කේමදාස – ධර්මසිරි ගමගේ රස​ සංයෝගය​...

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    කේමදාස – ධර්මසිරි ගමගේ රස​ සංයෝගය​...

    රුං රුං රුං රුං මී මැස්සෝ….

    premasiri-kemadasa2.jpg
    z_p16-the-houror.jpg
    ජනප්‍රිය ඉන්දියානු සිනමාවෙහි අනුකරණයක් ලෙස උපත ලබන සිංහල සිනමාවෙහි මුල් අවධියෙහි දී, සිනමා සංගීතය ලෙස පිළිගනු ලැබුවේද ජනප්‍රිය ඉන්දියානු සිනමා සංගීතයෙහි අනුකරණයකි.


    ඒ සිනමා සංගීත භාවිතය හුදු ගී තනු නොඉක්මවූවක් විය. මුල් ඉන්දියානු සිනමා ගී තනු තුළ යම් මධුර බවක් තිබුණි නම්, අපේ සිනමාව තුළ බලහත්කාරයෙන් එබැවූ ගී පද මාලා හේතුවෙන් එයද බොහෝ විට විනාශ විය. ගීතය භාව ප්‍රකාශනයක් වෙනුවට හුදු විචිත්‍රාංගයක් ම ලෙස යොදා ගැනුණි. අතරින් පතර සුනිල් සාන්ත, බී එස් පෙරේරා, මර්සලින් ජයකොඩි පියතුමා සහ චන්ද්‍රරත්න මානවසිංහ වැනි අය විශිෂ්ට ගණයෙහි ලා සැලැකිය හැකි සිනමා ගීත ( රේඛාව, දෛයවයෝගය ) බිහි කළත්, ප්‍රධාන ධාරාවෙහි වෙනසක් සිංහල සිනමා සංගීතයෙහි මුල් දශක පුරාවටම දැකීම දුෂ්කරය.


    කේමදාසයන් උඩුගම් බලා යාත්‍රා කිරීමට සිංහල සිනමාවට එකතු වනුයේ මෙබඳු පසුබිමකය. හුදු අනුකරණයෙන් මිදුණු, ස්වතන්ත්‍ර නිර්මාණකරණයෙහි යෙදුණු ඔහු ට සිනමා සංගීතය පිළිබඳව ඒ යුගය අතික්‍රමණය කල දැක්මක් විය. සංගීතය වචන ඉක්මවන කලාවක් බව ඇදැහු ඔහු, ගීතය නම් වචන සහ සංගීතය හමු වන තැන සිදු වන භාව ප්‍රකාශනය උදෙසා ගී පද මාලාවක තිබිය යුතු දායකත්වය මැනවින් හැඳිනීය. ගී පද රචනා ඔහුට අවැසි තැනට රැගෙන ඒමට ගී පද රචකයන් මෙහෙයවීමට ඔහු කිසිවිටෙක පසු බට නොවිණි. කේමදාසයන්ගේ දුෂ්කර ගමනෙහි සහයට මෙන්, ස්වතන්ත්‍ර පිරිසුදු සිංහල ගී පද රචනා කලාවෙහි පුරෝගාමීන් වන මානවසිංහයන්, ජයකොඩි පියතුමන්, හියුබත් දිසානායකයන්, අරිසෙන් අහුබුදුවන් පසු පසින් ආ ඉමහත් නිර්මාණශීලීත්වයක් කැටි කරගත් තරුණ ගී පද රචකයකු ඔහුට මුණ ගැසෙයි. ඒ සිංහල සිනමා සංගීතය නව මගකට යොමු කළ ‘සැනසුම කොතැනද’ චිත්‍රපටය (1966) වෙනුවෙන් “සුළං කුරුල්ලෝ” (ඇන්ජලින් ලැනරෝල් / හරූන් ලන්ත්‍රා) සහ “ආදරයේ රන් විමනේ” (ලතා වල්පොල) ගීත රචනා කළ​ ධම්සිරි ගමගේ සූරීන්ය.
    dharmasiri-gamage.jpg
    සිනමාව තුළ ඔවුන් දෙදෙනා පළමු වරට මුණ ගැසෙනුයේ ‘සැනසුම කොතැනද’ හරහා වුව ද, මේ දෙපොළගේ සංයෝගයෙහි ඇරඹුම කේමදාසයන් ගේ ‘නව රැල්ල’ (1963) ගීත නාටකයයි. ‘නව රැල්ල’ සඳහා ගීත රචනය ධර්මසිරි ගමගේ සූරීන් අතින් සිදු විය. ඒ හරහා සරල, සුගායනීය වදන් හරහා ගැඹුරු ප්‍රකාශනය ට ධර්මසිරි ගමගේ සුරීන් තුළ වූ මනා හැකියාව කේමදාසයන් හඳුනා ගන්නට ඇත. මෙසේ ඇරැඹෙන කේමදාස – ගමගේ සංයෝගය සිංහල සිනමාව තුළ එතෙක් මෙතෙක් බිහිවූ මිහිරිතම මෙන්ම අරුත්බර ගීත රැසක් බිහි කරමින් දශක කිහිපයක් ඉදිරියට ඇදෙනු දැකිය හැක.


    “කුරුළු රෑන් රෑන්” (ලතා වල්පොල සහ පිරිස – ‘කපටිකම’ ,1966),

    “රෑන ගිරා ජෝඩුවයි” (ඩබ්ලිව්. ඩී. අමරදේව/ නන්දා මාලිනී – ‘රෑන ගිරව්’,1967),
    “මහගිරි අරණේ මේ දිවි උයනේ” (නන්දා මාලිනී – ‘හන්තානේ කතාව ‘,1969),

    “රන්කෙන්දෙන් රනින් සැදූ” ( මල්ලිකා කහවිට /ඇන්ජලින් ගුණතිලක – ‘රන් ඔන්චිල්ලා’ ,1971),
    “සීත මෝසම් ගීත නාදෙන්” (එච්. ආර්. ජෝතිපාල – ‘ජනක සහ මංජු’ , 1978) ,
    “ආදර මල් පවනේ” (එච්. ආර්. ජෝතිපාල/ලතා වල්පොල – ‘දුලීකා’, 1974) සහ “සඳ පෙම් යහනින් පායා වී” (සනත් නන්දසිරි/ලතා වල්පොල – “වසන්තයේ දවසක්” -1979)



    වැනි ගීත මේ දෙදෙනාගේ සංයෝගයෙන් අපට තිලිණ වූ අදද ජනප්‍රියත්වය එකසේ රැඳී පවත්නා ගීත ලෙස සඳහන් කළ හැක. මෙතෙක් සිංහල ගීත සාහිත්‍යයේ බිහිවූ විශිෂ්ඨතම මව්ගුණ ගීතයක් ලෙස සැලැකිය හැකි නන්දා මාලිනී ගායනා කරන “අම්මාවරුනේ” (‘යස ඉසුරු’ -1982) සහ විශිෂ්ඨතම පියගුණ ගීතයක් ලෙස සැලැකිය හැකි පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන “දරු දුක උහුලා” (‘පූජා’- 1986) මෙම එකතුවේ තවත් මහඟු ඵලයන් වෙයි.



    කේමදාසයන්ගේ “නව රැල්ල” සඳහා ධර්මසිරි ගමගේ සූරීන් ගීත රචනය කර දශක දෙකකට පමණ පසුව, ධර්මසිරි ගමගේ සූරින්ගේ අධ්‍යක්ෂයණයෙන් බිහි වුණු ‘යස ඉසුරු’ ,සහ ‘පූජා’ සඳහා සංගීතය කේමදාසයන් අතින් නිමැවීම , මේ දෙදෙනා තුළ එකිනෙකා පිලිබඳ වූ විශ්වාසය අපට පෙන්වා දෙයි.
    නිර්මාණකරණයෙහි දී අතිශය සියුම් මෙන්ම ගැඹුරු තැන් ස්පර්ශ කිරීමට මොවුන් දෙදෙනා සතුව අපරිමාණ පරිචයක් තිබුණද, නිර්මාණයකට ඇවැසි ලෙස තම භාවිතය ශික්ෂණයක් සහිතව නම්‍යශීලීව හැසීරවීම ට ඔවුන් තුළ වූ හැකියාවද මේ සංයෝගය තුළ දැකිය හැක. ‘ලසඳා’ (1974) චිත්‍රපටියෙහි එන,“මා ප්‍රාර්ථනා ආසාවෝ“ (එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක ) සහ “ගෙදර හිටිය රෝස කැකුළ” (එච්. ආර්. ජෝතිපාල / එම්.එස්. ප්‍රනාන්දු) ගී ද්විත්වයෙහිද, ‘ජනක සහ මංජු’,(1978) චිත්‍රපටියෙහි එන “ලෝකේ ජීවත් වන්නට” ( ක්ලැරැන්ස් විජේවර්ධන / ලතා වල්පොල) , “සුවඳක් දැනේවි හදේහි” (ක්ලැරැන්ස් විජේවර්ධන) සහ “සීත මෝසම් ගීත නාදෙන්” ( එච්. ආර්. ජෝතිපාල ) ගී ත්‍රිත්වයෙහිද ඇති විවිධත්වය මේ බැව් සනාත කරයි.


    කේමදාස – ගමගේ සංයෝගය සංකේතවත් කරවීමට නිර්මාණ රැසක් අතුරින් මේ තේරීම නිරතුරුව අපට නෑසෙන වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී විසින් ‘මී මැස්සෝ’ (1969) චිත්‍රපටයට ගායනා කරන “රුං රුං රුං රුං මී මැස්සෝ” ගීතය යි. ශෘංගාරාත්මක අරුතක් සෞන්දර්යයාත්මක ලෙස, සංයමයකින් යුතුව කැටිකොට පද රචනය කෙරී ඇති අන්දමත්, ඊටම සබැඳි තනුව සහ සංගීතයත් විඳිමු.



    රුං රුං රුං රුං මී මැස්සෝ
    පෙම් මල් රොන් බොන මී මැස්සෝ
    පියුම් විලයි පිපී වැනෙන මල් යහනාවයි
    මී මැස්සන් පැද්දෙන පෙම් ඔංචිල්ලාවයි

    රුවට රුවක් දුටු තැන රුව අතහැර යාදෝ
    හඬට හඬක් දී රුං රුං හඬ නැගුවාදෝ
    තොලට තොලක් ගෑවී පෙම් මී බීවාදෝ
    මලට මලක් දුටු තැන මල අමතක වේදෝ

    කපුරු මලේ සුවඳට බඹරෙකු රැවටේදෝ
    ලියතඹරා මළ පුඩුවට ඌ හසුවේදෝ
    වනන්තරේ වන සපුමල් නොපිපී යාදෝ
    මී මැස්සෝ පෙම් මී වදයක් නොබඳී දෝ

    ගීතය මෙතැනින්:


    (මේ 11.12.2014 වැනි දින පැරැණි සිංහල ගී රසික හවුල සමූහයේ පළ කරන ලද සටහන කි.)
    https://ronsunu.home.blog/2019/09/22/කේමදාස-ගමගේ/