කේළම් කියන්න එපා ! එපාමයි.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    කේළම් කියන්න එපා ! එපාමයි.

    පොඩි වෙලාවක් වැය කරලා මේ කතාව කියවන්න.
    එක රටක රජ කෙනෙක් බොහොම හොඳින් රට පාලනය කළා.රට වැසියනුත් සතුටින් කාලය ගත කළා. කියන්නට තරම් ගැටළුවක් ඔවුනට තිබුනෙත් නෑ.ඔය විදිහට කාලයක් ගත වුනා.
    රටේ රජතුමා හදිසියේ රෝගාතුර වුනා.රජතුමාට වැළඳුනේ කුෂ්ට රෝගයක්.එතුමාට වැළඳුන මේ රෝගය ශරීරය පුරාම පැතිරුනා.
    සිරුර පුරා ඇති වූ කුඩා ගෙඩි පසුව ලොකු වී පුපුරා ගියා.එසේ පුපුරා ගිය ගෙඩිවලින් පිටතට ආ සැරව නිසා රජතුමා ගේ සිරුර පුරා නිමක් නැතිව කුෂ්ට රෝගය තවත් වේගයෙන් පැතිර ගියා.
    රජතුමාට මුලින්ම වෙදකම් කළේ රාජකීය වෛද්‍යවරයායි.ඔහුට රජුගේ අසනීපය සුව කරන්නට බැරි වුනා.එයින් පසු රටේ ප්‍රසිද්ධ හැම වෛද්‍යවරයාම රජුගේ අසනීපයට බෙහෙත් කළා.වෙනත් රටවලිනුත් වෙදැදුරන් ආවා.ඔවුනුත් රජුට ප්‍රතිකාර කළා.

    එසේ වුවත් ඒ කිසිම වෙදැදුරෙකුට රජතුමාගේ අසනීපය නම් සුව කරනවා තබා හිතන්නවත් බැරි වුනා.
    රජතුමාට තමන්ගේ රජකම පමණක් නොව තමන්ගේ ජීවිතයත් එපා වෙන තත්ත්වයට ඇවිත්.

    රජතුමා තමන්ගේ ජීවිතය ගැන තදින්ම කළකිරෙන්නට පටන් ගත්තා.සැනසීම එතුමා වෙතින් පලා යමින් තිබුනා.රට වැසියන්ටත් රජතුමාගේ මේ මානසික පීඩනය බල නොපෑවා කියලා කියන්නට බැහැ. රජුගේ මේ සුව නොවී පැවැති දරුණු කුෂ්ට රෝගයේ ස්වභාවය මුළු රටටම ඇති කර තිබුනේ මහා අප්‍රසන්න බවක්.

    මේ රට මැදින් යන්නට ආ සන්චාරකයෙකුට රජතුමාගේ මේ දරුණු අසනීප තත්ත්වය ගැන අසන්නට ලැබුනා.කිසියම් අදහසක් සිත දරා ගත් මේ පුද්ගලයා මග සළකුණු අසා ගෙන රජ මැදුරට පැමිණියා.තමා වෛද්‍යවරයකු බව කී මේ පුද්ගලයා රජතුමා දකින්නට අවසර ලබා ගත්තා.

    "ඔබට හැකිද මගේ අසනීපය සුව කරන්නට?" තමා ඉදිරිපිට සිටින අලුත්ම වෛද්‍යවරයාගෙන් රජතුමා ඇසුවා.
    "එසේයි දේවයිනි,එසේ කළ හැකියැයි මා විශ්වාස කරනවා."
    " ඔබේ විශ්වාසය මා අගය කරනවා." රජතුමා කීවා."එසේ වුවත් මා ඔබට කිව යුතු දෙයක් තිබෙනවා.ඒ බව හොඳින් සිතට ගන්න."
    "පසුගිය කාලය පුරාම බෙහෙත් ඖෂධ භාවිත කිරීමෙන් මා ඉතාම වෙහෙසට පත් වෙලා.මට ඒ සියල්ල තදින්ම අප්‍රිය ජනකයි.ඒ නිසා ඒ ගැනද සිතා ඔබට ප්‍රතිකාර කල හැකි නම් මා බෙහෙවින් අගය කරනවා."
    "ඔබ තුමාට ප්‍රතිකාර කිරීමේදී මා ඒ ගැන සිහියේ තබා ගන්නම්." වෛද්‍යවරයා සහතික වූවා.
    "ඔබේ කටයුතු වෙනුවෙන් මගෙන් ඉටු විය යුත්තේ කුමක්ද?" රජතුමා විමසුවා.
    "ඔබ තුමාට දවසට වරකට වඩා ප්‍රතිකාර කිරීම කළ යුතුයි.ඒ නිසා මහ වාසළ අසළින්ම නවාතැනක් ලැබේ නම් වඩා යහපත්."
    "එය එසේම වේවි.”
    වෙදැදුරුතුමා, රජතුමාගේ කුෂ්ට රෝගයට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා.හැබැයි වෙනස්ම විදිහකට.


    ක්‍රිකට් පිත්තක් වැනි ක්‍රීඩා භාණ්ඩයක් සකස් කර ගත් ඔහු එහි මිට කොටස තුළට ඖෂධ ඇතුළු කළා.තමාත් එවැනි පිත්තක් සාදා ගත් වෙදැදුරු, රජතුමා සමග පන්දු ක්‍රීඩා කරන්නට පුරුදු වූවා.
    දෙදෙනාගේ පන්දු ක්‍රීඩාව රජ මැදුරු මිදුලේ සුලබ දසුනක් බවට ඉක්මණින්ම පත් වුනා.
    වෙදැදුරුගේ මේ අමුතුම වර්ගයේ ප්‍රතිකාර ක්‍රමය ගැන රජතුමාද සිටියේ විමතියෙන්.රජ මැදුරේ සැම දෙනාත් ඒ ගැන අවධානයෙන් හිටියේ.
    පන්දු පිත්තේ ඇතුළට වෙදැදුරු විසින් කවන ලද ඖෂධ රජු විසින් ඒ මිට අල්ලා ගෙන ක්‍රීඩා කරන හැම අවස්ථාවකදීම රජුගේ ශරීර ගත වන්නට පටන් ගත්තා. ක්‍රමයෙන් එසේ ශරීර ගත වන ඖෂධ ශරීරය තුළ ක්‍රියාත්මක වූ අතර රජුගේ ශරීරයේ වූ කුෂ්ට රෝග මූලයන් ඒ මගින් විනාශ වන්නට පටන් ගත්තා.
    ටික කලක් ගත වන විට රජු ගේ ශරීරය මුළුමණින්ම වසා පැතිර තිබූ කුෂ්ට රෝගය සම්පූර්ණයෙන්ම සුව පත් වූවා.
    රජතුමාට හරිම සතුටුයි.එතුමාට ඒ ගැන විශ්වාස කරන්නට අපහසු වූවා තරම්.මේ පුවත දැනගත් රට වැසියන් පවා සතුටු වූවා.
    රජතුමා මේ අපූරු ඒ වගේම විස්මිත දස්කම් ඇති වෙදැදුරුට මහත් වස්තුව ලබා දුන්නා.හොඳින්ම සත්කාර කළා.
    රජතුමා මේ විස්මිත වෙදැදුරාට දක්වපු ඉහළම සත්කාරය කුමක්ද කියා හිතා ගන්න පුළුවන්ද?

    රජතුමා මේ වෛද්‍යවරයාව තමන්ගේ රාජධානියේම නතර කර ගත්තා.වෛද්‍යවරයෙකු විදිහටම නෙවෙයි.තමන්ගේ හොඳම හිතවතෙක් හැටියට රජතුමා මේ විස්මිත වෙදැදුරාට සළකන්නට පටන් ගත්තා.

    වෛද්‍යවරයාත් රජතුමා හා එකඟ වී රාජධානියේම නතරවන්නට තීරණය කළා.
    ඔය විදිහට කාලය ගත වෙලා ගියා.
    රජතුමා හා වෙදැදුරු අතර පවතින මේ සමීප මිත්‍රත්වය ගැන රජ වාසළ තුළින්ම ඉරිසියාව පළ වන්නට පටන් ගත් බවක් පෙණෙන්නට වූවා.ඉරිසියාව ප්‍රකාශ වන්නේ කුහකකමත් එක්කමයි.යම් යම් අය තුළ මේ විදිහේ සිතිවිලි පරම්පරා ඇති වීම අතිශය භයානකයි.
    මේ අයහපත් සිතිවිලි නිසා ඇතිවන ඊළඟ අනිසිම ප්‍රතිඵලය තමා කේළම.
    රජවාසළ තුළ මෙන්න මේ ආකාරයේ නපුර වපුරන හා ඒ මගින් කිසියම් ආශ්වාදයක් ලැබීමට සුදානම් වූ පිරිසක් සිටියා.
    මෙන්න මේ සන්ධානය වෙදැදුරුට විරුද්ධව රජුට කේළාම් කීමේ ව්‍යාපාරය ක්‍රමිකව පටන් ගත්තා.

    කේළාම් කීමේ කලාවට මූලාශ්‍රයක් උවමනා නැහැනේ.ඕනෑම දෙයක් මුල් කර ගෙන කේළම් ගොඩ නගන්නට පුළුවන්.
    වෛද්‍යවරයා පිළිබඳව තම වාසළ තුළින්ම නැගෙන චෝදනා ගැන රජතුමාගෙන් නම් පළ වූයේ උදාසීන ප්‍රතිචාරයක්.ඒ කිසිවක්ම විශ්වාස කරන්නට රජු උත්සාහ කළේ නැහැ.
    ඒත් පහු වන විට නම් තත්ත්වයේ වෙනසක් දකින්නට තිබුනා.
    තමන්ගේ රාජකීය හිතවතුන් මේ නිතරම තමන් දැණුවත් කරන්නේ තමන්ගේ යහපතට බවයැයි සිතන්නට තරම් රජුගේ සිත පෙළඹෙන්නට පටන් ගත්තා.
    රජතුමාගේ සිතේ සැකය කියන මහා භයානක මාරක පැළය රෝපණය වෙන්නට පටන් ගත්තා.රජුගේ සිත පුරාම සැකයේ පැළය දලු ලා ක්‍රමයෙන් ලියලා ආවා.

    එහි තේරුම තමා සවන් තුළින් ගෙන සිත ඇතුළේ පුරවා ගත් කේළාම් නිසා වෛද්‍යවරයාව නිකරුණේ සැකයට පාත්‍ර කිරීම.මේ තත්ත්වය තමා වෛද්‍යවරයාට ඊරිසියා කළ පිරිස බලාපොරොත්තුව සිටියේත්.

    රජ කෙනෙකු තුළ ඇතිවන මෙවැනි හැඟීම් උදා කරන්නේ ඇත්තටම මාරකයක්.
    සැකයේ කුණාටුවෙන් හෙම්බත්ව සිටින රජතුමා ඉන් මිදෙන්නට පියවර ගත්තා. ඒ ගත් තීරණය වෛද්‍යවරයා වෙත ගෙන ආවේ මරණයයි.
    රජතුමා මේ කරන්නේ කුමක්ද? අනුන්ගේ කේළාම් අසා ඒ සියල්ල පැහැදිළි විමර්ශණයකින් තොරව පිළිගැනීමයි.මේ සඳහා කිසිදු ආකාරයක දෙපාර්ශව අතර විසඳීමක් කළේ නැහැ.
    කේළාම් පමණක් පදනම් කර ගෙන තමාට නැවතත් ජීවත් වීමේ වාසනාව උදා කර දුන් වෛද්‍යවරයාව නිරපරාදේ හිස ගසා මරා දැමීමට තීරණයක් ගැනීමට තරම් සැහැසි තත්ත්වයක රජතුමාගේ සිතිවිලි පැවතුනා.

    අනුන්ගේ කේළාම් පිළිගෙන කිසිදු වරදක් නොකළ වෛද්‍යවරයාව හිස ගසා මරා දමන්නට තමා ගෙන ඇති තීරණය රජතුමා විසින් වෙදැදුරුට දැනුම් දෙනු ලබුවේ රජ සබය රැස්වූ අවස්ථාවකයි.ඒවෙලේ රජ සබය තුළ පැවතියේ දැඩි නිහඬ බවක්.රජතුමාගේ මේ තීරණය බොහෝ දෙනෙකු නම් අනුමත කළේ නැහැ.හේතුව ඒ බොහෝ දෙනා වෙදැදුරු නිර්දෝශී පුද්ගලයකු බව දැන සිටීමයි.
    රජතුමාගේ තීරණය ප්‍රකාශයට පත් වීමෙන් පසුවත් රජ සබය තුල වූ නිහඬ බව කඩ වූයේ නැහැ.අඩු වශයෙන් වෙදැදුරුවත් වචනයක්වත් කතා කළේ නැහැ.

    "අවසාන වශයෙන් ඔබට යමක් කියන්නට තිබෙනවාද?" නිහඬතාව කඩ කරමින් රජතුමා කතා කළා.
    “එසේයි.මට මගේ නවාතැනට ගොස් එන්නට අවසර ලැබේ නම් යහපති." වෙදැදුරු කීවා.රජතුමා ඒ ඉල්ලීම පිළිගත්තා.ආරාක්ෂාව යටතේ තම නවාතැනට ගිය වෛද්‍යවරයා යම් කාලයකට පසු නැවතත් රජ මැදුරට ආවා.
    "රජතුමනි,අවසන් වශයෙන් මගේ ඉල්ලීමක් තිබෙනවා." වෛද්‍යවරයා කී නිසා රජුගෙන් ඒ සඳහා අවසරය ලැබුනා.
    "වධකයා විසින් මගේ හිස කඳින් වෙන් කළ පසු ඒ වෙන් කළ හිස ගෙන උස් ස්ථානයක තබන්න." ඒ ඉල්ලීම රජු විසින් පිළිගනු ලැබුවා.
    ඉන්පසු වෛද්‍යවරයා කළේ මෙතෙක් තමා එනතුරු බලා සිටි වධකයා වෙත ගොස් තම හිස පැමයි.
    වධකයා එක පහරින්ම වෙදැදුරුගේ හිස කඳින් වෙන් කර දැම්මා.
    ඊළඟට තිබුනේ වෙදැදුරුගේ අවසාන ඉල්ලීම ඉටු කිරීමයි.ඒ ඉල්ලීමේ පසුබිම් හේතුවක් කිසිවෙකු දැන සිටියේ නැහැ.ඒත් රජතුමාගේ නියමය පිට සේවකයින් කඳින් වෙන්වූ වෛද්‍යවරයාගේ හිස වැටී තිබූ තැනින් ඔසවා උස් පුවරුවක් මත තැබුවා.
    අවට පැතිරුනේ දැඩි නිහඬතාවක්.ඒ නිහඬ බව කඩ කරමින් හා රජු ඇතුළු අවට සිටි සියලු දෙනා විස්ම ගන්වමින් වෙදැදුරුගේ කඳින් වෙන්වූ හිස කතා කරන්නට පටන් ගත්තා.
    "රජතුමනි." හිස සිය කතාව අරඹමින් කීවා."මා සිටි නවාතැනේ මේසයක් මත පොතක් තබා ඇති.කරුණාකර සේවකයකු ලවා එය මෙහි ගෙන්වන්න."
    සේවකයකු පොත ගෙනැවිත් රජතුමා අත පත් කළා.
    "රජතුමනි,ඔය පොතේ විසිහත් වැනි පිටුවට පෙරළන්න." හිස කීවා.
    "එහි කිසිවක් නෑ." පිටුව පෙරළා ගත් රජතුමා කීවා.
    "එසේ නම් හතළිස් හත් වැනි පිටුවට පෙරළන්න." හිස නැවතත් කීවා.
    "ඒ පිටුවෙත් කිසිවක් නෑ."
    "රජතුමනි....." ආදී වශයෙන් හිස තවත් පිටු කිහිපයකටම පෙරළන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කළා.ඒ කිසි පිටුවක කිසිවක් නැති බව රජතුමාද දැනුම් දුන්නා.
    රජතුමා පොතේ පිටු පෙරළුවේ තරමක් අසීරුවෙන්.හේතුව වූයේ පොතේ පිටු එකිනෙක ඇලී තිබීමයි.ඒ නිසා තම දබරැඟිල්ල දිව මත තබමින් කටේ කෙල එහි තවරා ගත්තා.
    එසේ පොතේ පිටු පෙරළමින් සිටි රජතුමා එකවරම සිහසුන මත මැරී වැටුනා.රාජ සභාවේ සිටියවුන් බිරාන්තව මෙන් බලා සිටියා.
    "ඔය පොතේ පිටු අතර වස තවරා තිබුනා.රජතුමා තම දබරැඟිල්ල දිව මත තබා ගත් හැම විටකම පිටු අතර තිබූ විශ ඔහුගේ ශරීර ගත වුනා.ඔහු මැරී වැටුනේ ඒ නිසයි.අනුන්ගේ කේළාම් අසන විචාර බුද්ධියකින් තොරව කටයුතු කරන ඕනෑම කෙනෙකුට අයත් වන්නේ ඔවැනි ඉරණමක් තමා." වෛද්‍යවරයාගේ හිස අවසාන වශයෙන් කීවා.

    ඉන්පසු ඒ හිස කවදාවත්ම කතා කළේ නැහැ.

    'කේළම් කියන්න එපා. කේළම් අහන්නත් එපා.හරිම භයානකයි.'

    (පැරණි අතිරේක කියවීම් පොතකින් උපුටා ගන්නා ලදී.)