මම දන්න පවුලක් හිටියා අම්මයි තාත්තයි දුවයි පුතයි. රජ වෙන්න නැති වුණත් කාල ඇඳල ලස්සනට ඉන්න පුළුවන් ආර්ථිකයක් එයාලට තිබුණා. මට මතකයි පුතා පොඩි කාලේ අම්මා එයාව නැළෙව්වෙ මෙහෙම කියලා.
මගෙ පුතු හරි හපනා - හෙට කොළඹට යනවා
පනම් හතක් ලබලා - මටත් දෙකක් දෙනවා
ඔන්න ඉතිං මේ පුතා හොඳට ඉගෙනගෙන විභාග පාස් කරල රජ ගමනක් යන්න කොළඹ එන්නයි ලෑස්තිය. වෙනදා වගේම ඒ දවසටත් හිමිදිරිය උදා වුණා. මේ කොල්ල තවම නිදි.
පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ළිප ගිනි මෙළවෙනවා
කොළඹ කෝච්චිය රජ ගමනට එනවා
නැඟිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා
දෙයියනේ කියල අපේ කතා නායකයා කොළඹ එන්න පිටත් වුණා ඒ කෝච්චියෙන්. මඟදි කෝච්චියට නැග්ග විරිදු කියන ඩයල් එකක් මෙහෙම කිව්වලු.
බිංගේ තුළ කළුවර වී
පුරුදු එළිය ළඟ එනවා
කොළඹට යන කාටත් තිසරණ පතලා
මේන් වැන්ද ජය ලැබෙන්න අත් බැඳලා
කොල්ල කොළඹට ආව සමානයි බණ්ඩ කොළඹ ගියා වගේ. අහස උසට බිල්ඩිං හතර වටේම වාහන. කරකවල අතඇරිය වගේ. ආයෙ දෙකක් නෑ කොල්ලට මෙහෙම හිතෙන්න ඇති.
කොළොම්පුරේ ශි්‍රයා - කොළොම්පුරේ ශි්‍රයා
බෝම ලස්සනයි බලන්න - කොළොම්පුරේ ශි්‍රයා
ගමේ හිටපු මේ කොල්ලගෙ කෙල්ලට නං වැඩේ ඒ තරං හිතට අල්ලලා නෑ. කොළඹ ගිය මුල්ම දවස්වල නං දිනපතා කෝල්, එස්.එම්.එස්. එනවා. ඒත් දැන් දැන් ඒව අඩුයි. මූට තියෙන කුලප්පුවෙ හැටියට කොළඹ සක්කරවට්ටමක්වත් අල්ලගෙනද දන්නෙ නෑ කියල කෙල්ලට හිතිලා.
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මංමුළාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ
කිව්වත් වගේ කොල්ල අහුවුණා. උෟට නිකං මිහිබට සුරංගනාවියක් වගේ කොළඹ කෙල්ල පර්ෆියුම් සුවඳ ඉවසන්න බෑ. ගමේ කෙල්ලගේ ළඟින් එන පැණි වරක සුවඳ වගේද මේව.
කොළඹ රටේ ඉපදුණාට - මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව - වාගෙයි මට ඔබේ සිනා
දැන් බුවාට ගම මතකම නෑ. ෆේස් බුක් එකවුන්ට් එකෙත් ඉන්ෆොමේෂන්වලට දාල තියෙන්නේ ගම කිරුළපන කියලා.
හැඩට වැඩට හරි සූරයෝ
අපිත් කොළඹ කොල්ලෝ...
මේ අතරේ නංගිත් A/L පාස් වෙලා කොළඹ කැම්පස් සිලෙක්ට් වුණා. පහුවැනිදා උදේ කොළඹ එන රුහුණු කුමාරි කෝච්චියේ ෂීට් එකක් බුක් කරල ගෙදර එන ගමන් මෙහෙම කිව්වලු.
කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්
මම එනතුරු ස්ටේසමේම නැවතී ඉඳපං
කෙල්ල කොළඹ යන එක ගැන එයාගෙ කොල්ලත් ඒ තරං කැමැත්තක් තිබිල නෑ. ඒත් කෙල්ලගේ අයියත් කොළඹ නිසා ලොකු බයකුත් තිබිල නෑ. හැමදාම හවස දෙවැට අයිනෙ දකින තමන්ගෙ පෙම්වතිය නොදකිනකොට කොල්ලට මෙහෙම හිතිල තියෙනවා.
ශිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවෙයි මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ
ඔහොම ඉතිං කාලය ගතවෙලා ගියා. දැන් අයියා විතරක් නෙවෙයි නංගිත් ගමේ යන්නෙ නෑ. ඇහුවොත් ඇත්ත. වැඩ වැඩ වැඩ. ඒත් නංගි අයිය වගේ ගමේ ආදරය අමතක කළේ නෑ. අඩුම ගාණේ දවසට එක පාරක් හරි ගමේ කොල්ලට කතා කරනවා. සිංහල අලුත් අවුරුද්දට දෙන්නම ගමේ ආවා. අම්මටයි තාත්තටයි ෆුල් හැපි. වෙරි ෆනී. හැබැයි පොඩි අවුලක් තියෙනව. ගමෙන් ගියපු කොල්ල නෙවෙයි ඇවිල්ල තියෙන්නේ.
කොණ්ඩෙ බැඳල අපේ පුතා
කොළඹ ඉඳං ගමට ඇවිත්
හරි වෙනස් වෙලා
ගමන බිමන කතාව දැන්
හරි අමුතු වෙලා
වගේ හැඟීමකින් තමයි අම්ම කොල්ල දිහා බලන්නෙ. නංගි ගියාම ආදරේ හම්බවෙන්න මිනිහ උඩ ගිහිං බිම වැටිලා. දැන් කෙල්ල පට්ට පොෂ් වෙලා. පොලොස්වලට කියන්නේ බේබි ජැක් කියල. අනේ ඉතිං අර අහිංසකය මේ කෙල්ලට වෙන්න යන වින්නැහිය දිහා බලාගෙන මෙහෙම කිව්වලු.
මෙවලම් මොකටද මෙතරම් පැලැඳුවෙ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ...............
මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
වැඩේ කියන්නේ අවුරුදු ඉවර වුණාම අයියයි නංගියි ආපහු කොළඹ ගියා. අයියා කොළඹ සෙට් වෙලා ඉන්න කෙල්ලගේ ගෙදරින් වැඩේට අකැමැති වෙලා. කාටවත් නොකියා දෙන්නා ජන්පිං ගොයින්. මේ විදියට අවුරුදු ගාණක් ගතවුණා. කොල්ලත් තාත්ත කෙනෙක් වුණ දවසෙ ආපහු ගම මතක් වෙලා. අම්මව මතක් වෙලා. ඒ විතරක් නෙවෙයි කොල්ලට කොළඹ එපා වෙලා. හැමදේම පිට ඔපේ විතරයි කියලා හිතුණලු. ඊට වඩා අම්මගෙ උණුහුම මොන තරං වටිනවද කියලත් දැනිල.
කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ
අම්ම ජීවත් වෙලා හිටියානං ඉඳීවි ඉතිං බලාගෙන. ඒත් ඒ වෙනකොට අම්මා මිය ගිහින්. මේ වගේ කතා ඕනෑ තරං අහල ඇතිනෙ. ඒත් එහෙම කතා අහන කොට හිතෙන්නෙ මේ වගේ දෙයක් නේද?
කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩබැස්සේ
අමනකමයි ඒ වෙනුවට
සුපුන් රත්නායක

