යන කුරුල්ලෙක් ගෙනත් දෙන්න.”

    “අනේ පුතේ, කුරුල්ලෝ ඉන්නෙ කැලේ...ඒගොල්ලො එන්නෙ නෑ අපට සිංදු කියන්න.”

    සොල්දාදුවා එහෙම කිව්වත් ළමයව සනසන්න බැ. ඔහු කුරුල්ලෙක්ම ඉල්ලනවා. සොල්දාදුවාට ගී ගයන කිරිල්ලි මතක් වුණා.

    “ හා හොඳයි, මම ගෙනත් දෙන්නම්” කියලා ඔහු හිස් වැසුමයි, සපත්තු දෙකයි දාගෙන පිටත් වුණා.

    ගං ඉවුරට ආපු සොල්දාදුවා මුල් දවසේ වගේම දුක කියන්න පටන් ගත්තා. මේක ඇහුණු කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වැහුවා.

    “අනේ කිරිල්ලියේ, නුඹ මා එක්ක නාවොත් මගේ සුරතල් පුතා දුක් වෙලා ලෙඩ වේවි...” සොල්දාදුවා කණගාටු වෙනවා.

    පුංචි කිරිල්ලිට දුක හිතුණා. ඇය කැමති වුණා සොල්දාදුවා එක්ක යන්න. ඔන්න ඉතින් සොල්දාදුවාට බොහොම සතුටුයි. දෙන්නා එක්ක තණ බිම් මැදින්, මහ කැළෑ පහුකරගෙන,අතරමගදි මුණ ගැහුණ වෘකයින්ට ආචාර කරලා ගෙදර ආවා.

    පුංචි දරුවා කිරිල්ලිව දැකලා සතුටු වෙලා නටන්න පටන් ගත්තා. කිරිල්ලියත් ගී ගයනවා...ගෙදර උත්සවයක් වගේ.

    එදා පටන් පුංචි කිරිල්ලිය ගී ගයනවා. එහෙම ලස්සනට කවුරුවත් කවදාවත් ගයලා නැ.

    ඒ ගී හඬට සොල්දාදුවාගෙ ගෙවත්තෙ අමුතු ලස්සන මල් පිපුණා. කුරුල්ලෝ ඇවිත් වත්ත පුරා නැටුවා. පාට පාට සමණල්ලු ඇවිත් දේදුන්නක් වගේ පෑව්වා. මල් වැහි වැහැලා මල් උඩ පිණි බින්දු තිබ්බා. දරුවා කිරිල්ලියට බොහොම ආදරේ වුණා. කන්නෙත්,සෙල්ලම් කරන්නෙත්, නිදා ගන්න යන්නෙත් කිරිල්ලි එක්ක.

    මේ නිසා සොල්දාදුවාගෙ බිරිඳ අමනාපයට පත් වුණා. පුතා තමන්ට ආදරේ නැතිව කිරිල්ලියට ආදරේ වීම නිසා ඇය කිරිල්ලිය එක්ක තරහ වුණා.

    “මේ කිරිල්ලිය මරන්න ඕනේ.” ඇය නපුරු සිතින් කල්පනා කළා. රෑ එළි වෙනකම් ඉඳලා ඇය මේ අදහස සොල්දාදුවාට කිව්වා. සොල්දාදුවා මුලින් කෝප වෙලා ඊට පස්සෙ කණගාටු වුණා. ඔහු බිරිඳට බොහොම ආදරෙයි. කිරිල්ලියටත් ආදරෙයි.

    “මරන්න බැහැ. මම ඇයව ආපහු ගිහින් දමන්නම්.” සොල්දාදුවා කිව්වාම බිරිඳ කැමති වුණා.

    එදා රෑ දරුවා නින්දට ගියාම සොල්දාදුවා කිරිල්ලිය අරන් යන්න පිටත් වුණා. යන ගමන් ඔහු කණගාටු වෙනවා. සුසුම් හෙළනවා. කිරිල්ලිය ගං ඉවුරේ තියපු සොල්දාදුවා ආපහු ආවා.

    පුංචි දරුවා කිරිල්ලිය ඉල්ලලා අඬා වැටුණා. මොනවා කිව්වත් පලක් වුණේ නෑ. දරුවා නොකා නොබී අඬලා ටික දිනකින් ලෙඩ වුණා. බේත් හේත් කළා. අන්තිමට නගරයෙන් ආ වෙද්දු කල්පනා කරලා, ඔළුව වනලා “ කරන්න දෙයක් නෑ” කියලා යන්න ගියා. බිරිඳත් සොල්දාදුවාත් අඬමින් වැළපෙමින් දෙවියන් යැද්දා. දරුවා කතා කළේවත් ඇස් ඇරියෙවත් නෑ.

    බිරිඳ අඬ අඬා සොල්දාදුවාට මෙහෙම කිව්වා.

    “මේ හැම දෙයක්ම මගේ මෝඩකම නිසයි. ඔයා ගිහින් පුංචි කිරිල්ලිය එක්කන් එන්න.”

    සොල්දාදුවා දුර ගෙවලා ගිහින් ගං ඉවුරට ගිහින් හිස පාත් කරගෙන හිටියා. පුංචි දරුවා ගැන අහපු කිරිල්ලිය බොහොම කණගාටුවට පත් වෙලා ආපහු ගෙදර එන්න කැමති වුණා.

    එනකොට ගෙදර බොහොම පාළුයි. දරුවා හුස්ම ගන්න හඬවත් ඇහෙන්නේ නෑ. හැම දේම නිහඬයි.

    පුංචි කිරිල්ලිය දරුවාගේ ලය මත ඉඳගෙන ගී ගයන්න පටන් ගත්තා. ඒ තරම් දුක්බර ගීතයක් ලෝකයේ කිසිම මිනිහෙක්වත් කුරුල්ලෙක්වත් කවදාවත් ගයලා නෑ. ඒ ගී අහන් ඉන්න අය අඬන්න පටන් ගත්තා. කිරිල්ලිය රෑ එළි වෙනකම් ගැයුවා. මිනිස්සු අඬලා වෙහෙසට පත්වෙලා නින්දට වැටුණා.

    ඉර පායන කොට දරුවා ඇස් ඇරලා “අම්මේ” කිව්වා.

    ඔන්න දැන් හරිම කළබලයක්. හැමෝටම බොහොම සතුටුයි. මිනිස්සු එකිනෙනා වැළඳගෙන සතුටු වෙනවා. පුංචි දරුවාට සුව වෙලා.

    සොල්දාදුවා කිරිල්ලිය දිහා බැලුවා. රෑ එළි වෙනතුරු ජීවිතයේ දුක්බරම ගීතය ගැයූ ඇය දරුවාගේ ලය මතම ලය පැලී මිය ගොස් හිටියා.

    මිනිස්සු දුක් වුණා....නගරයේ වීණාකාරයො වීණා වැයීම නතර කළා. සැණකෙළි නැවතුණා.... ඉර වළාකුලක හැංගුණා... කුරුල්ලෝ ගොළු වුණා... මල් බිමබලාගෙන ඇඬුවා.....

    මිනිස්සු පුංචි කිරිල්ලියව ඇගේ රන්වන් පාට ගං ඉවුරේ තැන්පත් කළා. දරුවා ඇගේ සිරුර ළඟ දණ ගසාගෙන අඬද්දී වැටුණ කඳුළු ගඟට වැටිලා ග‍ෙඟ් වතුර රිදී පාට වුණා.

    කාලය ගතවුණා. පුංචි දරුවා වැඩුණු මිනිසෙකු වී කවියෙකු බවට පත් වුණා.... ඔහුට කවි ලියන්න ඕනෑ වූ විට ඒ ගං ඉවුරේ ඉඳගෙනයි ලියන්නේ...කවියාට රිද්මය දෙන්නේ පුංචි කිරිල්ලියගේ ආත්මය බවයි මිනිස්සු කියන්නේ.
    fisherman.jpg

    අදටත් හඳ එළිය තියෙන දවසට ඒ ගං ඉවුරෙන් ලස්සන ගීතයක් ඇහෙනවා... ඒ වෙලාවට සුළඟ නවතිනවා.....වනන්තරය ගොළු වෙන‍වා......ගඟ නිහඬ වෙන‍වා....


    ඒ ගීතය ඒ තරම්ම මිහිරියි...........
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද දවසේ අන්තිම කතාව :yes:

    ---------
    1579%20Boy%20At%20Beach.jpg

    එකමත් එක කාලෙක මුහුදු වෙරළක් අයිනේ පුංචි සිප්පි කටුවක් වැටිලා තිබුණා. මේ සිප්පි කටුව කොච්චර ලස්සනද කිව්වොත් හරියට මුහුදේ හැම පාටක්ම එකතු වෙලා හැදුණා වගෙයි. මිනිස්සු ගොඩක් වෙරළට ආවා...විනෝද වුණා...යන්න ගියා..හැබැයි කවුරුවත් මේ සිප්පි කටුව දැක්කෙ නෑ. හැමෝම ආවෙ තම තමන්ගේ වැඩ වලට.., විවේක ගන්න, විනෝද වෙන්න, චිත්‍ර අඳින්න, කවි ලියන්න, සෙල්ලම් කරන්න, තනියෙන් ඉන්න...මේ වගේ දේවල් කරලා ඒගොල්ලෝ යන්න ගියා.

    එදා හැන්දෑවෙ මේ වෙරළට ආවා පුංචි පිරිමි ළමයෙක්. එයාගෙ නම පැංචා. පැංචා හරි පුංචියි.

    හැබැයි බොහොම නුවණැත්තා. පැංචාට තිබුණේ දිළිසෙන ඇස් දෙකක්. ජීවත් වුණේ අම්මා එක්ක. දුප්පත් අම්මා පැංචාට කන්න දෙන්න බොහොම වෙහෙස වුණා. මේ දෙන්නා හිටියෙ පුංචි ලෑලි ගෙදරක. ගෙදර බිත්ති වැහිලා තිබුණෙ පැංචාගේ අපූරු චිත්‍ර වලින්. ඒවායේ හිටියේ ලස්සන මාළු, මුහුදු පැළෑටි, මුහුදු රැළි, ගල් මල්, දිය කිඳුරියෝ, බෙල්ලෝ...මේ වගේ ලස්සන අය. පැංචා නිදා ගන්න ගියාම මේවා දිහා බලනවා. චිත්‍ර එක්ක කතා කරනවා. ගෙදරට ඈතින් රළ ගහන සද්දෙ ඇහෙන කොට පැංචා හිතා ගන්නවා තමන් ඉන්නෙ මුහුදු පතුලෙ කියලා. එහෙම හිතාගෙන නින්දට වැටෙන පැංචගේ මූණෙ හැමදාම ලස්සන හිනාවක් ඇ‍ඳෙනවා. අම්මා හිතන්නෙ පැංචට හීනෙන් සුරංගනාවියෝ කතා කරනවා කියලා.

    ඉතිං එදා හොඳට නිදාගෙන නැගිටලා අම්මටත් උදව් පදව් වෙලා හැන්දෑවෙ පැංචා වෙරළෙ සෙල්ලම් කර කර හිටියා. පැංචා වැල්ලෙ දුවනවා..වෙරළට කණ තියලා මුහුදේ සද්දෙ අහනවා..ගල් මල් හොයනවා...රැල්ල එක්ක සෙල්ලම් කරනවා. එතකොට තමයි පැංචා දැක්කෙ වෙරළෙ වැටිලා ඉන්න අර ලස්සන සිප්පි කටුව. කොච්චර සිප්පි කටු ඇහිඳලා තිබුණත් මේ තරම් ලස්සන එකක් පැංචා ළඟ නෑ. පැංචා බොහොම ආසාවෙන් ඒක ඇහිඳ ගත්තා. සතුට ඉහ වහ ගිහින් සෙල්ලමත් නවත්තලා ගෙදර දිව්වා. අම්මට මේ අලංකාර සිප්පි කටුව පෙන්නලා පැංචා අපූරු නැටුමකුත් නැටුවා.

    ඔන්න ඉර කහ පාට වෙලා, තැඹිලි පාට වෙලා , රතු පාට වෙලා මුහුදෙ හැංගිලා ගියා. පැංචා අම්මා හදලා දුන්න රොටිය කාලා ඇඳට ගියා නිදා ගන්න. අද පැංචට බිත්තියේ චිත්‍ර එක්ක කතා කරන්න අමතක වෙලා. පැංචා සිප්පි කටුව දිහා බලනවා..ඒකට කණ තියලා මූහුදේ සද්දේ අහනවා. මේ විදිහට පැංචාට ඉබේම නින්ද ගියා. නිදන් ඉන්න පැංචාගේ මූණට බිත්තියෙ ලෑලි අතරින් හඳ එළිය වැටිලා... සිප්පි කටුවත් හඳ එලියට දිලිසෙනවා. හදිසියේ කට හඬක් ඇහිලා පැංචාට ඇහැරුණා. පැංචා වට පිට බැලුවා. අම්මා නම් නිදි..මේ මහ රෑ වෙන කවුරු කතා කරන්නද..පැංචා ආයි ඇස් වහ ගත්තා. ටික වෙලාවක් ගත වුණා. මෙන්න ආයෙත් ඒ කට හඬ ඇහෙනවා. පැංචා ඇස් ඇරලා හොඳින් වට පිට බැලුවා. එතකොටයි පැංචා දැක්කේ...සිප්පි කටුව කතා කරනවා.



    “නුඹ මිනිහෙක් වගේ කතා කරන්නෙ කෙහොමද?” පැංචා පුදුම වෙලා අහනවා.

    “මුහුද යට ඉන්න අපි හැමෝටම කතා කරන්න පුළුවන්..හොඳ ළමයෝ, නුඹ මොකද මාව මෙහෙට ගෙනාවෙ?” සිප්පි කටුව උත්තර දුන්නා.

    “නුඹ බොහොම ලස්සනයි නෙව...ඒ නිසයි ගෙනාවෙ. නුඹට බඩගිනිද?“ පැංචා අහනවා.

    “මට බඩගිනියි.ඒත් මට කෑම තියෙන්නෙ මුහුදේ. හොඳ ළමයෝ, මට උදව්වක් කරපන්”

    “ලස්සන සිප්පි කටුවේ, මොකක්ද මම කරන්න ඕනෙ?”

    “මාව ආපහු මුහුදට ගිහින් දාපන්” සිප්පි කටුව බොහොම දුකෙන් කිව්වා.

    “දැන් මහ රෑනේ. හොඳටම කළුවරයි. අනෙක මම ඇයි නුඹව මූහුදට දමන්නේ? නුඹට මා එක්ක මෙහෙ ඉන්න බැරි මොකද? මම නුඹව බාල්දියක දමලා හැමදාම අළුත් මුහුදු වතුර ගෙනත් දමන්නම්.” පැංචා නුවණැති විසඳුමක් දුන්නා.

    “පොඩි ළමයෝ, නුඹ හරිම අපූරු දරුවෙක්. ඒ වුණාට මට මෙහේ නවතින්න හැටියක් නෑ. මගේ යාළුවෝ ඉන්නෙ මුහුද යට. ඒගොල්ලො නැතිව මාව පාළුවෙ මැරිලා යාවි. අනෙක මෙහෙ නැවතුණොත් මට පැවරුණු රාජකාරි කරන්නෙ කවුද? “

    “එහෙමද? මොනවද එතකොට නුඹට පැවරිලා තියෙන රාජකාරි?” පැංචා බැරෑරුම් විදිහට ඇහුවා.

    “මට තමයි පැවරිලා තියෙන්නේ රෑට මුහුද ලස්සන කරන්න එලිය දෙන ආලෝක මාළුවො ගැන බලන්න. තව... ආලෝක පැළෑටි, දිළිසෙන ගල් මල් ...මේ හැමෝම රෑට එළිය බෙදනවද කියලා බලන්නේ මම. නැත්නම් අපේ ලෝකෙ කළුවරේ.“ සිප්පි කටුව විස්තර කළා.

    “මොනවා? අපි දන්නෙ රෑට මුහුද යට කළුවරයි කියලා නෙව. අපි...ඒ කිව්වෙ මිනිස්සු..එහෙමයි හිතන් ඉන්නෙ.”

    “හොඳ ළමයෝ, ඒ මිනිස්සුන්ට පේන කොටස. ආලෝකය තියෙන ගැඹුරු ‍සාගර පතුලට මිනිස්සුන්ට එන්න බෑ. ඒක බොහොම අපූරු ලස්සන ලෝකයක්. අපි එළිය ගන්නෙ ඉරෙන් සහ හඳෙන්. ඉතිං අපි නිතර මුහුද මතු පිටට ඇවිත් ඉරෙන් එළිය අරන් යනවා. සමහර මාළු රෑට ඇවිත් හඳ එළිය අරන් යනවා. “
    පැංචා පුදුමයෙන් කට ඇරන් අහන් ඉන්නවා.

    “හොඳයි, මම නුඹව මුහුදට දමන්නම්.. ඒත් මම කොහොමද දැන ගන්නේ නුඹ කියන්නේ ඇත්ත ද කියලා?“ පැංචා අහනවා.

    සිප්පි කටුව කල්පනා කළා.
    “හරි, නුඹ හොඳ ළමයෙක් නෙව. මට කරන්න යන උදව්ව වෙනුවෙන් මම නුඹව අපේ ලෝකෙට එක්කගෙන යන්නම්”

    “අපොයි!අපේ අම්මා මාව අඬ අඬා හොයාවි හෙට උදේට. “ පැංචා ගමන යන්න ආස වුණත් අදිමදි කළා.

    “අනේ පොඩ්ඩෝ, එහෙම වෙන්නෙ නෑ. අපේ ලෝකේ රැයවල් තුනක් මෙහේ එක රැයයි. නුඹට එහේ දවස් තුනක් ගත කරලා හෙට උදේම මෙහෙ එන්න පුළුවන්.”

    “ ඒ වුණත් මම මාළුවෙක් නෙවෙයි. මම කොහොමද මුහුද යට හුස්ම ගන්නෙ?” නුවණැති පැංචා ඇහුවා.

    “නුඹ ඒ ගැන බය වෙන්න එපා. මම නුඹ ගැන බලා ගන්නම්.” සිප්පි කටුව සහතික වුණා.

    “හොඳයි” පැංචා කැමති වුණා.

    පැංචා සිප්පි කටුව අරන් පරිස්සමින් කලිසම් සාක්කුවෙ දා ගත්තා. අම්මට හොරෙන් පොල් අතු දොර ඇරගෙන එළියට ආවා. අහස කළුවරයි. හැම තැනම අඳුරුයි. පැංචා සිප්පි කටුව සාක්කුවෙන් එළියට ගත්තම ඒක එළිය විහිදවන්න පටන් ගත්තා. පැංචා ඒ එළියෙන් වෙරළට ගියා.

    රැල්ල ඇවිත්වෙනදා වගේම පැංචාගේ කකුල් තෙමුවා. ඔන්න එතකොට සිප්පි කටුව කතා කළා.
    “හොඳ ළමයෝ, දැන් නුඹ මාව අතේ ගුලි කරගෙන ඇස් පියා ගෙන මුහුද දිහාවට ඇවිදින්න ඕනෙ. නැවත ඇස් අරින්නෙ මම කතා කළාමයි. තේරුණාද?”

    “ඔව්” පැංචා ඔළුව වැනුවා.
    ඔළුව වනලා කියපු විදිහටම කළා. එතකොටම හරි අපූරු දෙයක් සිද්ධ වුණා. මුහුදු වෙරළ, කළුවර හැමදේම වෙනස් වෙලා පැංචව කොහේටද ඇදිලා යනවා. ඇස් අරින්න බැරි වුණත් පැංචට දැණුනා සීතල උණුසුම් දියවැල් අතරින් තමන්ව ඇදිලා යන හැටි. මෙහෙම ටිකක් වෙලා යද්දි පැංචට වෙනසක් දැනුණා.

    “ඔන්න, දැන් පුළුවනි ඇස් අරින්න. “ පැංචට සිප්පි කටුව කතා කරන හඬ ඇහුණා.

    පැංචා ඇස් ඇරියා.

    හරි පුදුමයක්! සිප්පි කටුව බොහොම ලස්සන මුතු බෙල්ලෙක් වෙලා පැංචා දිහා බලන් ඉන්නවා. පැංචා වටේට එක එක මාළු පීනනවා. ඒ මාළුන්ගෙන් එක එක පාට එළි විහිදෙනවා. මුහුදු පැළෑටි වල කියන්න බැරි තරම් අලංකාර මල් පිපිලා. එක පැත්තකින් මුතු ඇට වලින් හදපු මාළිගාවක්. ඒ මාළිගාවේ දොරකොඩ පාට පාට ගල් මල් වලින් සරසලා. පැංචා පුදුම වෙලා බලන් ඉන්නවා. පැංචාගෙ කටත් ඇරිලා.

    “පොඩ්ඩෝ, අපි දැන් යමු මාළිගාවට. නුඹ තමා අපේ අමුත්තා. “සිප්පි කටුව වෙලා හිටපු මුතු බෙල්ලා කතා කළා.

    පැංචා මුතු බෙල්ලා එක්ක මාළිගාවට ඇතුල් වුණා. ඒ මාළිගාව කොච්චර ලස්සනද කියනවා නම් පැංචාට නිදා ගන්න කලින් අම්මා කියලා දෙන සුරංගනා කතාවලවත් ඒ වගේ ලස්සනක් තිබුණෙ නෑ. ඒකෙ කුළුණු හැදිලා තිබුණෙ පාට පාට විශාල ගල් මල් වලින්. බිත්ති වල පාට හැම නිතරම වෙනස් වුණා. නිල් පාටින් රෝස පාටට...රෝස පාටින් දම් පාටට...ඉඳ ගන්න තිබුණෙ සිප්පි කටු සහ මුහුදු පැළෑටි වලින් හදපු ආසන. දොරටු සරසලා තිබුණේ එළිය විහිදෙන පුංචි බූවල්ලන්ගෙන්. මාළිගාව පුරාම එක එක ප්‍රමාණයේ මාළු පිනමින් හිටියා. ඒගොල්ලන් මිනිස්සු වගේ කතා කරා. ඩොල්ෆින් මාළුවෙක් පීනගෙන ඇවිත් මිතුරු ලීලාවෙන් පැංචාට අතට අත දුන්නා. රන්වන් මාළුවෝ තමයි මාළිගාවෙ සංග්‍රහ කටයුතු කළේ. මාළිගාවෙ කෙළවරක බොහොම සුන්දර දිය කිඳුරියන් පිරිසක් ගී කිව්වා. පැංචා ඒ ගීත වලින් කොච්චර වශී වුණාද කියනවා නම් සංග්‍රහ ලැබිලා බොමින් හිටිය මිහිරි පානය කමිසෙ හලා ගත්තා. ඔන්න එතකොටම අස්සයෙකුගෙ පෙනුම තියෙන මාළුවෙක් පීනගෙන ඇවිල්ලා පැංචාව පිටේ තියා ගත්තා. ඒ මාළුවා ට තමයි භාරවෙලා තියෙන්නේ පැංචාව මුහුදු ලෝකෙ සිරි නරඹන්න එක්කන් යන්න.



    මේ අමුතු ලෝකේ නායකයෙක් වත් රජෙක් වත් හිටියෙ නෑ. හැම කෙනාම තමන්ට අයිති කාරිය දැනන් හිටියා. කවුරුවත් අණ නොකරම ඒගොල්ලො තමන්ගෙ රාජකාරිය කළා. ඒ වගේම මේගොල්ලෝ බොහොම සමගියි. තල්මසුන් මෝරුන් පවා පුංදි බූවල්ලන්, හාල් මැස්සන් වගේ මාළු එක්ක සෙල්ලම් කළා, සාද පැවැත්වුවා.එකට කෑම කෑවා.

    එදා රෑ පැංචා නිදා ගත්තේ උණුසුම් දිය රැල්ලක පැද්දෙමින්. කොට්ටෙට තියලා තිබුණෙ ජෙලි මාළුවෙක්. එදා රෑ පැංචා අපූරු හීන ගොඩක් දැක්කා. ඉන් එකක ඔහු මාළුවෙක් වෙලා මුහුදු ලෝකය ලස්සන කරන්න උදව් කරමින් හිටියා.

    පහුවදා අවදි වෙන කොට පැංචාව බලන්න අළුත් යාළුවො ගොඩක් ඇවිත්. හාල් මැස්සන් රෑනක්, බූවලු පැටව් දෙන්නෙක්, ලොකු මෝරෙක්, තල්මස් පොඩ්ඩෙක්, කකුළුවෙක්, මහළු කැස්බෑවෙක් එහෙමත් ඒ අතර හිටියා. ඒ අය කෑම බීම ගොඩක් ගෙනත්. ඒවා පැංචා මනුස්ස ලෝකෙදි අහලවත් දැකලවත් , කාලාවත් තිබුණ දේවල් නොවෙයි. බඩට ඇති තරම් කාපු පැංචා මේ අළුත් යාළුවො එක්ක මුහුදු ලෝකෙ සිරි නරඹන්න ගියා. ඉතිං ඒ ගමනෙදි දැකපු දේවල් විස්තර කරන්න අවුරුදු සීයක්වත් යයි. ඒ ගමන් ඒ තරම් පුදුම දේවල් වලින් පිරිලා. මේ විදිහට දවස් දෙකක් ගෙවුණා. තුන්වෙනි දවසේ සුදු පාට ඩොල්ෆින් කෙනෙක් ඇවිත් පැංචාට ආරාධනාවක් කළා.



    “පුංචි ළමයෝ, නුඹ තමයි අපේ ලෝකෙට එන්න වාසනාවන්ත වුණු මුල්ම මිනිස් අමුත්තා. අපි කැමතියි නුඹට අපේ ලෝකේ විශේෂම ස්ථානයක් පෙන්වන්න. “
    පැංචා බොහොම කැමති වෙලා ඩොල්ෆින්ගේ පිටට නැග්ගා. ඩොල්ෆින් කටින් වතුර එහෙම විදලා මුහුදු පතුලෙ කෙළවරටම ගියා. එතන තිබුණා උමගක්. ඩොල්ෆින් ඒක ඇතුළෙන් හෙමිහිට පීනුවා. උමග කෙළවරට ළං වෙනකොට බොහොම මිහිරි ඒත් මන්දගාමී සංගීතයක් ඇහුණා...හරියට ඈත ලෝකෙකින් ඇහෙනවා වගේ. ටිකෙන් ටික ඒ සංගීත හඬ ළං වුණා. ඊළඟට පැංචා දැක්කෙ සුදු පාට අමුතු තැනක්. ඒක විශාල තැනි තලාවක්...හැම තැනම සුදු පාට ආලෝකයකින් වැහිලා. තැන තැන ලොකු පොඩි මාළු ඇටසැකිලි තිබුණා. ඒවා විවිධ ආලෝක වළළු වලින් සරසලා.

    “මේ තමයි අපේ සුසාන භූමිය..අපි මැරුණම ‍එන්නෙ මෙතනට” සුදු ඩොල්ෆින් හෙමිහිට කිව්වා.

    පැංචා බොහොම ගෞරවයෙන් මිනිස් ලෝකෙදි දැකලා තිබුණ විදිහට හිස නමලා මාළු ඇටසැකිලි වලට ආචාර කළා.

    “මරණය කියන්නෙ ගරු කළ යුතු දෙයක්” පැංචා බොහොම දැනමුතු විදිහට පොතකින් කියවලා තිබුණු දෙයක් කිව්වා.

    තුන්වෙනි දවස ඒ විදිහට අවසාන වුණා. ටික වෙලාවකින් පැංචාගේ යාළු මුතු බෙල්ලා පෙනී හිටියා.

    “හොඳ ළමයෝ, දැන් නුඹට යන්න වෙලාව හරි. නැත්නම් නුඹට එළි වෙන්න කලින් යා ගන්න බැරි වේවි. “

    අපොයි! පැංචා අන්දමන්ද වුණා. පැංචාට කොහොමටවත් මතක් වුණේ නෑ යන්න ඕනේ විත්තියක්. ඒත් නොගිහින් කොහොමද? අම්මා කණගාටු වේවි. පැංචා කණගාටුවෙන් වුණත් යාළු මාළුවන්ට බූවල්ලන්ට දිය කිඳුරියන්ට බෙල්ලන්ට පුළු පුළුවන් විදිහට ආයුබෝවන් කිව්වා. සමහරු පැංචට තෑගි දෙන්න මුතු ඇට, සිප්පි කටු, මාළු දත් ගෙනත් තිබුණා.

    මුතු බෙල්ලා ආපහු සිප්පි කටුවක් වෙලා පැංචාගේ අතට පැන්නා. පැංචා ඇස් වහ ගත්තා. උණුසුම් සීතල දියවැල් වේගයෙන් පහුවෙන හැටි පැංචාගේ ඇඟට දැණුනා.

    “ඔන්න අපි ආවා.”
    ඇස් ඇරපු පැංචා දුටුවේ තමන් මුහුදු වෙරළේ හිටගෙන ඉන්නවා.

    “හොඳ ළමයෝ, දැන් අපි කණගාටුවෙන් වුණත් සමු ගනිමු. නමුත් එක් දෙයක්.. මුහුදු පතුලේ ලෝකය නුඹ සමග හැමදාම මිතුරුයි. නුඹට කරදරයක් වුණු ඕනෑම විටෙක හවසට මේ වෙරළට ඇවිත් කතා කරපන්. නුඹට මා හමුවේවි. එතෙක් මම නුඹට තෑග්ගක් දෙනවා. අද නොවෙයි හෙට රෑට නුඹේ ගෙදර බිත්තිය දෙස බලාපන්.”



    සිප්පි කටුව එහෙම කියලා ආචාර කරලා මුහුදු රැළි අතරේ අතුරුදහන් වුණා. පැංචා බොහොම දුකෙන් අඳුරේම ගෙදර ගියා. හෙමින් සැරේ ඇඳට නැගලා නිදා ගත්තා.
    උදෑසනින්ම අම්මා පැංචාව අවදි කළා. අවදි වුණ පැංචා මෙහෙම හිතනවා..

    “එතකොට මම දැක්කෙ හීනයක් ද?”

    අත දිග ඇරලා බලපු පැංචා දැක්කෙ මුහුදු ලෝකෙන් තෑගි ලැබුණු මුතු ඇට. පැංචාට වැටහුණා ඒ හීනයක් නොවන බව. එදා රෑ වෙනකල් පැංචා හිටියේ ඉවසිල්ලක් නැතුව.පැංචා රෑට කෑවයින් නොකෑවයින් ඇඳට පැනලා මුහුදු චිත්‍ර ඇඳපු ලෑලි බිත්තිය දිහා බලාගෙන හිටියා. ඔහොම ඉන්කොට පැංචට නිදිමත වෙනවා. පැංචා මූණෙ වතුර ගානවා. ඇස් පිහාටු වලින් අදිනවා, ඇහැරිලා ඉන්න. අන්තිමට මැදියම් රැය එළඹුණා. මෙන්න බිත්තිය පණ ඇවිත් වගේ හෙළවෙනවා. ටිකකින් පැංචට පේනවා මුහුදු පතුල. ඒකෙ රැළි නැගෙනවා...මාළු පීනනවා..දිය මල් සෙලවෙනවා..අඳුනන මාළු ඇවිත් පැංචට කතා කරනවා.පැංචා මුලින් පුදුම වෙලා ඉන් පස්සේ සතුටු වුණා. යාළු මාළුවන් සමග කතා කරන්න පටන් ගත්තා.



    පහුවදා උදේ බිත්තිය පරණ පුරුදු විදිහට තිබුණා. සායම් ගැලවුණු චිත්‍රත් ඔහේ තිබුණා. ඒත් ඉන් පස්සේ හැමදාම රෑට බිත්තියට පණ ආවා.

    කාලය ගත වුණා. මුතු ඇට විකුණලා මුදල් ලැබුණ නිසා පැංචාගේ අම්මාගේ කරදර අඩු වුණා. පැංචා වෙලාවට පාසල් ගියා. සමහර දිනවල හවසට පැංචා වෙරළේ ඉඳගෙන ඉන්නවා. ඒත් පැංචා‍ගේ අතේ තිබුණු සිප්පි කටුව නම් කවුරුවත් දැක්කෙ නෑ. පැංචා බොහොම සතුටින් මුහුදු මිතුරන් සමග කාලය ගත කළා.