කුසුමා ගස් හෙවණකට හේන්දු වෙලා තුන්වෙනි පාරටත් ඒ පොත පෙරළලා බැලුවා. නම: එල්. ඩී කුසුමාවතී. තමන්ගෙම නමට ලියවෙච්ච පොතක්. කවදාවත් තමන්ගෙ නමට නොලියැවුනු, ලියැවේවි කියලා හීනෙකින්වත් නොහිතුනු පොතක්. ඉතුරු කිරීමේ ගිණුම් පොතක්. කවුද හිතුවෙ ඒ වගේ පොත් පිංචක් තමන් නමට ලියවේවි කියලා. ඇරත් අවුරුදු හැට හතේදී.
ඔක්කොම පටන්ගෙන මාස නමයක් දහයක් ඇති. එදා උදේ දහයට විතර කුසුමා තේ හදන්න ලකලැහැස්ති වෙද්දි තමයි දැනගත්තෙ සීනි ඉවර වෙලා කියලා. මේ වෙලාවට තේ කහට උගුරක් නොබී කොහොමයි? කුසුමා සෙරෙප්පු දෙකත් පටලගෙන එළියට බැස්සෙ ගේ ළඟ කඩෙන් සීනි දෙසීය පනහක් ගේන්න. කරුමෙට ඒක වහලා. හවසට කට්ටිය ආවම තේ හදන්න එපායැ. කුසුමා පාරෙ කඩේට ආවෙ ඒකයි.
සීනිත් අරන් එද්දි, මයුරිගේ ඇඳුම් කඩේට ඔන්න මෙන්න කියලා තියෙද්දි මෝටර් සයිකලයක් නැවැත්තුවා. තව පොඩ්ඩෙන් කුසුමාවත් හප්පගෙන . ඒකරලා ඒකෙ හාදයා මයුරිගෙ කඩේට දිව්වා.
මොහොතකින් කඩෙන් එළියට ආපු මයුරි කුසුමාට පිංසෙන්ඩු වුනා. "බුදු කුසුමා ඇන්ටි. මගේ කොල්ලා ඇක්සිඩන්ට් වෙලාලු. මං මෙයත් එක්ක කළුබෝවිලට දුවනවා. මට කඩේ වහ වහා ඉන්න වෙලාවක් නෑ. අනේ ඇන්ටි මං එනකල් කඩේට වෙලා ඉන්නකො".
මෝටර් සයිකලේට හරි බරි ගැහෙද්දි මයුරි ආයෙත් කෑගැව්වා. "කවුරු හරි ආවොත් ගණන් කියන්න. හැම ඇඳුමකම ගාන දාලා තියනවා. මාරු සල්ලි ඕන වුනොත් ලාච්චුවෙ ඇති".
එච්චරයි. මෝටර් සයිකලේ ඉගිල්ලුනා.
මේ කඩාපාත් වෙච්චි හෙණ ගෙඩිය මොකක්ද කියලා හිතාගන්න බැරුව කුසුමා අන්දමන්ද වෙලා ගියා. දැන් ඉතින් මෙතන තපින්න එපායැ කීයට හරි මයුරි එනකල්.
විනාඩි පහකට විතර පස්සෙ කුසුමා දොළහයි දොළහ කඩ කෑල්ලෙ තිබුන එකම පුටුවට බරවුනා. මේ පාරෙන් කොච්චර එහා මෙහා ගියත් කුසුමට කවදාවත් මයුරිගෙ කඩේට ඇහැ ගිහින් තිබුනෙ නැහැ. කොහොමත් ළමයි පොඩි කාලෙන් පස්සෙ කුසුමා ඇඳුම් කඩේකට ගොඩවෙලාම නැතුව ඇති. කුසුමා හාත්පස බැලුවා. මෙතන තියෙන්නෙ පොඩි ළමයින්ගෙයි ගෑණුන්ගෙයි ඇඳුම්නෙ.
පැය බාගෙකින් විතර පලවෙනි ගණදෙනුකාරයා එනකොටත් කුසුමා හිටියෙ පුටුවට ඇලිලා. "අනේ ඇන්ටි. හවසට දුවගෙ කණ විඳින්න එක්ක යන්න තියනවා. ගවුම් පොඩ්ඩක් හොයලා දෙන්නකෝ".
පිළිවෙලක් නැති ඇඳුම් ගොඩ පීරලා කුසුමා හොයලා දුන්නු ගවුම් පොඩියට ඒ ඇත්ති කැමති වුනා. ඒකටම හරියන ජංගි පොඩ්ඩකුත් අස්සක තිබිලා කුසුමා හොයලා දුන්නාම එයා ඒකටත් එකඟ වුනා.
ඇඳුම් සාප්පුවට දෙවෙනි නෑ සල්ලි ලාච්චුව. කුසුමා රබර් පටි කීපයක් හොයාගෙන විස්සෙ කොළ, පනහෙ කොළ, සීයෙ කොළ, පන්සීයෙ කොළ පිළිවෙලට ඇසුරුවා.
"කුසුමා ඇන්ටි මොකද මෙතන" ගාගෙන ආවෙ දෙවෙනි කස්ටමර්. ඒ ගුණවර්ධන මහත්තයලාගේ ගෙදර වැඩට ඉන්න සුනීතා. එයා හෙට ගමේ යන්න ඇඳුමක් ගන්න පමුණුවෙ යන ගමන්. "ඉතින් සුනීතො මෙතනිනුත් ඇඳුමක් බලතෑකිනෙ" කිව්වාම කෙල්ල අකමැත්තෙන් වගේ කඩේට ගොඩවුනා.
ඇඳුම් දහයක් දොළහක් එහාට මෙහාට පෙරලපු කෙල්ල මූණක් හදාගත්තා. "මෙතන ඉතින් මේවා ඇඳලා බලන්න ඉඩකඩ නෑනෙ". හැබැයි කුසුමා ගාව විසඳුම් තිබුනා. "ඕක මොකක්ද සුනීතො. මං දොරකඩ ඉන්නම්. උඹ ඔය එක එක ඇඳලා කණ්නාඩියෙන් හැඩ බලපං".
අන්තිමට සුනීතා ගියේ සායක්, හැට්ටයක් විතරක් නෙවෙයි නංගිටයි මල්ලිටයි ටී ෂර්ට් කෑලි දෙකක්, යට සායක් එහෙමත් අරගෙන.
බ්ලවුස් එකක් හොයාගෙන ඕෆ් පීරියඩ් එකක එළියට ආපු ළඟපාත ඉස්කෝලෙ ටීචර් කෙනෙක් තුන්වෙනි කස්ටමර් විදිහට එද්දි කුසුමා කඩේ අපිළිවෙල පිළිවෙලක් කරනවා.
නළලට මැහුම් දාපු කොල්ලත් එක්ක නෙළුම් කොළෙන් කෑම තුනකුත් අරන් මයුරි එද්දි හවස තුනට විතර ඇති. විකුණපු ඇඳුම් කෑලිවල විස්තර ලියපු කොළේකුත් එක්ක ගණදෙනු බේරලා බත් එකත් අරගෙන කුසුමා පිටවෙද්දි මයුරිගෙ ඇස් තිබුනෙ පිළිවෙලකට ඇසිරුණු ඇඳුම් ගොඩේ.
පහුවෙනිදා දවාලෙ මලයාලම් චිත්‍රපටයක් බල බලා ඉඳිද්දි නලලෙ ප්ලාස්ටර් අලවගත්තු කොල්ලෙක් දොරෙන් එබුනා. "කුසුමාච්චියෙ. අපේ අම්මා පොඩ්ඩකට කඩේට එන්න කිවුවා".
"කුසුමා ඇන්ටි. අපේ මිනිහා මේ කඩකෑල්ල හැදුවෙ කුලියට දෙන්න. අපිට හරි හමන් කෙනෙක් හම්බ වුනේ නැහැ. පස්සෙ මමත් ඇඳුම් මහන්න ආස නිසා මේ කඩේ දාගත්තෙ මම මහන ඇඳුම් විකුණන්න. මට ගෙදර වැඩයි, ළමයින්ගෙ ඉස්කෝලයි ටියුෂනුයි, ඇඳුම් මැහිල්ලයි එක්ක මේ කඩේ කරන්න අමාරුයි. කඩේ තියන්න කෙල්ලෙක් හෙව්වා. හරි ගියේ නෑ. ඇන්ටිට බැරිද කඩේ කරන්න. මම හොඳ පඩියක් දෙන්නම්".
කුසුමා ගෙදර ආවෙ තෝන්තුවාවෙන්. ගෙදර අය මොකක් කියයිද? බෑනාට තරහා යයිද? ලොකු දුව කෑගහයිද? මුණුබුරයි මිණිබිරීයි නම් දැන් කැමිපස්වල ඉගෙන ගන්න අය නිසා මුකුත් කියන එකක් නෑ.
එදා රෑ හැමෝම ඇහෙන මානෙ ඉඳිද්දි කුසුමා එි බෝම්බෙ අතෑරියා. බෑණා හ්ම් කිව්වෙ නෑ. පිටගංකාරයනෙ. එයාට ගානක් නැතුව ඇති. හිතපු තරම් විරෝධයක් ලොකු දුවගෙන් ආවෙත් නෑ. "අනේ මන්දා. නංගිගෙනුයි මල්ලිගෙනුයි අහලා බලන්න. පස්සෙ එයාලා මටත් දොස් කියයි". කොහොමත් කට්ටිය ඔක්කොම අම්මව තට්ට තනියම ගෙදර දාලා උදේට ගෙදරින් දොට්ට බැහැලා යන එක ගැන එයාගෙ හිතේ අමාරුවක් තිබුනා.
හිතන් නැති විදිහට කනුකුනු ගෑවෙ පොඩි දෙන්නා. "මිනිස්සු හිතයි අපි ආච්චිට සලකන්නෙ නෑ කියලා. ගෙදර ඉන්න බැරි නම් සිල්ගන්න පන්සල් පැත්තෙ යන්නකො".
පහුවෙනිදා හරියටම උදේ නමයට කුසුමා මයුරිගෙ කඩේ දොර ගාව.
බෝම්බෙ හරි විදිහට පිපිරුනෙ සති දෙකකින්. පොඩි දුව සාරි පොටෙන් මූණ පිහිදදා කඩේට කඩා වැදුනා. "මට ඉස්කෝලෙට ආරංචි වුන ගමන් දුවං ආවෙ. ඇයි අම්මෙ අපිට ලැජ්ජා කරන්නෙ. අක්කා සලකන්නෙ නැති නම් යං මං එක්ක". පොඩි දුව තව මොනවදෝ මොනවදෝ කියෙව්වා. කුසුමා සද්ද නැතිව බලන් හිටියා.
හැබැයි පොඩි දුව නෙවෙයි විල්සන් වලෙන් නැගිටලා ඇවිත් කිව්වත් තමන් හැරෙන්නෙ නැති බව කුසුමට ඒ වෙන කොට තේරිලා තිබුනා. උදේම ඇඟපත පිරිසිදු කරන්, මැදපු සායක් හැට්ටයක් ඇඳන් ගෙදරින් දොට්ට බහින එකම කොච්චර දෙයක්ද?. දවස ගානෙ වෙනස් කස්ටර්මර්ස්ලාව මුණගැහෙන එක කොච්චර සතුටක්ද? මුකුත් නොගත්තත් කා හරි එක්ක කතා කරන එකම මදෑ. අනෙක රෙදි පෙරදි එක්ක ගැවසෙන එක මොන තරම් සතුටක්ද?හවසට හරියට ගණන් හදලා ගණුදෙනු බේරන කොට කුසුමාට දැනෙන්නෙ මහ ලොකු වගකීමකින් නිදහස් වෙනවා කියලයි.
අක්කා හිතුමතේට කසාදයක් කරගත්තු නිසාදෝ තාත්තා කුසුමාව රස්සාවකට යවන්න කැමති වුනේ නෑ. අවුරුදු විස්ස වෙද්දි විල්සන්ට බන්දලා දුන්නා. එතැන ඉඳන් ඉතින් කුසුමාගෙ ජීවිතේ විල්සන්ට, ළමයින්ට, ගෙදර බිත්ති හතරට අයිති වුනා.
කුසුමා වැඩට ඇවිත් සතියක් යද්දි මයුරිට තේරුනා තමන්ට මැහුමි ශිල්පය පිහිටලා තිබුනට වෙළඳාම පිහිටලා නැති බව. හුඟක් දවස්වලට කුසුමගේ සේල් එක තමන් ඉන්නවා වගේ දෙගුණෙකටත් වැඩියි. එි හින්දම මයුරිට කාලෙ ඉතුරු වුනා අළුත් ඇඳුම් මෝස්තර ගැන හිතන්න. කඩේට සපයන්න ඕනෙ මොනවද කොහොමද කියලා හිතන්න.
මුල්ම පඩිය ගත්තු දවසෙ තමයි කුසුමාට දැනුනෙ තමන් හම්බ කරපු සල්ලි වියදම් කරන එක කොච්චර සංතෝෂයක්ද කියලා. එදා ගෑණි ගෙදර ගියේ කුකුල් පළුවක්, කෙලවල්ලො පන්සීයක්, එළවළු හතර පහක්, බෑණාට මී කිරි හට්ටියක්, ළමයි දෙන්නාට මැජික් කෝන් පහ හයක් අරගෙන.
මාස දෙකක් යන්නත් කලින් කුසුමා එයාගෙ පලමුවැනි යෝජනාව මයුරිට ගෙනාවා. "ළඟ ඉස්කෝලයක් තියන එකේ අපි යුනිෆෝම් ටිකක් මහලා දාමුකො. මෙතනින් යන එන අම්මලා මං එක්ක යාළුයි. මට පුළුවන් වේවි විකුණන්න".
ළඟපාත මොන්ටිසෝරියෙ ළමයින්ට යුනිෆෝම් මහන කොන්තරාත්තුව කතා කරන් තිබුනෙත් කුසුමා එක්කයි. ඒවා දැකපු මහරගම හන්දියෙ මොන්ටිසෝරියක ටීචර් මයුරිව හොයාගෙන ආවා. එයාලගෙ කොන්සර්ට් එකට ඇඳුම් මහගන්න.
ඇවිල්ලා මාස පහකට විතර පස්සෙ කුසුමා මයුරිට තව යෝජනාවක් ගෙනාවා. "අපේ අල්ලපු ගෙදර රසිකා මල් පැල හදනවා. විකුණන්න. අපි එයාගෙ පැල ඉස්සරහ පිලේ තියලා විකුණලා දෙමුද? අපිටත් ගානක් තියාගෙන". මයුරිට තරහා ගියා. මේ ගෑණි මොකටද මේ එන්න හදන්නෙ. ඒත් එතකොටත් කුසුමාට නෑ බෑ කියන්න බැරි තත්වෙකට මයුරි වැටිලා තිබුනා.
රසිකාගෙ ඕකිඩ් ඇන්තූරියම් කඩේට හොඳ පෙනුමක් දුන්නා. වැඩේ පාඩු නෑ. මල් ගැන විමසන කට්ටිය රෙදි කඩේටත් එබුනා.
අද උදේ වැඩට ආපුවම කුසුමා එයා ලඟ එකතු කරපු රුපියල් ලක්ෂයක් මයුරි කුසුමා අතට දුන්නා. "කුසුමා ඇන්ටි. මට බෑ ඔයාගෙ සල්ලි පරිස්සම් කරන්න. යන්න, මේ සල්ලි වලින් බැංකු පොතක් ඕපන් කරන්න.
කුසුමා පැකිලුනා. බැංකුවකට යන්න. තනියම? "යන්න ඇන්ටි. බැංකු අපිට ඔරවන්නෙ අපි ණයක් ඉල්ලන් ගියොත් විතරයි. අපි සල්ලි දාන්න ගියාම ඒගොල්ලො අපිට කැමතියි".
මයුරි කිව්වෙ ඇත්ත නේන්නම්. බැංකුවට ගිහින් සිකුරිටි ළමයට කෙරෙන්න ඕනෙ වැඩේ කිව්වා විතරයි. හැමදේම වුනේ කොච්චර ලේසියෙන්ද?
වෙනිදාට පයින් එන බස් හෝල්ට් තුන හතර එන්න කුසුමා බස් එකකට නැග්ගා. ජනේලෙන් එළිය බලන් හිටියට කුසුමාට පෙනුනෙ බොහොම දුර දේවල්. "විල්සන්ගෙ අවුරුදු දහයෙ දානෙ ගෙදරට වඩම්මලා දෙන්න ඕනෙ. පුතා සෑහෙන්න ඈත් වෙලා. ඒකාව බලන්න යන්න ඕනෙ කැමති කෑම මුකුත් හදාගෙන. මුණුබුරාගෙ පංති ගාස්තු ගෙවන්න චේන් එක විකුණපු නිසා ලොකු දුවගෙ කර පාළුයි. චේන් එකක් ගන්න කියලා දුවට කීයක් හරි දෙන්න ඕනෙ. ෂික්..! මුණුබුරු මිණිබිරියො හතක් හිටියට උන් කාගෙවත් උපන් දින දන්නෙ නෑනෙ".