කොග්ගල ලෝක ඉතිහාසයට ගෙනගිය The Double Sunrise මෙහෙයුම

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    කොග්ගල ලෝක ඉතිහාසයට ගෙනගිය The Double Sunrise මෙහෙයුම

    ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ක්ෂේත්‍රය ගැන අද අහන්න ලැබෙන්නේ ඒ තරම් සුභවාදී දේවල් නම් නෙවෙයි. රටේ ජාතික ගුවන් සේවාව ණය බරින් මිරිකිලා පාඩු ලබමින් අර්බුද ගොඩක ඉන්නේ. කොහොම වුණත් තවත් බොහෝ දේවල්වලින් වගේ ම ගුවන් ගමන් ක්ෂේත්‍රයෙනුත් අපේ රට අතීතයේ තිබුණේ ඉතා ම වැදගත් තැනක.

    fE0gP4S.jpg


    එවකට ඕස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගැනීමේ එකම මාර්ගය වෙලා තිබුණේ සිංගප්පුරුවයි. ජපනුන් විසින් සිංගප්පුරුව යටත් කර ගැනීමෙන් පසුව එම අඩුව පිරිමහිමට එක විකල්පය උනේ කොග්ගල වැවයි.

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, දෙවන ලෝක යුද්ධය, සහ සිංගප්පූරුව ජපනුන්ට යටත් වීම

    ගුවන් ගමන් ක්ෂේත්‍රයේ වර්ධනයත් එක්ක 1940 ගණන් වන විට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගන්න බ්‍රිතාන්‍ය කොලනි අතර ගුවන් සේවා සමූහයක් ස්ථාපිත කෙරුණා. මේවා පසු ව ඒකාබද්ධ වී බ්‍රිතාන්‍ය එතෙර ගුවන් මාවත් සංස්ථාව (British Overseas Airways Corporation – BOAC) නමින් සංස්ථාපිත වුණා. රාජ්‍යතාන්ත්‍රිකයන්ට ගමන් පහසුව සලසමින්, වේගයෙන් තැපැල් භාණ්ඩ හුවමාරු කරමින් මෙය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නොබිඳී පවත්වා ගැනීමේ ප්‍රධානතම පුරුකක් බවට පත් වුණේ නිතැතින් ම යි.

    0XzWiPo.jpg



    කොහොම නමුත් ලොව මීළඟ ප්‍රබල ම අධිරාජ්‍යය වීමේ අරමුණෙන් සිටි ජපන් අධිරාජ්‍යයත් ඒ කාලයේ කලාපය පුරා ම බලය පතුරවමින් සිටියේ. ක්‍රමෝපායයික ව අතිශයින් ම වැදගත් වරායක් වන සිංගප්පූරුව ආක්‍රමණය කරන්න ඔවුන් කටයුතු කළේ එහි පියවරක් විදිහට යි. සතියක පමණ කෙටි, අසාර්ථක සටනකින් පසු ව සිංගප්පූරුවේ සිටි මිත්‍ර හමුදාවන් 1942 පෙබරවාරි 15 වැනි දා ජපානයට යටත් වුණා.

    Go2mFli.jpg


    සිංගප්පූරුව යටත් වීම විශාල පරාජයක් වූවත් ඊටත් වඩා සුවිශාල පරාජයක් වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතු සුවිශාල ම මෙන්ම වටිනා ම කොලනියක් වූ ඕස්ට්‍රේලියාව සමඟ පැවති සම්බන්ධතා සියල්ලත් බිඳ වැටීම යි. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට අතිශයින් ම වැදගත් වූ BOAC ගුවන් ගමන් නතර වීමත් එක්ක තැපැල් සම්බන්ධතාව ඇතුළු සන්නිවේදනයත් මුළුමනින් ම ඇණ හිටියා.



    යටත් වුණු සිංගප්පූරුව වෙනුවට සිලෝන් දිවයිනේ දකුණු මුහුදු තීරය
    ඒ වන විටත් රාජකීය ගුවන් හමුදාවේ (RAF) හි කඳවුරක් සිලෝන් දිවයිනේ දකුණු කෙළවරේ ඇති කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබුණු නිසා සිංගප්පූරුව වෙනුවට එය යොදාගන්න තමයි සැලසුම් කෙරුණේ. කොග්ගල සිට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කරච්චි (බ්‍රිතාන්‍ය ඉන්දියාවට වර්තමානයේ ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලාදේශය අයත් වුණා) දක්වා ගොඩබිමින් හා මුහුදින් සම්බන්ධතාව පවත්වා ගන්න සැලසුම් කෙරුණා. BOAC හි මධ්‍යස්ථානයක් කරච්චිවල පිහිටා තිබුණු නිසා එවිට මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාව යළි ස්ථාපිත කරගන්න පුළුවන්.

    xkITuI0.jpg


    ඒ අනුව තමයි 1943 දී ඕස්ට්‍රේලියාවේ රාජකීය ගුවන් හමුදාවේ නිලධාරීන්ට මේ සේවාව දියත් කරන ලෙස නියෝග ලැබෙන්නේ. මෙහෙයුමට අතිශයින් ම වැදගත් කොග්ගල වැවේ මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි Consolidated PBY Catalina වර්ගයේ දියේ ගොඩ බැස්විය හැකි ගුවන් යානා පහක් බ්‍රිතාන්‍ය ගුවන් අමාත්‍යාශය මඟින් කුලී පදනම යටතේ ලබා ගෙන මේ වෙනුවෙන් ඔවුන්ට ලබා දෙනු ලැබුවා. බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ක්‍රවුලි ප්‍රදේශයේ වැවක් මෙහි අනෙක් ගමනාන්තය වුණා.


    srGimsQ.jpg
    fO9wANm.jpg

    වැඩේට ම ගැලපුණු Consolidated PBY Catalina යානා

    දියේ ගොඩ බැස්විය හැකි (Sea plane වර්ගයේ) ගුවන් යානයක් වන Consolidated PBY Catalina කියන්නේ දෙවන ලෝක යුධ සමයේ වැඩි ම භාවිතයක් දකින්න ලැබුණු ගුවන් යානයක්. පොදුවේ Catalina ලෙස හඳුන්වන මේවා ඉතා ම ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව වුණේ ඒවායේ විශ්වසනීයභාවය යි.


    ojgjEY9.jpg


    Calalina ගුවන් යානා බල ගැන්වුණේ Pratt & Whitney R-1830-92 වර්ගයේ අශ්ව බල 1200ක ජවයෙන් යුතු අවරපෙති එන්ජින් දෙකකින්. පහසුවෙන් ගැටලුවලට මුහුණ දෙන්න සිදු නොවන, ඉතා ම විශ්වාසදායී මේ එන්ජින් ඕස්ට්‍රේලියාව යළි සම්බන්ධ කිරීමේ භාරදූර කාර්යයට Catalina යානා තෝරාගන්න ප්‍රධාන ම හේතුව බව කියවෙනවා. ගුවන් යානා ඉංජිනේරුවන්ගේ අදහස වී තිබුණේ “තෙල් තිබෙන තාක් කල් මේ එන්ජින් වැඩ කරන” බව යි.

    BNvRh3T.jpg


    diXfnE8.jpg


    මේ දීර්ඝ ගමන වෙනුවෙන් Catalina යානාවලට අතිරේක ඉන්ධන ටැංකියක් සවි කෙරුණා. මෙමඟින් Catalina යානයකට යා හැකි උපරිම දුර නාවික සැතපුම් 2520 (කි.මි. 4030) සිට 3600 (කි.මි. 6700) දක්වා වැඩි කරගන්න හැකි වුණා. කොහොම නමුත් එවිට අතිරේක ටොන් 7ක් බර එකතු වූ නිසා ගුවන් යානයේ ගෙන යා හැකි වුණේ අතිශයින් ම සීමිත බරක්. මේ නිසා ඒ තරම් වැදගත් නැති උපාංග සියල්ල ම මෙන්ම, සාමාන්‍යයෙන් අවශ්‍ය යි කියලා සැලකෙන අයිස් ඉවත් කිරීමේ පද්ධතිය පවා ඉවත් කරන්න ඉංජිනේරුවන්ට සිදු වුණා.


    E3lkS6O.png
    M3i4SNA.png


    යානාවලට අවශ්‍ය වෙනස්කම් කිරීමේ දී ගත්තේ ලොකු අවදානමක්. අතිවිශාල ඉන්ධන ටැංකියත් එක්ක හදිසියේ ගොඩබාන්න තරම් වේගයෙන් ඉන්ධන ඉවත් කරන්න බැරි වුණා වගේ ම, අධික බර නිසා එක එන්ජිමක් හෝ ක්‍රියා විරහිත වුණොත් කිසිසේත් පියාසර කරන්න හෝ ගොඩබාන්න බැරි නිසා ගුවන් යානය අනිවාර්යයෙන් ම අනතුරට ලක් වෙන්න ඉඩ තිබුණා.


    WNmlcEr.jpg
    esm5oho.jpg



    කොහොම නමුත් Calalina යානා සියල්ල ම හුරුපුරුදු විදිහට ම ඉතා විශ්වාසදායී ව ක්‍රියා කළා. 1943 ජූලි 29 වැනි දා මුල් ගමන සාර්ථක ව නිමා කිරීමෙන් පස්සේ මේ යානා යොදාගෙන කොග්ගල සහ ඕස්ට්‍රේලියාව අතර සතියකට වරක් ගුවන් ගමන් සේවාවකුත් ආරම්භ වුණා. සිවිල් ගුවන් නියමුවන් යොදාගෙන ඕස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවයේ ගමනක් ලෙස යි මෙය දියත් කෙරුණේ. පසු ව කොග්ගල සිට කරච්චි දක්වා අතිරේක ගමනකුත් එකතු වුණු මේ සේවාව 1945 ජූලි 18 වැනි දා ගමන් අවසන් කරන විට වාර 271ක් ගමන් කර තිබුණා.


    1PWeHkR.png


    නාවික සැතපුම් 3600ක් පමණ දුර මේ ගමන Catalina යානා ගමන් කළේ ඉන්ධන උපරිමයෙන් ඉතිරි වන වේගයකින්. මෙය ආරම්භයේ නොට් 99 සිට ඉන්ධන දහනය වී බර අඩු වීමත් එක්ක නොට් 115 දක්වා වෙනස් වුණා. මේ නිසා එක් ගමනකට සාමාන්‍යයෙන් පැය 28ක පමණ කාලයක් ගත කරන්න සිදු වුණා. තනි ගමනක දී දෙවරක් හිරු උදා වෙනවා දකින්න ලැබෙන නිසා තමයි මෙයට Double Sunrise කියන නම ලැබුණේ.


    j2RV7Dg.png
    pYW1jbb.png


    ජපනුන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන්ගේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශ රාත්‍රියේ දී පසු කරන්නත්, මධ්‍යම රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ සිට කෙරෙන මිනිත්තු කිහිපයක කාලගුණ දැන්වීමක් ශ්‍රවණයට හැර රේඩියෝ භාවිතයෙන් වළකින්නත් ඔවුන්ට සිදු වුණා. තනිකර ම ප්‍රාථමික නාවික උපාංග සහ අහසේ තරු ඇසුරෙනුයි මඟ සොයා ගන්න සිදු වුණේ.

    XYHKR38.png
    EfqDEN6.png



    6dWubmy.png
    Q1AZn7H.png



    මේ ගමනට එකතු වුණු Catalina යානා පහ ගමන් සහයට යොදා ගත්ත තරුවල නම්වලින් ‘Rigel Star’, ‘Spica Star’, ‘Altair Star’, ‘Vega Star’ සහ ‘Antares Star’ ලෙස නම් කෙරුණා. මේ ගමනේ යෙදුණු සියලු ම මඟීන්ට (සියලු දෙනා ම පාහේ රාජ්‍යතාන්ත්‍රිකයන්) The Rare and Secret Order of the Double Sunrise නමින් ඔවුන් පැය 24කට වඩා අහසේ සිටි අය බවට සාමාජික සහතිකයක් ද නිකුත් කෙරුණා.


    අදටත් නොබිඳුණු දීර්ඝතම ගුවන් ගමන් වාර්තාව

    මේ අවුරුද්දේ 75 වන සංවත්සරය සැමරූ Double Sunrise සේවාව ලෝක යුධ සමයේ ඕස්ට්‍රේලියාව සමඟ සම්බන්ධතා යළි ගොඩනගා ගන්න බ්‍රිතාන්‍යයට උදව් කරමින් ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවට සැකයක් නැහැ. පසුකාලීන ව ජෙට් එන්ජින් සහිත යානා නිසා මීට වඩා දුරෙන් වැඩි ගුවන් ගමන් බිහි වුණත්, මේ වන තෙක් දීර්ඝතම මඟී ගුවන් ගමන ලෙස පැය 32 යි මිනිත්තු 9ක කාලයේ වාර්තාවට ආසන්න වෙන්නවත් වෙනත් ගුවන් ගමනක් නැහැ

    4JNKMBz.jpg

    Wikipedia.org



    UTZZbtz.png


    PzSf789.png


    J4ztUmg.png



    මේ නිසා ලෝකයේ දීර්ඝතම ගුවන් ගමනට හිමි වාර්තාවේ එක් ගමනාන්ත දෙකෙන් එකක් ලෙස අදටත් “කොග්ගල” කියන නාමය සනිටුහන් වී තිබෙනවා.


    Source
    gregoryno6.files.wordpress.com
    IMDB
    Roarmedia
    Wikipedia.org
    Airforce.lk
    Pictures from Internet



     
    Last edited: