කේළමා කියන වචනය, හමුදාවේ යොදාගන්නා රහස් සංකේත නාමයක් බව මම දැනගත්තේ 1980 දශකයේ මැද භාගයේදීයි. ඒ කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාවිච්චි කරන නියමුවන් රහිත යානය හඳුන්වන ලද රහස් පදය Code Name වුනේ ‘කේළමා’ කියන වචනයයි. එය හරියටම ගැලපෙනවා නේද? ඔත්තු බලාගෙන ඒවා සජීවීව අපට කියන එකත්, (පාලක මධ්‍යස්ථානය වෙත එවන සජීවී පින්තූර සහ දත්ත) එමෙන්ම පටිගත කරගෙන ඇවිත් ආපහු කියන එකත් නේ මේ කේළමා කරන්නේ. මම පසුගිය ලිපියෙන් කිව්වනේ යාන්ත්‍රික කේළමෙකු, අවලමෙකු, ඔත්තුකාරයකු, මිනීමරුවකු හඳුන්වා දෙනවා කියලා. ඔන්න දැන් කේළමා සහ ඔත්තුකාරයා හඳුන්වා දුන්නා. ඊළඟට ඉන්නේ අවලමා සහ මිනීමරුවා. drone යානයක සවිකර තිබෙන කැමරා පද්ධතිය ඉතා තියුණු හා සංවේදී රූප ලබාගතහැකි ආකාරයටයි සකසා තිබෙන්නේ. අධෝරක්ත කිරණ ඡායාරූප/වීඩියෝ පවා ලබාගන්න පුලුවන්. කණාමැදිරි ආලෝකයක් තිබුණත් ඉතා විශිෂ්ඨ ගණයේ ඡායාරූප/වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් ඒ කැමරා පාවිච්චි කර, ඔබේ නිවසට ඉහළ අහසේ සිට පෑන්ලයිට් එක තුළින් ඔබේ නාන කාමරයටත්, යන්තම් විවරවී ඇති කවුළුවකින් හෝ ග්‍රිල්/ලැටිස් අතරින්, ඔබේ නිදන කාමරයටත් ‘එබී බලන්නට’ මේ ‘අවලමාට’ පුළුවන්. එමෙන්ම තමන්ගේ තටුවල යට සවිකර ඇති මිසයිල් එකක් දෙකක් යොදවා ‘මිනීමරුවකු’ බවට පත්වන්නටත් පුළුවන්. දැන් පේනවා නේද drone යානයක තරම.
මෙඩුසාගේ පින්තූරය ගත්තේ මෙතනින්
දැන් පෙන්නන්නම් ඇමරිකානු ගෝගන් ස්ටෙයා එක. ඇමරිකන් කාරයා මේ drone යානා නිරීක්ෂණ ක්‍රමයට ගෝගන් ස්ටෙයා කියලා නම දැම්මේ මේ නිරීක්ෂණ පද්ධතියෙන් ලබාගන්න තොරතුරු ආධාර කරගෙන මාරාන්තික ප්‍රහාර එල්ල කළහැකි නිසයි. එයත් හරියට අර මෙඩුසා ගේ ශාපය වගේ.
බලන්න සිදුවනදේ. කැමරා 12 කින්, එකවර ලබාගන්නා ඡායාරූප/වීඩියෝ දර්ශණ, වෙන වෙනම හෝ, අංශක 360 ප්‍රදේශයක් ආවරණය වන, එක වීඩියෝවක්/රූපයක් ලෙස සකසා, පාලක මැදිරියට යවනවා. නැත්නම් පාලක මැදිරියේදීත් අවශ්‍ය සැකසුම් කරගන්න පුළුවන්. එම පින්තූර, යුදබිමේ සිටින සෙබළාගේ හෙල්මට් එකේ තිබෙන, විශේෂ වීඩියෝ දර්ශන තිරයකට වුනත් යවන්න පුළුවන්. එවිට, තම අවට භූමියේ, තමන්ට නොපෙනෙන ප්‍රදේශවල සිදුවන දේ ගැන අවබෝධයක්, සෙබළාට ලැබෙන අතර, ගතයුතු ක්‍රියාමාර්ගය ක්ෂණිකව ගතහැකි වෙනවා. එපමණක් නෙවෙයි යුදබිමේ තිබෙන යුද ටැංකි සහ කාලතුවක්කු අණදීමේ ප්‍රධානීන් වෙතත්, මේ පින්තූර ලබාදීමෙන් නිවැරදිව ඉලක්ක ලබාගැනීමට හැකිවෙනවා.
Drone යානා හදන්න ලෝකය මෙතරම් උනන්දු වෙන්නේ ඇයි? ඔබ දන්නවා නේද එක්තරා කියමනක් තියනවා, අඬුව තියෙද්දී අත පුච්චාගන්නේ මොකටද කියා. එහි වාච්‍යර්ථය වන්නේ, රත්වූ යමක් අල්ලන්න අඬුවක් තිබියදී, එය අතින් අල්ලා අත පුච්චා ගැනීම, මෝඩ වැඩක් බවයි. භාවාර්ථය වන්නේ, තමන්ට හානියක් නොවී, බේරී සිටිමින් කළහැකි ක්‍රියාවක් වෙනුවෙන්, අනවශ්‍ය අනතුරුදායක බවකට අත පෙවීම මෝඩකමක් බවයි. ඒ කියන්නේ, නියමුවන් රහිත යානයකින් ගතහැකි ප්‍රයෝජනය සඳහා, නියමුවන් සහිත යානයක් යොදවා, ඒ නියමුවන්ගේ ජීවිතය අනතුරේ හෙලීම මෝඩකමක් බවයි. ප්‍රහාරක ගුවන් නියමුවකු පුහුණු කරන්න අති විශාල ධනස්කන්ධයක් මෙන්ම වටිනා සම්පත් සහ කාලය වැය වෙනවා. දක්ෂ ප්‍රහාරක ගුවන් නියමුවකු කියන්නේ මිළ කළ නොහැකි සම්පතක්. එවැනි නියමුවකු අහිමි වීම, කියන්න බැරිතරම් පාඩුවක්. මේ නිසා හැකි සෑමවිටම නියමුවන් රහිත යානා යොදාගැනීම ප්‍රඥාගෝචරයි.
Drone යානයකින් ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද?
ලොකු විස්තරයක් ලියනවාට වඩා පහසුයි පහත දැක්වෙන වීඩියෝ එක බලන එක.(මේ ලිපියේ තිබෙන සියලුම වීඩියෝ ඉතා කෙටි ඒවා බව අවධාරණය කරනවා.)
පේනවා නේද ඉහළ අහසේ ඉඳලා ඉලක්ක ගන්න හැටි. මේ සජීවීකරණයෙන් බලන්න, ඒ ප්‍රහාරය සඳහා යොදාගන්නා මිසයිල් Drone යානයකින් නික්ම යන හැටි.
දැන් පෙනෙනවානේ Drone යානාත් එක විදිහක මාරයෙක් කියන එක.
Drone යානා විවිධ කටයුතු වලට යොදාගන්නා නිසා වර්ගීකරණයකට ලක්කර තිබෙනවා. හැබැයි ඒ වර්ගීකරණය හරිම සංකීර්ණයි. මේ යානා වර්ගීකරණය සඳහා යොදාගන්නා නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි.
- යානයේ බර
- දරාසිටීමේ හැකියාව සහ එක වරකට යාහැකි දුර
- යා හැකි උපරිම උස
- බර ඉසිලීම සඳහා යානයේ තටු වලට ඇති හැකියාවේ ප්‍රමාණය
- එන්ජිමේ වර්ගය
- යානයේ ගුවන්ගතවීමේ බලය
මෙන්න මේ සාධක පදනම් කරගනිමින්, ප්‍රධාන වශයෙන් මේ යානා වර්ග කරන්නේ මෙහෙමයි.
- ඉලක්ක ලබාදීමේ සහ ඔත්තු සැපයීමේ යානා – Target and decoy සතුරු මිසයිල, සතුරු ගුවන්යානා, ආදිය පිළිබඳව පොළොවේ පිහිටවා ඇති තම කාලතුවක්කු, ගුවන්යානා නාශක තුවක්කු, මිසයිල් මධ්‍යස්ථාන වෙත තොරතුරු ලබාදීම.
- නිරීක්ෂණ කටයුතු පමණක් කරන යානා – Reconnaissance පහළ භූමියේ ස්වභාවය සජීව වීඩියෝ/නිශ්චල ඡායාරූප මගින් පාලක මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීම.
- ප්‍රහාරක යානා – Combat role UAVs නියමුවන් සහිත යානා යෙදවීම දැඩි අවදානම් සහිත තත්ත්වයන්හිදී සාර්ථක විකල්පයක් ලෙස ප්‍රහාර සඳහා යොදවන යානා.
- කාර්ය සම්පාදන යානා – Logistics UAVs භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් යොදාගන්නා යානා.
- පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් සඳහා යොදාගන්නා යානා – Research and development අනාගත වැඩිදියුණු කිරීම් පිලිබඳ පර්යේෂණ සඳහා පමණක් යොදාගන්නා යානා.
- සිවිල් සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා යානා – Civil and Commercial UAVs කාලගුණ දත්ත සෙවීම, භූමි සිතියම් සැකසීම, වැනි සිවිල් කටයුතු හෝ විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි සන්නිවේදන, ප්‍රවාහන, ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා යානා.
අනික් යානා පැත්තක තබා එක ප්‍රහාරක යානයක් අරගෙන බලමු.
මේ යානය පොළොවේ පිහිටි පාලක මධ්‍යස්ථානයේ සිට හසුරවන්නේ ප්‍රහාරක ගුවන් යානා නියමුවකු විසින්. ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පවා යොදවා ගන්නවා. මෙවැනි යානා 30 ක් පමණ ඇමරිකාව සතු යයි උපකල්පනය කරනවා.
පොළොවේ සිට මේ යානා පාලනය කරන්නේ කොහොමද?
ඔබ දැනටමත් දන්නවා, මේ යානා, දුරස්ථපාලක remote control ක්‍රමයටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ යානයක් පාලනය කරන්නට, පාලක මධ්‍යස්ථානයක් අවශ්‍යයි. ඒ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබෙනවා.
1. ස්ථාවර පාලක මධ්‍යස්ථාන – Main Groud Conrtol Stations මේවා පොළොවේ ස්ථිර ගොඩනැගිලිවල සවිකර තිබෙන (සමහරවිට බංකරයක හෝ පොලොව යට කුටියක විය හැකියි) පාලක මධ්‍යස්ථාන. මේ තියෙන්නේ එවැන්නක්. මේවායෙන් 99% කට චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු පද්ධතිවල සහයත් ලැබෙනවා.
2. අර්ධ ස්ථිර (උපක්‍රමික) පාලක මධ්‍යස්ථාන – Tactical Ground Control Stations මේවා කන්ටේනරයක සවිකර තිබෙන්නේ. අවශ්‍ය විටකදී ගළවා ඉවත්කරගෙන ගොස් තවත් තැනක නැවත සවිකළ හැකියි. වාහන ගමන් කිරීමට අපහසු ප්‍රදේශවලට, හෙලිකොප්ටරයකින් ඔසවාගෙන ගොස් තැබිය හැකියි.
3. ජංගම පාලක මධ්‍යස්ථාන - Mobile Stations මේවා ස්ථිරවම විශේෂයෙන් සැකසු වාහනයක/නැවක/බෝට්ටුවක/තවත් ගුවන්යානයක/ සවිකර තිබෙන්නේ. අවශ්‍ය තැනකට ගමන්කර එහිසිට තම කාර්ය භාරය ඉටුකළ හැකියි.
මේ වගේ පොඩි වාහන වලිනුත් කරන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි. අතේ (කරේ එල්ලගෙන) ගෙනයන ප්‍රමාණයේ (Man Portable) කුඩා පාලක මධ්‍යස්ථානත් තියනවා හදිසි මෙහෙයුම් සඳහා මෙන්ම, ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ආධාර වශයෙන් යොදාගතහැකි.ලෝකයේ තත්වය ඔහොමයි. අපේ තත්වය කොහොමද?
අපිටත් නියමුවන් රහිත ගුවන් යානා තිබෙන බව ඔබෙන් සෑහෙන පිරිසක් දන්නවා. හැබැයි අප සතුව තිබෙන්නේ නිරීක්ෂණ යානා පමණයි ප්‍රහාරක යානා නැහැ. අම්මෝ ප්‍රහාරක යානයක මිළ ඩොලර් මිලියන 10.5 ක් කියලා අර ඉහත තිබෙන, ‘ඇමරිකානු ඩ්‍රොන් යානා මෙන්න මෙහෙමයි’ කියන රූපයේ පහළින් තියනවා. එය 132 න් වැඩි කරලා රුපියල් වලින් ගණන හදාගන්න. අපේ ගුවන් හමුදාව ‘කේළමා’ලා වර්ග දෙකක් පාවිච්චි කරනවා. මෙන්න එක වර්ගයක්. හැබැයි අමතක කරන්න එපා. මේ යානා වලින් පසුගිය එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී සිදුවූ සේවය වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.
