"අපි එහෙනම් පටන් ගමුද ?"
"හරි..."
(තෙමසකට පෙර)
"පුතා වැඩකද ඉන්නේ..."
"නැහැ තාත්තේ කියන්න"
"මාත් එක්ක ටවුන් එකට පොඩ්ඩක් යමුද, බඩු වගයක් තියෙනවා ගන්න"
"හරි තාත්තේ මට විනාඩියක් දෙන්න. ටී-ෂර්ට් එකක් දාගෙන එන්නම්"
පුතා එනකම් මම එදා වාහනේට වෙලා බලාගෙන හිටියේ ටිකක් කලබල ගතියකින් මොකද මට ඒ වෙලාවේ ඇත්තට ඕන වුණේ පුතත් එක්ක මධු නැති තැනක තනියම පොඩ්ඩක් කතා කරන්න. මම මේ කරන්න හදන දේ හරි දෙයක් වුණත්... හිතට දැනෙන චකිතය මට නවත්තගන්න බැරි වුණා. මොකද මේ දේ පුතා දැනගත්තට පස්සේ එයා මං ගැන මොනා හිතයිද... එයා, මම මේ කියනදේට කොහොම රියැක්ට් කරයිද කියන ප්‍රශ්නේ මම මගෙන්ම කිහිපසැරයක් ඇහුවා. ඒත් මම මෙහෙම කල්පනා කර කර ඉද්දී එකපාරම වාහනේට ඇවිත් නැඟපු ඉවාන්,
"හරි තාත්තේ යමු. මොනාද ගන්න තියෙන්නේ..."
"පොඩි බඩු වගයක්... යමුකෝ මම කියන්නම්"
පුතා එක්ක ගෙදරින් පිටත් වුණාට පස්සේ එයා හිටියේ කාත් එක්කද ෆෝන් එකෙන් මැසේජ් කර කර වෙන ලෝකෙක... මම ඉවාන් දිහා කිහිපසැරයක්ම බැලුවත් මිනිහා හිනාවෙවී ෆෝන් එක දිහා බලාගෙන දිගටම මැසේජ් යවනවා.
"කව්ද ගර්ල්ෆ්‍රෙන්ඩ්ද ?"
"ආ..."
"ගර්ල්ෆ්‍රෙන්ඩ්ද මැසේජ් කරන්නේ ?"
"නැහැ මගේ යාළුවෙක්, මට එහෙම කෙනෙක් නැහැ"
පුතා එහෙම කිව්වට පස්සේ මුකුත් නොකියා ලාවට හිනාවුණු මම, පාර අයිනේ වාහනේ නවත්තලා පුතා දිහා බැලුවම මිනිහා හිටියේ බයවෙලා,
"මම දැක්කා ගිය සතියේ පුතාව, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ෆිල්ම් හෝල් එකක් ලඟ හිටගෙන ඉන්නවා"
"මම... නැහැ තාත්තේ වෙන කවුරුහරි වෙන් ඇති. මට එහෙම කවුරුත් නැහැ"
"මාත් එක්ක බයවෙලා වගේ කතා කරන්න එපා ඉවාන්. මම ඔයාගෙන් ඒක අහන්නේ ඔයාට බනින්න නෙමෙයි. ඔයා මේ ඉයර් එකේ ඒලෙවල් ලියන්න ඉන්න ලොකු පිරිමි ළමෙක්. දැන් ඔයාට වයස 19යි. පුතා දන්නවද වයස 18න් මැරී කරන්නත් පුළුවන්... එහෙම එකේ ඔයාගේ වයසේ පිරිමි ළමෙක්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියන එක මට අමුතු දෙයක් නෙමෙයි. මොකද මමත් මේ වයසට ආවේ පුතාගේ වයස පහුකරලා"
මම එහෙම කිව්වට පස්සේ දරුවා හිටියේ බිම බලාගෙන මුකුත් නොකියා,
"පුතා නේද ෆිල්ම් හෝල් එක ලඟ හිටියේ ?"
"ඔව්..."
"ඒ දරුවා... පුතාගේ ක්ලාස් එකේ ළමෙක්ද ?"
"නැහැ එයා Bio කරන්නේ"
"වෙනදටත් ඔහොම ක්ලාස් කට් කරලා දෙන්නත් එක්ක ඇවිදින්න යනවද ?"
"නැහැ... එදා තමයි මුලින්ම ගියේ"
පුතා එහෙම කිව්වට පස්සේ හිනාවෙලා පුතාගේ ඔළුව අතගාපු මම,
"පුතා දන්නවද... මම ඒලෙවල් ලියද්දී ගර්ල් කෙනෙක් එක්ක යාළුවෙලා හිටියා. එයයි මමයි, මං හිතන්නේ... 20 පාරකට වැඩියෙන් ක්ලාස් කට් කරලා එහේ මෙහේ ගිහින් ඇති. කොහොම හරි අන්තිමට මං ෆේල් වුණා. දෙවනි සැරේ ලියලා තමයි යන්තමින් කැම්පස් යන්න පාස් වුණේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉඳලා හිටලා ෆිල්ම් එකක් බලන්න ගියාට කමක් නැහැ. ඒත් එක්සෑම් අවුල් කරගන්න එපා. පුතාට මතකද ඇන්තනී අංකල්ව, අර ගිටාර් ප්ලේ කරේ..."
"ඔව් තාත්තේ... මට මතකයි. මං 7 වසරේදී අංකල් කැන්සර් එකකින් නැතිවුණානේ"
"ඇන්තනී නැති වුණේ කැන්සර් එකකින් නෙමෙයි පුතා. ඇන්තනී නැතිවුණේ HIV හැදිලා. අපි ලඟම කිහිපදෙනෙක් විතරයි ඒක දන්නේ... ඒත් අනිත් හැමෝටම අපි කිව්වේ කැන්සර් එකකින් නැති වුණා කියලා" එහෙම කියපු මම තවත් හිතන්නේ නැතුව වාහනේ ලොකර් එක ඇරලා පුතාට දෙන්න හිතාගෙන ආපු දේ එළියට අරගෙන එයාගේ අතට දුනා.
"මොකක්ද මේ..."
"ඔයාම ඇරලා බලන්න"
"ඇයි තාත්තේ මේ...?"
"ඕක හැමවෙලේම ලඟ තියාගන්න පුතා. ඔයා දැන් ලොකු පිරිමි ළමෙක්නේ... මම ඕක ඔයාට දෙන්නේ මට ඔයාව විශ්වාස නැති නිසා නෙමෙයි. ඒත් පුතා දැන් ඉන්න වයසේදී හිතලා දෙයක් කරනවට වඩා හිතට එන හැඟීම් වලට ඉඩදෙනවා වැඩියි. පුතා විතරක් නෙමෙයි පුතාගේ වයසේ ඉන්න හැම ළමෙක්ම එහෙමයි. මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙයක් මේ ලෝකේ තියෙද්දී... ඒ දේ පාවිච්චි නොකර, මිනිස්සු අද කොච්චර අමාරුවේ වැටෙනවද... පුතා දන්නවනේ අද සමාජේ වෙන දේවල්, මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.."
"මම ආයිත් ක්ලාස් කට් කරන්නේ නැහැ තාත්තේ"
"වෙරි ගුඩ්... දෙන්නත් එක්කම එකතුවෙලා හොඳට පාඩම් කරන්න. ආදරේ කරන්න ඕන වයසේදී ආදරේ කරන්න ඕනේ... ඒක වැරැද්දක් නෙමෙයි. ඒ වගේම ජීවිතේ හදාගන්න ඕන දේවල් ටිකත් ආදරේ එක්කම කරන්න ඕනේ. දවසක මට අර දරුවව ඉන්ට්‍රෝඩියුස් කරන්න. මොකක්ද එයාගේ නම ?"
"ද්‍රිති"
"ද්‍රිති... ලස්සන නමක්"
"තාත්තා දන්නවද.... එයා තාත්තගේ ෆිල්ම්ස් වලට මාර ආසයි. මට හැමදාම කියනවා තාත්තව මීට් කරන්න කියලා"
"එහෙමද... ඉතින් දවසක ඒ ළමයට ගෙදරට එන්න කියලා ඉන්වයිට් කරන්න"
"කමක් නැද්ද තාත්තේ..."
"කමක් නැහැ... ඔයා ඉන්වයිට් කරන්න"
"හරි එහෙනම් මම කියන්නම්"
"අපි ගෙදර යමුද එහෙනම්..."
"ඇයි අර බඩු වගයක්..."
"ඒක මම බොරුවට කිව්වේ. ඔයත් එක්ක තනියම ටිකක් කතාකරන්න ඕනේ නිසා. ඕක ගැන අම්මට කියන්න එපා. හංඟගෙන තියාගන්න. නැත්නම් මට ගෙදරින් යන්න තමයි වෙන්නේ... දන්නවනේ අම්මගේ හැටි..."
(පසු දින)
"හෙලෝ... මේ මිසිස් අබේනායකද ?"
"ඔව්... කවුද මේ ?"
"මිසිස් අබේනායක. මම ජනාධිපති විද්‍යාලයේ ප්‍රින්සිපල් කතාකරන්නේ. මිසිස් අබේනායකට පුළුවන්ද ස්කූල් එකට දැන් පොඩ්ඩක් එන්න. ඉවාන් සම්බන්ධව පොඩි ප්‍රශ්ණයක් වෙලා තියෙනවා"
"ඇයි සර් මොකක්ද වුණේ...?"
"මිසිස් අබේනායක එන්න. අපි ආවට පස්සේ කතා කරමු. මෙහෙම ෆෝන් එකෙන් කතා කරන්න බැහැ. තව දෙයක් මිසිස් අබේනායක, තනියම එන්න ඉවාන්ගේ තාත්තව එක්කගෙන එන්න එපා"
"ඒ ඇයි සර්... මට කියන්න මොකක්ද වුණේ ?"
"මිසිස් අබේනායක කලබලනොවී එන්න. අපි ආවට පස්සේ කතාකරමු"
මම ඒ වෙලාවේ හිටියේ අළුත් පිටපතක් ලිය ලිය... මේ කිසිම දෙයක් දන්නේ නැති මම පිටපත ලිය ලිය ඉද්දී රූම් එකට ආපු මධු,
"සමීර ඔයා දැන් එළියට යනවද ?
"නැහැ, ඇයි ?"
"මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්. බඩු වගයක් ගන්න තියෙනවා. කාර් එකේ කී එක දෙන්න මට"
"ඕන්නම් මමත් එන්නම්"
"නැහැ එපා. මම ගිහින් එන්නම් ඉක්මණටම..."
"ඇයි මේ සාරි ඇඳලා"
"නැහැ, පන්සලටත් පොඩ්ඩක් යන්න ඕනේ, දානෙට දිනයක් වෙන්කරගන්න"
"ෂුවර්ද මම එන්න ඕනේ නැහැ කියලා"
"මට පුළුවන්... ඔයා ඔය වැඩේ කරන්නකෝ. මම ඉක්මණටම එන්නම්"
මධු ඒ වෙලාවේ මාත් එක්ක කිසිම දෙයක් නොවුණු ගාණට කතාකරත් එයා ආයිත් පැය තුනකට පස්සේ පුතත් එක්ක ගෙදර ආවේ, මම එයාගෙන් කවදාවත් දැකපු නැති කේන්තියක් එක්ක,
"පුතාව ඔයාට කොහෙදීද හම්බුණේ... අද ස්කූල් නැද්ද ?" මම මධුගෙන් එහෙම ඇහුවත් පුතා දිහා බලපු මධු,
"ඉවාන් ගිහින් ඉක්මණට ඇඳුම් ටිකයි, පොත් ටිකයි ලෑස්ති කරගන්න. අපි මේ ගෙදර තවත් ඉන්නේ නැහැ"
"මධු ඇයි මේ මොකද වුණේ...?"
"මොකද වුණේ...." කියපු මධු එයාගේ හෑන්ඩ් බෑග් එකෙන් මම පුතාට දීපු කොන්ඩම් පැකට් එක එළියට අරගෙන මගේ මුහුණට දමාලා ගැහුවා.
"පුතාගේ ස්කූල් ටූ වීක්ස් වලට සස්පෙන්ඩ් කළා. මම හිතුවේ නැහැ සමීර ඔයා මේ වගේ මානසික ලෙඩෙක් කියලා" මධු මට බනිද්දී, බයවෙලා ඉන්න ඉවාන් දිහා බලපු මම,
"පුතා ඇයි මේක ස්කූල් ගෙනිච්චේ..."
"ඉවාන් මම කිව්වනේ... ආයිත් තාත්තා එක්ක කතාවක් නැහැ. ගිහින් ඇඳුම් ටික ලෑස්ති කරගන්නවා ඉක්මණට මෙතන හිටගෙන ඉන්නේ නැතුව"
"මධු ඇයි ඔයා මේ කලබල වෙලා. අපි මේක හිමීට කතාකරමු"
"තවත් මොනා කතා කරන්නද... සමීර ඔයාට මේ ලෝකේ හදන්න ඕනේ නම් ඒක ඔයාගේ ෆිල්ම්ස් ඇතුළේ කරගන්න. මගේ අහිංසක පුතාව ඒකට ගාවගන්න එපා"
"හරි දැන් ඔය කොහෙද යන්න හදන්නේ, ගෙදරින් යන්න තරම් දෙයක් වුණේ නැහැනේ මෙතන"
"මට මේ දරුවව තවත් ඔයා ලඟ තියන්න බැහැ. මම දන්නේ නැහැ ඔයාගේ හිතේ මොනා තියෙනවද කියලා"
"මධු මොනාද ඔයා මේ කියවන්නේ, පිස්සුද... මේ මගෙත් පුතානේ"
"සමීර... මටයි පුතාටයි පාඩුවේ යන්න දෙන්න. ඇත්තම කිව්වොත් මට ඔයා වගේ මනුස්සයෙක් එක්ක කතා කරන්න දෙයක් නැහැ"
"හරි ඔයාලා දෙන්නා ගෙදර ඉන්න කොහෙවත් යන්න එපා. මම යන්නම්... ඉවරනේ ප්‍රශ්නේ එතකොට"
මම මධුට එහෙම කිව්වත් එයා ගත්ත තීරණේ එයා වෙනස් කළේ නැහැ. ඉවාන් ඇස් වල කඳුළු පුරවගෙන මධු එක්ක ගෙදරින් ගියේ. හිතපු නැති වෙලාවක කුණාටුවක් ආවා වගේ මගේ ජීවිතේ මම මෙච්චර කල් බලාගත්තු හැමදේම මොහොතකින් උඩු යටි පෙරළුනා. මම මේ දේ මධුට තේරුම් කරන්නේ කොහොමද... පුතාගේ ස්කූල් එකේ ටීචර්ස්ලට, ප්‍රින්සිපල්ට තේරූම් කරන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දී මගේ ෆෝන් එක අඳුරන්නේ නැති නම්බර් එකකින් එන කෝල් එකක් නිසා රින් වුණා.
"හෙලෝ..."
"හෙලෝ... මේ ෆිල්ම් ඩිරෙක්ටර් සමීර අබේනායකද ?"
"ඔව්, කියන්න..."
"ඇත්තද මිස්ටර් සමීර පුතාට කොන්ඩම් පැකට් එකක් දුන්නා කියන කතාව"
"කව්ද මේ කතා කරන්නේ...?"
"අපි ගොසිප් සයිට් එකකින්... මිස්ටර් සමීර කැමති නම් අපි ඒ ගැන ඉන්ටර්වීව් එකක් කරමුද ෆෝන් එකෙන්"
"මේ තියනවා අයිසේ ෆෝන් එක, තමන්ගේ වැඩක් බලාගන්නවා"
මම කේන්තියෙන් කෝල් එක එහෙම කියලා කට් කළත් ජීවිතේ පළවෙනි වතාවට මම අඳුරන, මම දන්නේ නැති නම්බර්ස් වලින් කෝල්ස් එක දිගට එන්න පටන්ගත්තේ... හරියට පායානේ නැති වැස්සක් එක දිගට වහිනවා වගේ. අන්තිමට ෆෝන් එක දිගටම රින් වෙන සද්දේ වදයක් වුණු මම... ෆෝන් එක සයිලෙන්ට් දාලා තවමත් මධු ගියාට පස්සේ වාඩිවුණු තැනම වාඩිවෙලා හවස් වෙනකම්ම මේ වුණුදේ ගැන හිතන්න පටන්ගත්තා. හවස මම මධූට කෝල්ස් ගත්තත්, එයා මගේ එක කෝල් එකක්වත් ආන්සර් කළේ නැහැ. පුතාගේ ෆෝන් එකත් ඕෆ්. ඒත් ඉවාන් මට මැසේජ් එකක් දාලා තිබ්බා.
"තාත්තේ අපි ආච්චිගේ ගෙදර ආවා. ඔයා බයවෙන්න එපා. අම්මගේ කේන්තිය අඩු වුණාම මම අම්මත් එක්ක එන්නම්"
පුතා එහෙම කිව්වත් දවසින් දවස මේ ප්‍රශ්නේ සෝෂල් මිඩියා වල මං ගැන මිනිස්සු කියපු ජරා කතා නිසා තවත් වැඩි වුණා. අන්තිමේදී ළමයි සම්බන්ධ සංවිධානෙකින් පොලිස්සියේ මං ගැන දාපු පැමිණිල්ලක් නිසා... මම මගේ පුතාටම අපචාරයක් කරන්න හැදුවා කියන පැමිණිල්ලට, මට කට උත්තර දෙන්නත් යන්න වුණා. අදට මේ සිද්දිය වෙලා සති දෙකකටත් වැඩියි. ජීවිතේ හැමදෙයක්ම අවුල් වුණු මම හිත හිත ඉද්දී... මම හිතපු නැති වෙලාවක මධු මට කෝල් කළා. ඒත් එක්කම කලබලේට ෆෝන් එක ආන්සර් කරපු මම,
"හෙලෝ මධු..."
"සමීර මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ"
"හරි මම අම්මගේ ගෙදෙට්ට එන්නම්"
"නැහැ... ඔයා එන්න අවශ්‍ය නැහැ. සමීර අපි දෙන්නා ඩිවෝර්ස් වෙමු"
"පිස්සුද ඔයාට මොනාද මේ කියන්නේ. මේ වගේ පොඩි ප්‍රශ්නයක් නිසා මිනිස්සු ඩිවෝර්ස් වෙනවද ?"
"ඔයාට මේක පොඩි ප්‍රශ්නයක්ද ?
අර දරුවා ඊයේ ලැජ්ජාවෙන් ස්කූල් ගියේ. ගෙදර ඇවිත් මාව බදාගෙන ඇඬුවා ආයිත් ස්කූල් යන්න බැහැ කියලා"
"හරි මම ස්කූල් එකට ගිහින් කතාකරන්නම්"
"අනේ සමීර... මම ඔයාට වැඳලා කියන්නම්. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. මගේ පුතාගේ ජීවිතේ තවත් අවුල් කරන්න එපා"
"මධු ඒ අපි දෙන්නාගේම පුතා"
"ප්ලීස් මට ඩිවෝර්ස් එක දෙන්න සමීර. මම ඔයාට ඒක කියන්න ගත්තේ... මම තියනවා"